විශ්වයම දෙපා යුද්ධයට සැරසෙයි | සිළුමිණ

විශ්වයම දෙපා යුද්ධයට සැරසෙයි

 ලෝකය ම තනියායක් කරන පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍ය තවත් හරියට ම දින 19 කින් රුසියාවේදි ආරම්භ වෙයි. ලොව පුරා කණ්ඩායම් 32 ක් නගර 11 ක පිහිටි ක්‍රීඩාංගණ 12 කදී මසකුත් එක් දිනක් තරග වදින මෙකී සැණකෙළියට අයත් මුළු තරග සංඛ්‍යාව 64 කි. ලබන 14 දා සිට ජූලි 15 දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් 32 න් 31 ක්ම සුදුසුකම් ලැබීමේ තරගවලට එක්විය. එකී තරග 2015 මාර්තු මාසයේ සිට 2017 නොවැම්බර් මාසය දක්වා පැවැත්විණි. රුසියාව සත්කාරක රට වශයෙන් නිතරගයෙන් විසි එක්වැනි පාපන්දු ලෝක කුසලානයට එක් විය.

බංග්ලාදේශයේ ජාතික ධජ සකසන්නන් මේ දිනවල නිදිවර්ජිතව එකී කාර්යයේ නිරත වෙති. එහිදී පාපන්දු ලෝලයන්ගේ වැඩිම ඉල්ලුම යොමු වී තිබෙන්නේ ලියොනල් මෙසීගේ ආර්ජන්ටිනාවට සහ නේමාර්ගේ බ්‍රසීලයට ය. බංග්ලාදේශයේ අද ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුවද, සෑම සිවුවසරකට වරක් ම ලොව පුරා හඹා යන පාපන්දු ලෝක කුසලාන සුළියට ඔවුහු ද ගොදුරු වෙති. වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල බංග්ලාදේශය රටවල් 211 ක් අතරින් පසුවන්නේ 197 වැනි ස්ථානයේයි. අද බංග්ලාදේශයේ වැසියන්ගේ ඉල්ලුම ලියොනල් මෙසිගේ ආර්ජන්ටිනාවට සහ නේමාර්ගේ බ්‍රසීලයට හිමිවන විට 2014 එනම් 20 වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් ගැන මෙලෝ මළදානයක් පවා හරි හැටි නොදැන සිටි පිරිසට අනුව එවර තරගාවලියට ඉදිරිපත්ව සිටියේ කණ්ඩායම් දෙකක් සහ ක්‍රීඩකයන් දෙදෙනකී. ඒ ආර්ජන්ටිනාව සහ සත්කාරක බ්‍රසීලයයි. ක්‍රීඩකයන් දෙදෙනා වූයේ මෙසී සහ නේමාර්ය. ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය පමණක් නොව, මෙසී මෙන් ම නේමාර් ද 2018 දක්වා තවත් සිවු වසරකට කුණු කූඩයකට තල්ලු කර දැමූ ජර්මනියේ විසි දෙවැනි වියේ පසු වූ මාරියෝ ගොට්ෂා 1990 ට පසු පාපන්දු කිරුළ සිවු වැනි වරටත් ජර්මනියට උරුමකර දුන් පා පහරේ හිමිකරුවා විය.

ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසි මේ ආකාරයෙන් ලොව පුරා අවධානයට ලක්වන විට නවතම පුවතකින් මෙසී මෙන් ම පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සම්බන්ධයෙන් ද කියැවුණේ ඇඟ කිලිපොළා යන පුවතකි. ඒ සිරියාවේ අයි එස් අයි එස් සටන්කාමීන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම්වලදී රුසියානු ජනාධිපතිවරයා දක්වන සහයෝගයට එකට එක කිරීමක් ලෙස විසි එක්වන දෙපා යුද්ධයට තවත් දින කිහිපයක් තිබියදී මෙවර තරගාවලියේ සුපිරි තරු යුගලය වන මෙසී සහ රොනල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කර තිබීමයි. මේ අතර මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන රුසියාවේ ජනාධිපතිවරයාට තර්ජනය කර ඇත්තේ මුස්ලිම්වරුන්ට එරෙහිව කරන සටන්වලට වන්දි ගෙවීමට ද සූදානමින් සිටින ලෙසයි. මෙසි සහ රොනල්ඩෝට අයි එස් අයි එස් සටන්කාමීන් තර්ජනය කිරීමටත් ප්‍රථම ඔවුන් අනතුරු අඟවා තිබුණේ එංගලන්ත පාපන්දු ලෝලයන්ටය. ඒ මීට මාස කිහිපයකට පෙර සිටය. මේ පිළිබඳ අවධානය යොමු කළ එංගලන්තය සිය ක්‍රිඩා ලෝලයන්ට දන්වා සිටියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළ සිය ජාතික ධජ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසය. මේ අතර රුසියාව විසි එක්වැනි පාපන්දු තරගාවලිය සඳහා සුවිශේෂි ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවමින් සමස්ත තරගාවලිය පුරාම ආරක්ෂාව දැඩි කර තිබේ. මේ අතර ආර්ජන්ටිනාවේ මාකෝ ඉකාඩි ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙසීට මේ වනවිට දැඩි ලෙස විවේචන එල්ලවෙමින් පවතී.

