රණවිරුවෝ සැමගේ විරුවෝය... | Page 2 | සිළුමිණ

රණවිරුවෝ සැමගේ විරුවෝය...

 ඒ 1995 වසරයි. රිවිරැස මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. රට-ජාතිය සුරැකීම පිණිස යුද බිමේ පෙරමුණ ගත්, ජාති-ආගම්-කුල භේද නොසැලකූ කර්නල් ලෆීර් අණ දෙමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් වෙත හමුදා කණ්ඩායමක් මෙහෙයවාගෙන යන්නට විය. ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාර හමුවේ නොසැලෙමින් ත්‍රස්තවාදීන්ට වට කරමින් පහර දී ඔවුන් යටත් කරගැනීමට කර්නල් ලෆීර්ට හැකි විය. මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු 76ක් ඔවුන්ට හමු වූ අතර, ජ්‍යෙෂ්ඨ ත්‍රස්තවාදියෙක් කර්නල් ලෆීර්ගේ අත්අඩංගුවට පත් විය. කර්නල් ලෆීර් ඔහුගෙන් විස්තර දැනගත්තේය.

තමා කැමැත්තෙන් සංවිධානයට නොබැඳුණු බවත්, බලහත්කාරයෙන් සංවිධානයට බඳවාගනු ලැබූ බවත් ඔහු හෙළි කළේය. පසුව හෙතෙම විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කළේය. හමුදා පාලන ප්‍රදේශවල සිවිල් ජනතාව අතරේ සැඟවී සිටින එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හඳුනාගැනීම සඳහා කර්නල් ලෆීර් හට මේ කොටි සාමාජිකයා උපකාරි විය.

මේ වන විට රිවිරැස මෙහෙයුමෙන් ඒ කොටි සාමාජිකයා මිය ගිය බව සිතා පවු‍ලේ අයත් කොටි සංවිධානයත් ගම පුරා ‍පෝස්ටර් අලවා තිබිණි. කර්නල් ලෆීර් කොටි සාමාජිකයාද සමඟ යාපනය වලිකාමම් බටහිර ප්‍රදේශයට ගොස් ඔහුගේ ඥාතීන් සිටින ස්ථාන ගැන දැනගත්තේය. පසුව හමුදාවේ දැනුම් දීම පරිදි ඒ ඥාතියා සවස් වරුවක කර්නල් ලෆීර් සිටින හමුදා කඳවුරට පැමිණියේය.

අදාළ ත්‍රස්තවාදියා පිළිබඳත් ඔහුගේ මව පිළිබඳත් විමසා ත්‍රස්තවාදියාට නොදැනෙන සේ කඳවුරට කැඳවාගෙන එන්නැයි ඥාතියාට දැනුම් දීමට කර්නල් ලෆීර් කටයුතු කළේය.

ත්‍රස්තවාදි සාමාජිකයාගේ මව ඥාතියකු සමඟ හමුදා කඳවුරට ආ මොහොතේ කර්නල් ලෆීර් ඔවුන් දෙපළ පිළිගෙන පුතාට වූ දෙය මවගෙන් විමසුවේ කිසිත් නොදන්නා අයුරිනි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් නිසා තමාට පුතා නැති වූ බව කියමින් ඒ මව දෙස්-දෙවොල් තබමින් බැණවදින්නත්, ත්‍රස්තවාදී නායකයන් සියලු දෙනාට ශාප කරන්නත් විය.

ඇයගේ විලාප තවදුරටත් බලා සිටිනු නොහැකි වූ කර්නල් ලෆීර් තම භාරයේ සිටි ඇයගේ පුතු ඇය ඉදිරිපිටට ගෙන්වූයේය. ඇස් අදහාගත නොහැකි වූ ඒ මාතාව වැලි සහිත බිම පෙරළෙමින් වැල්ලේ වැලි පවා කන්නට වූයේ තමාට පුතු ජීවත් වනු දැක වාවාගත නොහැකි වූ නිසාය.

තම දරුවා බදාගෙන හඬන්න වූ ඒ අම්මා ඉදිරියේ ත්‍රස්තවාදියකු වූ පුතාද හඬන්නට විය. මවට කතා කළ කර්නල් ලෆීර් පුතා රැගෙන යන්නැයි මවට පැවසීය. තරුණ දරුවකු වුවද ඒ මොහොතේ දරු කැක්කුමෙන් පිරී ගිය ඒ අම්මා තම පුතු සතුටින් ගෙදර කැඳවාගෙන යනු ඇතැයි කර්නල් ලෆීර් සිතුවද සිදු වූයේ හාත් පසින්ම වෙනස් දෙයකි. තම පුතු ගෙදර ගෙන යෑම අම්මා ප්‍රතික්ෂේප කළාය. සිංහල, දෙමළ ඇතුළු භාෂා හොඳින් දත් කර්නල් ලෆීර් ඒ ගැන මවගෙන් විමසීය.

‘ඇයි පුතා එක්ක යන්නෙ නැත්තෙ?’

