
දිනය පසුගිය 15 වැනි දාය. වේලාව සවස 4 පසු වෙමින් තිබිණි. මාලිගාවත්ත පොලීසියෙහි හදිසි ඇමතුම් අංශයේ දුරකතනය නාද විය. ඇමතුම පොලිස් ස්ථානාධිපතිවරයාටය. අනෙක් කෙළවරේ වූයේ කාන්තාවකි.
“මාලිගාවත්තෙ තට්ටු නිවාසෙක පොඩි පිරිමි ළමයෙක් මැරිලා, ඒ මරණය සැක සහිතයි, මරණ පරීක්ෂණයකුත් නැහැ, වළදාන්න හදන්නේ, ඉක්මනින් එන්න...” දුරකතන ඇමතුමේ අනෙක් පස සිටි කාන්තාව ඉතා කලබලයෙන් පොලිසියට තොරතුරක් සපයා දී, දුරකතනය විසන්ධි කළාය.
එසැණින් ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නිර්නාමික දුරකතන ඇමතුම ඔස්සේ කියවුණු ස්ථානයට ගියහ.
වහාම නිවෙසට ඇතුළු වූ ඔවුන්ට දක්නට ලැබුණේ අවසන් කටයුතු කිරීම සදහා සූදානම් කර තිබුණු කුඩා දරුවාගේ මළ සිරුර රෙදිකඩකින් ඔතා නිවෙසේ සාලයේ බිම තබා ඇති අන්දමයි. මරණය පිළිබඳ කරන ලද මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් පොලීසිය විසින් කරුණු විමසීමේදී නිවැසියෝ නිරුත්තර වූහ.
දරුවා මිය යෑමට හේතුව විමසූ විට දරුවාගේ පියායැයි සඳහන් කළ පුද්ගලයා සඳහන් කළේ සිරැරේ සීනි ප්‍රමාණය ඉහළ යෑම නිසා දරුවා මිය ගිය බවයි. එහෙත් ඊට අදාළ කිසිදු වෛද්‍ය සහතිකයක් ඔවුන් සතුව නොතිබිණි. මේ පිළිබඳ සැකයක් ඇති බවත්, මරණයක් සිදු වූ විට ඊට අදාළ කටයුතු නොකර අවසන් කටයුතු කළ නොහැකි බවත් පොලිස් ස්ථානාධිපතිවරයා නිවැසියන්ට කරුණු පැහැදිලි කළේය. අදාළ දරුවා ආවරණය කර තිබුණු රෙදි කඩ ඉවත් කර, දරුවාගේ මෘත ශරීරය පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දක්නට ලැබුණේ ඔහුගේ බෙල්ලට පහළ ප්‍රදේශයේ පිහිටි සුව නොවූ ඉතා විශාල පිලිස්සුම් තුවාලයකි. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී දරුවාගේ මව ලෙස පෙනී සිටි කාන්තාව සඳහන් කළේ එය උණු වතුරට පිලිස්සීමෙන් ඇති වූවක් බවයි.
එහෙත් මේ වන විටත් දරුවාගේ මරණය පිළිබඳ පැහැදිලි සැකයක් මතු වී තිබීම නිසා තවදුරටත් සිරුර පිරික්සීමේදී දරුවාගේ සිරුරේ තැනින් තැන කලින් සිදු වූ තුවාල කැලැල් කිහිපයක්ද නිරීක්ෂණය කිරීමට පොලීසියට හැකි විය. තවදුරටත් සොයා බැලීමේදී පොලිස් කණ්ඩායමට අනාවරණය කරගත හැකි වූයේ දරුවගේ සැබෑ දෙමාපියන් නොවන නිවැසියන් සතුව දරුවාගේ උප්පැන්න සහතිකයක් හෝ දරුවා පවරාගත් බවට කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් හෝ නැති බවයි.
අදාළ මහේස්ත්‍රාත්වරයාට මේ පිළිබඳ කරුණු දැනුම් දීම සඳහා පොලීසිය විසින් මූලික පියවර ගොනු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදි. ඒ අනුව කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින් සිදු කරන ලද මරණ පරීක්ෂණයේදී මේ මරණය මොට්ට ආයුධවලින් පහර දීම නිසා සිදු වූ මරණයක් බව තීරණය කරනු ලැබිණි.
දරුවා මිය යෑමට ආසන්න දිනක දරුවා හදාගත් කාන්තාව ඔහුට සපත්තුවකින් පපු ප්‍රදේශයට පහර දී ඇති බවටත්, දරුවා සිහිසුන් වීමත් සමඟ ඇය ඔවුන් සතු මෝටර් රථයකින් රෝහලට රැගෙන යන විටත් දරුවා මිය ගොස් තිබූ බවටත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන ඇති බවටත්, දරුවා මිය ගිය පසු කිසිවකුට දැනුම් දීමකින් තොරව දරුවා මුස්ලිම් චාරිත්‍රානුකූලව භුමදානය කිරීමට ස්ථානයක්ද ඒ වන විට අදාළ සැකකාර නිවැසියන් විසින් සූදානම් කරගෙන තිබූ බවටත් තොරතුරු ලැබී තිබිණි.