දෙපාවලට මැදිවූ පන්දුවක්, ගෝල් කණු දෙකක් අතර ගැට ගැසූ දැලක් අතර පැය එකහමාරකට ආසන්න කාලයක් තුළ කෙරෙන මෙකී යුද්ධය සැබැවින් ම ඔලිම්පික් උලෙළට පවා දෙවැනි නොවන බවට සැක නැත. රටවල් 211 ක් අතරින් රටවල් 32 ක් මෙකී තරගාවලියට කඳවුරු බඳින විට මහද්වීප අනුව කණ්ඩායම් බෙදා වෙන් කෙරෙන්නේ පාපන්දුවේ ගුණාත්මක භාවයට ප්‍රමුඛතාව ලබා දෙමින්ය. මේ අනුව ලොව විශාලතම මහද්වීප ලෙස සැලකෙන ආසියානු සහ ඔස්ට්‍රේලියානු මහාද්වීප එක් කලාපයක් ලෙස සලකා මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වූ රටවල් සංඛ්‍යාව පහකි. ඒ ඔස්ට්‍රේලියාව, ඉරානය, ජපානය, සෞදි අරාබිය සහ දකුණු කොරියාවයි. වැඩිම රටවල් සංඛ්‍යාවක් එක් වන්නේ යුරෝපා මහ­ාද්වීපය නියෝජනය කරමින්ය. රටවල් සංඛ්‍යාව 14 කි. ඒ රුසියාව, බෙල්ජියම, ක්‍රොයේෂියාව, ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, සර්බියාව, ස්පාඤ්ඤය, ස්විඩනය සහ ස්විස්ටර්ලන්තයයි. අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් ඊජිප්තුව, මොරොක්කෝව, නයිජීරියාව, සෙනගාලය සහ ටියුනීසියාව ද උතුරු - මධ්‍යම ඇමරිකාව සහ කැරිබියානු දූපත් කලාපය නි‍‍යෝජනය කරමින් කොස්ටරිකෝ මෙක්ෂිකෝ සහ පැනමාව තරගාවලියට එක්වෙයි. මීට අමතරව දකුණු ඇමරිකානු කලාප නියෝජනය කරමින් ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, පීරු සහ උරුගුවේ මෙවර තරගාවලියට රුසියාවේ රොද බදියි.

මෙවර සුදුසුකම් ලැබීමේදි පැවැති සම්පූර්ණ තරග සංඛ්‍යාව 872 කි. එක්වූ රටවල් සංඛ්‍යාව 210 කි. රැස් කළ ගෝල සංඛ්‍යාව 2454 කි. ගෝල 16 බැගින් වූ වැඩිම ගෝලලාභින් තිදෙනකි. පෝලන්තයේ රොබර්ට් ලෙවන්ඩොව්ස්කී, සෞදි අරාබියාවේ මොහොමඩ් අල් සහ්ලාව් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අහ්මඩ් කලීල්ය.

සුපුරුදු පරිදි මෙවර තරගාවලිය පෙරළිකාර සිදුවීම් රැසකින් ද සමන්විත විය. ඒ අතරින් දැඩි අවධානය යොමු වූයේ ඉතාලිය, ඇමෙරිකාව සහ නෙදර්ලන්තය වැනි රටවලටය. ඔවුන්ට මෙවර ලෝක කුසලාන වරම් අහිමි විය. මේ අතර ඉතාලියට මෙවර ලෝක කුසලාන වරම් අහිමි වූයේ 1958 න් පසුව වීම ද විශේෂත්වයකි. එමෙන් ම ඇමෙරිකාව 1990 - 2014 න් පසුව මෙවර ලෝක කුසලාන වරම් අහිමි කර ගත්තේය. නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව නවවැනි ස්ථානයේ පසුවන චිලී, 19 වැනි ස්ථානයේ පසුවන නෙදර්ලන්තය සහ 20 වන ස්ථානයේ පසුවන ඉතාලිය ද මෙවර ඇඬූ කඳුළින් ලෝක කුසලානය දෙස නෙත් යොමා ගෙන සිටියි. මෙවර ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලි සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වූ රටවල් කිහිපයකි. භූතානය, දකුණු සූඩානය, ජිබ්‍රොල්ටා, කොසෝවා ඒ අතර විය. සිම්බාබ්වේ සහ ඉන්දුනීසියාව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් ඉවත් කෙරිණි.

