
රටේ බොහෝ පෙදෙස්වලින් ගංවතුර ඇතුළු ස්වාභාවික විපත්වලින් පීඩා විඳින්නන්ගේ දුක් අඳෝනා ඇසෙමින් තිබිණි. ඒ අතරේ ඇඹිලිපිටියේ ප්‍රකට පනාමුරේ ඇත්ගාල ප්‍රදේශයේ විරාලගල ගම්මානයට පසුගිය 23 වැනිදා හිරු උදාවෙමින් තිබුණත් වැහි බීරූම් ගතිය නිසා ගමේ පැහැබර සෞම්‍ය ගතිය නම් මඳක් පහව ගොස් තිබිණි.
පනාමුරේ පොලිස් ස්ථානයේ දෛනික රාජකාරි ආරම්භ වූවා පමණි. පෙරවරු අටට පමණ ගුණදාස පොලිස් ස්ථානයට දිව ආවේ හඬා වැටෙමිනි.
“අනේ සර්, මගේ අහිංසක තාත්තට හොඳටම ගහලා... පිහියෙනුත් කොටලා... මරලා... සාලේ මැද ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා සර්...” ඉකි ගසමින් ගුණදාස කීය.
“කවුද සැක...” ඔහුගේ අඳෝනාව ඇසූ සැණින් පනාමුරේ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කළේය.
“වෙන කවුරුවත් නොවෙයි සර්... තාත්තට මේ විපත කරලා තියෙන්නෙ... අර අසමජ්ජාති එකා තමයි මේ අපරාදේ කරලා තියෙන්නෙ...”
“කවුද ඔය අසමජ්ජාති එකා කියන්නෙ...” පොලිස් පරීක්ෂකවරයා විමසීය.
“වෙන කවුරුවත් නෙමෙයි සර්... මගෙ මල්ලි සෝමසිරි.... ඕකාට මල්ලි කියන්නත් ලැජ්ජයි... කරලා තියෙන මේ පාහර වැඩේ දැක්කම...”
“ඔය සෝමසිරි කියන මල්ලි කොහේද දැන් ඉන්නෙ...”
“අන්න ගෙදරම ඉන්නවා... කාමරේ මුල්ලක වැටිලා තාම නිදි...”
ගුණදාසගේ පැමිණිල්ල එලෙස පොලිස් පොතේ සටහන් විණි.
ඒ අතරේ තටු ලැබුණු පුවතක් සේ විරාලගල මාදිරිස් සීයාගේ ඝාතනය ගම පුරා පැතිරිණි . ඒ ගැන කන වැකුණු සෑම ගම්වැසියෙක්ගේම මුවෙන් පිට වූයේ ‘අනේ අපොයි‘ කියමින් සෝ සුසුමකි.
පනාමුරේ ප්‍රකට ඇත්ගාලට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි ගොවිතැන් බතින් ජීවිකාව තර කර ගන්නා ගම්මුන් වෙසෙන විරාලගල ගම්මානයේ පමණක් නොව අවට ගම්වලද 90 හැවිරිදි කරලහීනගේ මාදිරිස් ජනප්‍රිය චරිතයකි. කිසිවෙකුටත් කරදරයක් නොවී ජීවත් වූ අහිංසක ගැමියකු වූ හෙතෙම ගතේ හයිය තිබූ කාලයේ ප්‍රකට ගොවියෙකි. මාදිරිස්ට දරුවෝ 14 දෙනෙකි. ඉන් හතර දෙනෙක් ජීවතුන් අතර නැත. ඔහුගේ බිරිය ද මීට කලකට පෙර මෙලොව හැර ගියාය.
විරාලගල ‘වෙඩිගෙ ගෙදර‘ නමැති නිවෙසේ කාත් කවුරුත් නොමැතිව තනිව ජීවිතයේ සැඳෑ සමය ගත කළ මාදිරිස් සීයා පසුගිය කාලයේ සිටියේ ඔත්පළ වී වාරු නැතිව බොහෝ සේ පීඩා විඳිමිනි. ඔහුගේ සියලු ඕනෑඑපාකම් ඉටු කරමින් ආවතේව කළේ අසල නිවෙසේ විසූ එක් දියණියකි.
දරුවන් කොතෙක් සිටියත් ජීවිතයේ අවසාන කාලයේ තනිව කවුරුන් හෝ දෙන දෙයක් කාබී අමාරුවෙන් සිටියත් නිදහසේ ජීවත්වූ මාදිරිස් සීයාගේ ජීවිතයට කනකොකා හැඬුවේ සෝමසිරි නමැති පුත්‍රයා මාදිරිස්ගේ වහල යටට පදිංචියට පැමිණි පසුය.
පොලීසිය සඳහන් කරන්නේ 46 හැවිරිදි සෝමසිරි නමැති මාදිරිස්ගේ පුත්‍රයා අධික ලෙස මත්පැන්වලට ලොල්වූවකු බවයි. එහෙත් මත්පැන් නොමැති විටදී සෝමසිරි අහිංසකයකු බව ගම්මු පවසති. කෙසේ හෝ බේබදුකම නිසාම මීට වසර තුනකට පමණ පෙරදී සෝමසිරිගේ කසාද බිරිය ඔහු හැර ගියාය. ඉන්පසු තම පියාගේ වහල යටට පැමිණි සෝමසිරි පියාට පමණක් නොව අසල නිවෙසේ වෙසෙන සහෝදරියටද මහත් හිරිහැරයක් විය.
