
ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයෙන් වේගවත් ප්‍රගතියක් අත් කර ගනිමින් සිටින අතර, එය මෙරට විදේශ විනිමය උපයන බලවත් අංශයක් ලෙස ශීඝ්‍රයෙන් නැගී සිටින බවත් අනාවරණය වෙයි. මේ වසරේ මුල් කාර්තුවේදී ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් කෝටි 19,947ක් උපයා ඇති අතර පසුගිය 2017 වසර සමඟ සසඳන විට එය සියයට 4ක වැඩි වීමකි. පසුගිය වසරේ මුල් කාර්තුවේදී ඇඟලුම් අපනයනයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 1.21ක විදේශ විනිමය හිමි වූ අතර, මේ වසරේ මුල් කාර්තුවේදී එය ඩොලර් බිලියන 1.26 දක්වා වර්ධනය වී තිබේ.
"මේ වසරේදී අපගේ ඇඟලුම් ක්‍ෂේත්‍රයට ඉතා හොඳ කලක් ලබලා තියෙනවා. 2017 මුල් කාර්තුවට වඩා 2018 මුල් කාර්තුවේදී රුපියල් කෝටි 791.5 ක (ඩොලර් මිලියන 50) ක අමතර ආදායමක් ඇඟලුම් අපනයනයෙන් උපයා ගන්නට හැකි වී තියෙනවා යි ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.
ඇමැතිවරයා මෙසේ ද කීය. ‘අපගේ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ දමමින් අපගේ නිෂ්පාදන ඉහළම මට්ටමට ගෙන ඒමට පියවර ගන්න ඕන. ඒ සඳහා ඇති අභියෝග සියල්ලම ජය ගැනීම වගකීමක්. රජයක් ලෙස අප අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙනවා. GSP + සහනය යළිත් ලැබීමත් සමඟ අපි එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඕන. පසුගිය වසරේ ශ්‍රී ලංකාව යුරෝපයට ඇඟලුම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් උපයා තියෙනවා.
අපගේ සමස්ත ඇඟලුම් අපනයනයෙන් සියයට 42% ක්ම අපනයනය කරන්නේ යුරෝපයටයි. ඒ වගේම මෙම වර්ෂයේ මුල් කාර්තුවේ යුරෝපයට සිදු කරන ලද ඇඟලුම් අපනයනය සියයට 5.2% කින් ඉහළ ගොස් තියෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 526 ක් වෙනවා. එය 2017 දී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වුණා. ඒ වගේම ඇමරිකාවට කරන ඇඟලුම් අපනයනය මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 5.1 කින් වැඩිවෙලා තියෙනවා. 2018 මුල් කාර්තුවේදී ඇමරිකාවට අපනයනය කරන ලද ඇඟලුම් ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 576 ක් වුණා. එය 2017 මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 548 ක් ලෙස වාර්තා වී තියෙනවා." යැයි ද ඔහු පැවසීය.