
තරග පාවාදීමේ සැලසුම් පිළිබඳ ඉක්මන් හා සම්පූර්ණ පරීක්ෂණයක් කිරීම සඳහා සියලුම සංස්කරණය නොකරන ලද දර්ශන පට වැඩසටහනට ඇතුළත් නොකල සියලු සාක්ෂි තමන් වෙත ලබාදෙන මෙන් අල් ජසීරා රූපවාහිනී ආයතනයට කළ දැනුම්දීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ICC දූෂණ විරෝධි ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කර සිටින්නේ මෙකී සාක්ෂි ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවයි. මෙතෙක් අල් ජසීරා ආයතනය තම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වී ඇති බවද හෙතෙම පවසයි.
මේ වසරේ අග භාගයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ගාලු ටෙස්ට් තරගයේ ප්‍රතිඵල වෙනස් කිරීම සම්බන්ධයෙන් තණතීරුව ඔට්ටුකරුවන්ට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම සඳහා ක්‍රීඩාංගණයේ තණතීරු භාරකරුවන්ට අල්ලස් ලබාදීම පිළිබඳ අල් ජසීරා රූපවාහිනි සේවෙය් වාර්තා වැඩසටහනක් මඟින් ශ්‍රී ලංකාවට දැවැන්ත කළු පැල්ලමක් එල්ල කළේය. මේ වැඩසටහන පිළිබඳ සිය අවධානය යොමු කරන බව පවසන එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය ICC පවත්වන ඕනෑම පරීක්ෂණයකට පූර්ණ සහාය දක්වන බවද පවසයි.
මේ ආකාරයට තරග පාවාදීම් පිළිබඳ චෝදනා එල්ල වූ ප්‍රථම වතාව මෙය නොවෙයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැති තරගයක් සම්බන්ධව චෝදනා එල්ල කළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපිට පැහැදිලිවම තොරතුරු ලැබුණා ක්‍රීඩකයන්ට තරග පාවාදීම් සඳහා යෝජනා ඉදිරිපත් වුණා කියලා. ඒ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ට. ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පාවාදීම් පිළිබඳ චෝදනා එල්ල වූයේ වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක මෙන්ම තාවකාලික පන්දු (දැල් පන්දු පුහුණුවන්නා) යවන්නා ලෙස කටයුතු කළ පුද්ගලයා ශ්‍රී ලංකා සංචිතයට බඳවා ගැනීම පිළිබඳ සම්පූර්ණ වගකීම ක්‍රිකට් ආයතනය භාරගත යුතු බවට චෝදනා එල්ල කරමින්ය.
ගාල්ල ක්‍රීඩාංගණය බාරව කටයුතු කළ ජයනන්ද වර්ණවීරට දූෂණ චෝදනා මත ඔහුගේ සේවය වසර තුනකට ICC තහනම් කළේ මීට වසර දෙකකට පෙරය. ඒ ICC දූෂණ විරෝධි ඒකකය විසින් පවත්වන ලද විමර්ශණ කටයුතු සඳහා සහාය වීමට අසමත්වීම හේතුවෙන්ය. තරග පවතින අතරවාරයේ ගාල්ල විකට්ටුවේ තොරතුරු පිටතට ලබාදීම වර්ණවීරට එල්ල වී තිබූ චෝදනාවයි. තරග පාවාදීමට අදාල පිටිය (විකට්ටුව) පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම කලක් මුලුල්ලේම කරගෙන ගිය බවට ඇති වූ සැකය මත වර්ණවීරට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවස්ථා දෙකකදිම පෙනී නොසිටීම, එසේ පෙනී සිටීමට නොහැකිවීම පිළිබඳ කරුණු දැක්වීමට අපොහොසත්වීම වර්ණවීරට තහනමක් පැනවීමට හේතුවූ බවද අනාවරණය විය.
ඔට්ටුකරුවන් සමඟ එක්ව තණතීරු සකසා තරග පාවාදීම සම්බන්ධයෙන් ICC තම ආයතනයට වෙනම පරික්ෂණයක් නොපවත්වන ලෙස දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකී පරීක්ෂණ කටයුතු CID වෙත ලබාදී තිබේ. මේ සිද්ධිය හා සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරිඳු මෙන්ඩිස්, ජීවන්ත කුලතුංග සහ ගාලු ක්‍රීඩාංගණයේ සහාය කළමනාකරු තරංග ඉන්දිකගේ වැඩ තහනම් කර ඇත. දිල්හාර ලොකුහෙට්ටිගේ දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ලංකා ක්‍රිකට් සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවද කියැවෙයි.
මේ අතර ජීවන්ත කුලතුංග ප්‍රකාශ කරන්නේ අල් ජසීරා ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ලසිත්ගේ චෝදනා
විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සොයා ගැනීමට නම් අපේ පළමු පෙළ තරගාවලිය සම්පූර්ණයෙන්ම ටෙස්ට් ක්‍රීඩාංගණවල, ඒ තණතීරුවලම පවත්වන්න වෙනවා
ඉන්දු ලංකා ගාලු තරගයේ (2017 ජූලි 26 - 29) ක්‍රිකට් තරගාවලියේ තණතීරු සැකසීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණුවලට පටහැනිව තණතීරු සැකසූ බවද මාලිංග එදා චෝදනා කළේය.
අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලනකොට ඔවුන් අපට දුන්නේ තට්ටයක් වගේ ගාපු තණතීරුවක්. ඇයි එහෙම කළේ කියලා අහනකොට ඒක මැෂිමේ බ්ලේඩ් එකේ වරදක් කියලා මඟහැරියා. මේ දේ වුණේ එක පාරක් නෙවෙයි. මේවා බලධාරින්ට කියනකොට ගණන් ගන්නේ නෑ. අපි පැරදුණේ මේ නිසාම කියනවා නොවෙයි. මෙහෙම දේවල් වෙනකොට අපි මානසිකව වැටෙනවා කියන එක මේ අයට තේරෙන්නේ නැති එක තමයි පුදුමේ කියන්නේ.
ලසිත් මාලිංග මේ අදහස් පල කළේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීම නවතා ගැනීමට හා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත්කරන ලද කමිටුවක් හමුවේ පසුගිය වසරේ අදහස් දක්වමින්ය. එතැන් පටන් ම මාලිංගගේ ක්‍රිකට් ජීවිතයට ද කණකොකා හැඬූ අතර එය වෙනම කතා කළ යුතු දෙයකි.