මේ අතර ප්‍රථමවරට ලෝක කුසලාන තරගාවලියට එක්වන රටවල් දෙකකි. ඒ අයිස්ලන්තය සහ පැනමාවයි. මෙයින් අයිස්ලන්තය වඩාත් කැපී පෙනෙන්නේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ අඩු ම ජනගහනයක් සිටින රට වශයෙනි. 2016 ලෝක බැංකු වාර්තාවට අනුව අයිස්ලන්තයේ ජනගහනය 334,252 කි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සෑම තරගාවලියකට ම එක්වූ රට බ්‍රසීලයයි. එමෙන් ම වැඩි ම වතාවක් ලෝක කිරුළ හිමිකර ගෙන තිබෙන්නේ ද බ්‍රසීලයයි. ඒ පස්වතාවකි. මෙවර වරම් අහිමි වූ ඉතාලිය සහ පසුගිය ශූරයන් වූ ජර්මනිය සිව්වතාව බැගින් පාපන්දු ලෝක කිරුළ දිනා ගෙන තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් නැගෙනහිර යුරෝපයේ රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනු ඇත. මෙවර සමාරම්භක තරගය මෙන් ම අවසන් මහා තරගය පැවැත්වෙන්නේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදීය. එහි ප්‍රේක්ෂක ධාරිතාව 81000 කි. තරග පැවැත්වෙන නගර 11 වන්නේ මොස්කම්, ශාන්ත පිටර්ස්බර්ග්, කාලීන්ගාර්ඩ්, කසාන්, සමාරා, සරන්ස්, රොස්ටොච් ඔන් ඩොන්, සොචී, යෙකටෙරින්බර්ග්, නිෂ්නි ෆෙව්ගොරොඩිය හා වොල්ගොග්‍රාඩ් ය. රුසියාව ලොව විශාලතම රට මෙන් ම දිගම දේශ සීමාව හිමි රටයි. අසල්වැසි රටවල් සංඛ්‍යාව 18 කි. ‍

මෙවර ශූරයන්ට පාපන්දු කිරුළ සමඟ හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 38 කි. අනුශූරයන්ට මිලියන 28 කි. තෙවැනියාට මිලියන 24 කි. සිවුවැනියාට මිලියන 22 කි. පස් වැන්නාගේ සිට අටවැන්නා දක්වා මිලියන 16 බැගින් ද, නවවැනියාගේ සිට දහසයවැනියා දක්වා මිලියන 12 බැගින් ද හිමිවන අතර, දහහත් වැනියාගේ සිට තිස්වැනියා දක්වා මිලියන අට බැගින් ද හිමි වෙයි.

මෙවර තරගාවලියේ සුරතලා ෂැබිවාකා නම් වෘකයායි. නිල පාපන්දුව නම් කර තිබෙන්නේ ටෙල්ස්තර් 18 ලෙසය. එය නිර්මාණය කළේ ප්‍රකට ජර්මන් සමාගමක් වන අඩිඩාස් ය.

ආර්ජන්ටිනාවේ අංක එකේ දැල් රකින්නා වන පාර්ගියෝ රොමිරෝට මෙවර තරගාවලිය අහිමි විය. ඒ දණහිසේ ආබාධයකට ලක්වීම නිසා ය. 2014 අනුශුර ආර්ජන්ටිනා කණ්ඩායමට ද හෙතෙම ක්‍රීඩා කළේය. තිස් පස්වන වියේ පසුවන රෝමිරෝ මේ වනවිට එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

මෙවර එංගලන්තයට ලෝක කිරුළ දිනා ගත හැකි බව එංගලන්ත නව නායක හැරී කෙන් පවසයි. විසි හතර වියැති ‍කෙන් මේ වනවිට ලොව සිටින සුපිරිතම ඉදිරි පෙළ ක්‍රීඩකයෙකි. පාපන්දු ක්‍රීඩාව ලොවට දායාද කළ එංගලන්තයට තවමත් ලෝක කිරුළක් දිනාගැනීමට හැකි වී තිබෙන්නේ එක්වතාවකදී පමණි. ඒ 1966 එරට සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේදී ය.