පොලීසිය විසින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මරණයට පත් දරුවා සැකකාර යුවළ විසින් මින් පෙර ජීවත් වූ තොටළඟ ප්‍රදේශයේ නිවෙස ආසන්නයේ විසූ දෙමළ යුවළකට දාව උපන් අයෙකි. පෙරදී රත්නපුර කලවාන ප්‍රදේශයේ ජීවත් වූ මේ දෙපළ රැකියාවක් කිරීම සදහා තොටළඟ ප්‍ර දේශයට පැමිණ ඇත. දරුවාගේ මවට විදෙස්ගත වීමට අවශ්‍ය බව පවසමින් සැකකාර මුස්ලිම් කාන්තාවට මේ දරුවා භාරදී ඇත්තේ දරුවාට මාස හතරක් පමණ වයසේදීය. මෙහිදී කිසිදු නීත්‍යනුකූල ආකාරයකට දරුවා පවරාගැනීමක් සිදු වී නැත. කෙසේ වෙතත් මින් අනතුරුව සැකකාර යුවළ ‘මොහොමඩ් අලි මොහොමඩ් උස්වාන්’ නමින් දරුවා හඳුන්වා තිබේ.
මිය ගිය දරුවා හදාගත් සැකකාර මුස්ලිම් කාන්තාව විවාහ තුනක් සිදු කරගෙන ඇති අතර, ඇයට දෙවැනි විවාහයෙන් අවුරුදු 10ක දියණියක්ද තුන්වැනි විවාහයෙන් එක් දියණියක්ද වෙති. ඇය තුන්වනුව විවාහ වූ තැනැත්තා ඒ දියණියන් දෙදෙනාටම නැති සෙනෙහසක් හදාවඩාගත් දෙමළ ජාතික දරුවාට ඇති නිසා තමා ඒ පිළිබඳව කෝපයට පත් වී සිටි බව ඇය පොලීසිය හමුවේ කියා සිටියාය. දරුවා පිළිබඳ තම සිතේ වෛරයක් හටගෙන තිබූ බව තවදුරටක් කරුණු විමසීමේදී ඇය පාපොච්චාරණය කර සිටියාය. කාන්තාවගේ තුන්වැනි විවාහක ස්වාමි පුරුෂයා වන තැනැත්තාද මින් පෙර විවාහ වී සිටි පුද්ගලයකු වන අතර, ඒ විවාහයෙන් වයස අවුරුදු 19ක පුතකු සහ 15 හැවිරිදි දියණියකද ඇති බවට තොරතුරු හෙළිදරවු වී තිබේ.
මේ අතර, විදෙස් ගත වන බව පැවසුණු මේ දරුවාගේ සැබෑ මවද විදෙස්ගත වී නැති බවට පොලිස් පරීක්ෂණවලදි හෙළි වී තිබේ. ඇය රත්නපුර කලවාන ප්‍රදේශයේ සිට කොළඹට පැමිණ මේ වන විටත් තේ කර්මාන්ත ශාලාවක සේවය කරන බවද සඳහන් වේ. දරුවා බාරදීමෙන් අනතුරුව අදාළ දෙමවුපියන් කිසිදු අවස්ථාවක මේ දරුවා පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු කොට නැත.
මේ දරුවා නිරන්තර වදහිංසාවට ලක් වන බව දැන සිටි අසල්වැසියන් මොවුන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වීම නිසා කාලයත් සමඟ වැළලී යන්නට තිබුණු මහත් අපරාධයක සුල-මුල හෙළිදරව් කරගැනීමට පොලීසියට හැකි වූයේ එලෙසිනි.
ඉකුත් 14 දා උදෑසන දරුවාගේ යටි බඩ ප්‍රදේශයට පහර දීම නිසා එම ප්‍රදේශවලට දැඩි හානි සිදු වී ඇති බව අනාවරණ කරගැනීමට හැකි වූ අතර, මෙලෙස පහර දී ක්‍රෑර වද-හිංසාවට ලක් කර දරුවකු මරණයට පත් කිරීමට සැක පිට අත්අඩංගුවට පත් මාලිගාවත්ත මහල් නිවාසයේ පදිංචි මොහොමඩ් ෆාතිමා සිෆානා (29) සහ මොහොමඩ් අලි මොහොමඩ් හුස්වා (39) නමැති ඇයගේ සැමියා මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රංගල පසුගිය 16 වැනිදා නියෝග කළේය. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ඒකනායක ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙහෙයවනු ලැබේ.
සුභද්‍රා දේශප්‍රිය