ඔළමොට්ටලයෝ ක්‍රීඩාවේ මළබෙර වැයීමට පෙර... | සිළුමිණ

ඔළමොට්ටලයෝ ක්‍රීඩාවේ මළබෙර වැයීමට පෙර...

ලෝකයම තනියායක් කරන දෙපා යුද්ධය ඇරැඹීමට තවත් හරියටම දින කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය‍ කොදෙව්හි සංචාරයකට එක්ව සිටියි. පාපන්දු ලෝක කුසලානය අතරතුර ලාංකේය අති බහුතරයකගේ අවධානය කොදෙව් සංචාරය දෙස යොමුවීම අරුමයක් නොවේ.

මේ අතර අල්ජසීරා රූපවාහිනිය එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ගාලු තරගය ඔට්ටු කරුවන්ට අවශ්‍ය ආකාරයට පාවාදීමට සැකසූ පිඹුරුපත් එළිදරව් කිරීමත් සමඟම ඇති වී තිබෙන කළු පැල්ලම සුළුපටු නොවේ. නම් ගම් සහිතවම හෙළිදරව් වී ඇති කරුණු පිළිබඳ විශේෂ සොයාබැලීමක් කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරින්ට නියෝග නිකුත් කර තිබේ.

පසුගිය කාලයේ මෙරට ක්‍රීඩාව අරඹා අප මෙකී තීරුවේ තැබූ සටහන් බොහෝමයක් වැඩිකල් නොයන්නට මත්තෙන්ම සත්‍යවීම පිළිබඳ ඇත්තේ කණගාටුවක් මිස සතුටක් නම් නොවේ.

ලාංකේය සමස්ත ක්‍රීඩාව ම අද ඇත්තේ අවිනිශ්චිතභාවයකය. සමස්ත ක්‍රීඩාවම කවුරු කවුරුත් ඔහේ දක්කාගෙන ගියා මිසක හැරවුම් ලක්ෂයක්වත් හඳුනාගන්නට වෙර දැරූ බවක් පෙනෙන්නට නැත. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දිනන කණ්ඩායමකට අත්පොලසන් දෙන්නට පමණක් ලාංකේය ක්‍රීඩා ලෝලයන්ට තවත් කාලයක් සිදුවනු ඉරහඳ සේ විශ්වාසය. 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසානේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 179 ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය ආරම්භ වනවිට 200 වැනි ස්ථානය දක්වා පසුබැස තිබීම තුළ බොහෝ සිහින තිබිය හැකි නමුත් මෙකී සිහින යථාර්ථයක් කර ගැනීමේ මං මාවත් සෙවීමට වෙහෙස මහන්සි විය යුතුය. ක්‍රිකට් නිලවරණයෙන් කවුරු ජය ගත්තද? කවුරු පරාජය වුවද? ඉදිරියට යා යුත්තේ ක්‍රිකට් මිස පුද්ගලයන් නොවන බව ද අමතක කළ යුතු නොවෙයි.

සමාජ ඒකාග්‍රතාව සහ සමාජ ප්‍රාග්ධනය ගොඩනැගීම යන ද්විත්ව ඵලයන් ක්‍රීඩාව තුළින් ලැබෙන බවත්, අප රට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වන බව ද මංගල සමරවීර අමාත්‍යවරයා පසුගිය අය වැය කතාවේදී ප්‍රකාශ කළේය. ලාංකේය ක්‍රීඩාව වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4750 කි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාට ලාංකේය ක්‍රීඩාව වෙනුවෙන් ඇති කැක්කුම බොහෝ දෙනකුට නැති බව පැහැදිලිය.

රටක ක්‍රීඩාව පිළිබඳ න්‍යායාත්මක පුහුණුවක්, දියුණු වෛද්‍ය විද්‍යාවක්, සාහිත්‍යයක් හෝ කලාවක් නොමැති කළ සියල්ල ගමන් කරන්නේ හරහට බව පැවැසීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නොවේ. මෙවර අයවැයෙන් රුපියල් මිලියන 4750 ක් ක්‍රීඩාව වෙනුවෙන් වෙන්වන විට මඩිය තරකර ගන්නට මාන බලන ඔළමොට්ටලයෝ කෙවිට අතට ගෙන ක්‍රීඩාවේ මළ බෙරය වයන්නට දැන් සිටම කුරුමානම් අල්ලන බවට සාධක සෙවීමට ද වෙහෙස මහන්සි විය යුතු නොවේ. බොහෝ දෙනා ක්‍රීඩාවේ කරුමක්කාරයන් වෙමින් තවත් වසරක් හෝ පුටු රැක ගැනීමට මොනයම් හෝ සෙල්ලමක් මෙවර ද වේදිකාගත කරනු ඇත. මෙවන්නන් ගෙන් කවදාවත් ලාංකේය ක්‍රීඩාවට සුගතියක් අත්වන්නේ ද නැත.

Comments