සුපුරුදු පරිදි මෙවර තරගාවලිය සිය අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවට පත් කරගෙන සිටින තරු කිහිපයකි. මෙක්සිකෝවේ ර‍‍ෆායල් මාර්කොස්, ස්පාඤ්ඤයේ ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා, ඔස්ට්‍රේලියාවේ ටිම් කෝහිල් සහ ආර්ජන්ටිනාවේ ජාවියර් මැස්කෙරානෝය.

පීරු කණ්ඩායමේ නායක තිස් හතර වියැති පාලෝ ගුරෙරෝට මෙවර තරගාවලිය අහිමි වී තිබේ. ඒ ලෝක පාපන්දු සම්මේලනය විසින් පනවන ලද මාස 14 ක තරග තහනමක් හේතුවෙනි. ඒ ගුරෙරෝ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතකර තිබීමය.

මේ අතර ඔහුට මෙවර තරගාවලියට එක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලමින් මෙවර තරගාවලියට එක්වන රටවල් තුනක නායකයන් ලිපියක් මගින් අමුතු මෙන් ම අප‍ුරුම ඉල්ලීමක් ද කර තිබේ. මේ ඉල්ලීම කර තිබෙන්නේ ඔස්ට්‍රෙලියාව, ඩෙන්මාර්කය සහ ප්‍රංශය යන රටවල නායකයන් ය. මෙවර මුල් වටයේදී මේ රටවල් හතර ම සී කාණ්ඩයෙන් තරග කිරීම විශේෂත්වයකි. ප‍ීරු මෙවර ලෝක කුසලාන වරම් හිමිකර ගන්නේ වසර තිස් හයකට පසුව වීම ද විශේෂත්වයකි.

මෙතෙක් ලෝක කුසලානය දිනා ගෙන ඇති රටවල් සංඛ්‍යාව අටකි. වැඩිම ගෝල් ලාභියා ජර්මනියේ මිරොස්ලොව් ක්ලෝස්ය. සංඛ්‍යාව 16 කි.

රටවල් 32 ඉහළම දක්ෂතා

01. රුසියාව - සිවුවැනි (1966)

02. බ්‍රසීලය - ශූරයෝ (1958/62/70/94/2002)

03. ඉරානය - මුල්වටය (1978/98/2006/14)

04. ජපානය - දෙවැනි වටය (2002/10)

05. මෙක්ෂිකෝව - අර්ධ අවසන් (1970/86)

06. බෙල්ජියම - සිවුවැනි (1986)

07. දකුණු කොරියාව - සිවුවැනි (2002)

08. සෞදි අරාබිය දෙවැනි වටය (1994)

09. ජර්මනිය - ශූරයෝ (1954/74/90/2014)

10. එංගලන්තය - ශූරයෝ (1966)

11. ස්පාඤ්ඤය - ශූරයෝ (2010)

12. නයිජීරියාව - දෙවැනි වටය (1994/98/2014)

13. කොස්ටරිකා - අර්ධ අවසන් (2014)

14. පෝලන්තය - තෙවැනි තැන (1974/82)

15. ඊජිප්තුව - ප්‍රථම වටය (1934/90)

16. අයිස්ලන්තය -

17. සර්බියාව/ යුගෝස්ලාවියාව - සිවුවන (1930/62)

18. පෘතුගාලය - තෙවැනි (1966)

19. ප්‍රංශය - ශූරයෝ (1998)

20. උරුගුවේ - ශූරයෝ (1930/50)

21. ආර්ජන්ටිනාව - ශූරයෝ (1978/86)

22. කොලොම්බියාව - අර්ධ අවසන් (2014)

23. පැනමා -

24. සෙනගාලය - අර්ධ අවසන් (2002)

25. මොරොක්කෝව - දෙවැනි වටය (1986)

26. ටියුනීසියාව - මුල්වටය (1978/98/2002/06)

27. ස්විස්ටර්ලන්තය - අර්ධ අවසන් (1934/38/54)

28. ක්‍රොයේෂියාව - තෙවැනි (1998)

29. ස්විඩනය - අනුශුරයෝ (1958)

30. ඩෙන්මාර්කය - අර්ධ අවසන් (1998)

31. ඔස්ට්‍රෙලියාව - දෙවැනි වටය (2006)

32. පීරු - අර්ධ අවසන් (1970)

බන්දුල ජයමාන්න

Comments