බේබදු සෝමසිරිගෙන් එල්ල වූ තාඩන-පීඩන මැද කුඩා නිවෙසේ ජීවත්වූ මාදිරිස් සීයාගේ ඔත්පළ ගතිය ටිකෙන් ටික උත්සන්න වීය. මේ අජාසත් පුතු තම පියාගේ ඔත්පළකම මහත් හිරිහැරයක් ලෙස සැලකුවේය. ඒ හිරිහැරයෙන් බේරිමට ඔහු ගත්තේ පාපතර තීරණයකි. අවසන සිදුවූයේ මාදිරිස් සීයා අවාසනාවන්ත ලෙස මිය යෑමය.
“ඝාතනය වූ මාදිරිස් සීයාට ඇවිදින්න අමාරු නිසා බොහෝ වෙලාවට ඇඳේම ජරා කරගන්නවලු... ඒක ඔය සෝමසිරිට වධයක් වෙලා... මාදිරිස් සීයා එක්ක ඒ නිසා හරිම තරහෙන් සෝමසිරි ඉඳලා තියෙන්නෙ... සීයට කෑම දෙන අසල නිවෙසේ සහෝදරියටත් සෝමසිරි කරදර කරලා තියෙනවා. .” පොලිස් පරික්ෂණවලදි අසල්වැසියෙක් පොලිසියට එසේ පැවසීය.
එසේ ජීවත් වෙද්දී මාදිරිස් සීයාගේ අවසන් ඉරණම සිදු වූයේ කෙසේද? යන්න ගැන පරීක්ෂණ පවත්වන පනාමුරේ පොලීසිය සඳහන් කළේය,
“විසි දෙවෙනි දා සවස සෝමසිරි ගෙදර ඇවිල්ලා තියෙන්නේ හොඳටම බීගෙන. ඒ වෙනකොට මිය ගිය කෙනාගේ දියණිය කෑම ගෙනැල්ලා දීලා තියෙනවා පියාට. සෝමසිරි සොහොයුරියගේ නිවෙසට ගිහිල්ලා බැණලා තියෙනවා තාත්තාට කන්න දෙනවා කියලා. නංගිත් සමඟ රණ්ඩුවෙලා ඔහු නැවත තාත්තාගේ ගෙදරට ඇවිල්ලා. රාත්‍රී හත පමණ වෙද්දී “කොල්ලො ගහන්න එපා... මාව මරන්න එපෝ...” කියා තාත්තා විලාප දීලා තියෙනවා. එත් සෝමසිරිට තියෙන බය නිසා කවුරුවත් බලන්න ගිහිල්ලා නැහැ. පහුවැනිදා උදේ දුව තාත්තට තේ එකක් අරන් ගෙදරට යනකොට දැකලා තියෙන්නෙ තාත්තා ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා. ඇය අනෙක් සොයුරාට මේ ගැන කියලා තියෙනවා. ඔහු තමයි පොලිසියට මේ බව දැනුම් දුන්නේ..”
ඒ අනුව ක්‍රියාත්මක වූ පනාමුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රේමතිලක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ශාමින්ද ඇතුළු පිරිස එම ස්ථානයට යන විට මාදිරිස් සීයා නිවෙසේ සාලය මැද වැටී සිටියේය. ඒ අසලම කාමරයේ ඝාතනයේ සැකකරු වූ සෝමසිරිද සිටියේ කරපු වරදට තම පියාගෙන් සමාව අයදින්නාක් සේය.
“සැකකරු රාත්‍රීයේ ඔහුගේ තාත්තා ඝාතනය කරලා නිවසේ අනෙක් කාමරේ උදේ වෙනකල්ම නිදි. උදේ අපි යන විටත් ඔහු නිවෙස ඇතුළෙ හිටියා. ඔහු කියන්නෙ ‘තාත්තා වතුර ඉල්ලුවා... මට හොඳටම බැන්නා... ඒ වගේම තාත්තා මට ගැහැව්වා... පස්සෙ මාත් තාත්තාට ගැහැව්වා... අතින් පයින් ගහලා හැරමිටියෙනුත් ගැහැව්වා... පිහියෙනුත් ගැහැව්වා කියලයි” යනුවෙන් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියා පැවසීය.
මාදිරිස් සීයාට දරුවන් දාහතර දෙනෙකි. අවාසනාව නම් මේ තාත්තාට හොඳින් සලකන්නට අනිත් දරුවන්ට බැරි වූයේ ඇයි ද කියාය. මේ අරුම යුගයකි. තම ලෙයින් ජනිතවූ, තම දහඩිය මහන්සියෙන් උපයා කන්නට බොන්නට දී උස් මහත් කළ පුතකු අතින් මිය යන්නට සිදුවීම කොතරම් නම් ඛේදවාචකයක් ද? එමෙන්ම මෙවැනි නරුම පුතුන් ගැන කුමක් නම් කියන්නද?
උදේ රෑ දහම් දෙසන දහම් ඇසෙන රටක මවු පියන්ට සිදුවන අතවර අවසාන වන්නේ කවදා ද?
සැකකරු වූ සෝමසිරි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පසුගිය 24 වැනිදා ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ඉරෝෂනී ඉරේෂා පාහිංගල මිය නියෝග කළාය.
සිද්ධිය පිළිබඳ පනාමුරේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි. එච්. එන්. එස්. ප්‍රේමතිලක, අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ශාමින්ද ජයලත් යන අයගේ උපදෙස් මත පො. සැරයන් (34519) අමරසිරි, පො. සැරයන් (56219) ප්‍රේමදාස, පො. කො. (74953) රත්නායක, පො. කො. (59958) සේනාරත්න යන මහත්වරු පරික්ෂණ පැවැත්වූහ.
ඡායාරූප - බී. ඒ. පොඩි මහත්මයා
උඩවලව සමූහ වාර්තාකරු