‘මම පුතාට ආදරෙයි මහත්තයො, මගේ දරුවා මැරුණා කියලා හිතාගෙන මම ඒ වෙනුවෙන් දාන පින්කම් පවා කළා, නැති වුණු ඒ දරුවා මට ලැබුණෙ මහත්තය නිසා. මට ඕන ඒ දරුවා ජීවත් වෙනව දකින්න. මම මේ දරුව එක්කරගෙන ගියොත් මේ තිරිසන්නු ආයෙත් දරුවව බලෙන් අරගෙන යයි. ඊට වඩා මගේ දරුව මහත්තයල ගාව ඉන්න-එක මට සතුටක්. හමුදාව කියන්නේ එක ආගමකට ජාතියකට සීමා වෙච්ච දෙයක් නෙමෙයිනේ මහත්තයො...’ ඇය තම තරුණ දරුවා බාර දී එසේ නික්ම ගියාය.

සටන් බිමේ සතුරාටත් මානුෂීය ගුණාංග පෙන්වූ කර්නල් ලෆීර්ගේ මනුස්සකම නිසාම හමුදාවට ස්වේච්ඡාවෙන්ම උදවු කරන්නට එකී කොටි සාමාජිකයා කැප වුණේය.

අප මේ කතා කළේ යුදබිමේදී අපට අසන්නට ලැබුණු එක් පුවතක් ගැන පමණි. වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවම වසාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදීන් ගෙන ගියේ ජනවාර්ගික අරගලයක් නොව; වෙනම රාජ්‍යයක් හදාගෙන තමන් බලවතුන් වීමට දරන ලද ප්‍රයත්නයක් බව මෙවන් කතා අපට මනා උදාහරණ ලෙස දැක්වීමට පුළුවනි.

ත්‍රස්තවාදීන් එදා සිටම සිදු කළ මනුෂ්‍ය ඝාතන දෙස බැලීමේදී අපට මේ තත්ත්වය හොඳින් වටහාගත හැකිය. විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් ඊළාම් යුද්ධයේ ආරම්භය ලෙස සලකන යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා ඝාතනය ලෝකයම පිළිකුල් කරන්නට විය.

1975 වසරේ ජූලි මස 25 වැනිදා එවකට සිදු කළ ඒ ඝාතනය දෙමළ ජනතාවගේ විමුක්තිය සඳහා නොව; දෙමළ ජනතාව ලෝකයටම අප්‍රිය කරවිමට සිදු කරන ලද්දක් බවට බොහෝ රටවල කතාබහට ලක් විය. දොරෛඅප්පා මහතා දෙමළ ජාතික අයකු වීම ඊට ප්‍රධානතම හේතුවයි.

ත්‍රස්තවාදීන් දෙමළ ජාතික නායකයන් ඝාතනය කළේ වරක් දෙවරක් නොවේ. යාපනය පළමු නගරාධිපතිනිය වූ සරෝජනී යොගේස්වර්න් මැතිනිය 1998 මැයි 17 වැනිදාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම් 1999 වසරේ ජූලි 29 වැනිදාත් ඝාතනය කිරීම මේ අතුරින් ලෝකය පුරාම පිළිකුල් කළ ඝාතන අතර විය. එසේම 1998 සැප්තැම්බර් 29 දින ලයන් එයාර් ගුවන් යානයට ප්‍රහාර එල්ල කරමින්, එහි සිටි දෙමළ ජාතිකයන් 48 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 7 දෙනකු ඝාතනය කිරීමත් ලෝකයම පිළිකුල් කළ සිදුවීම් අතර විය.

සියලු ජාතීන් සමඟිව එක්ව දිවි ගෙවිය යුතුය, යන සංකල්පය මත සිටි හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා ඝාතනය කළේද ත්‍රස්තවාදීන් විසින් කලින් කළ සැලසුමකට අනුවය. එසේම ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනයකටද කළුතර බන්ධනාගාරයේදී සැලසුමක් තිබුණු බව අනාවරණය වූයේ ඒ මහතා බන්ධනාගාරයේ එල්ටීටීඊ රැඳවියන් බැලීමට ගිය අවස්ථාවක කළ පහර දීම් හා ඒ මහතා ඝාතනයට උත්සාහ කළ අවස්ථාවේදීය. දෙමළ ජාතික නායකයන් සහ සාමාන්‍ය දෙමළ ජනතාව පවා ඝාතනය කරමින්, තමන් පමණක් රජ වීමේ සංකල්පයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අනුගමනය කළ බව ඉතා පැහැදිලිය.

සිකුරාදාවක කාන්තාන්කුඩි මුස්ලිම් දේවස්ථානයක යාච්ඤා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173 දෙනකු ත්‍රස්තවාදීන් විසින් දිගට හරහට පල්ලියට වෙඩි තබමින් ඝාතනය කරන ලද්දේද මේ ම්ලේච්ඡත්වයේ තවත් අවස්ථාවක් පෙන්නුම් කරමිනි. මීට අමතරව මන්නාරමේ සිටි මුස්ලිම් ජනතාවට ත්‍රස්තවාදීන් පහර දී එළවා දැමුවේ වරක්-දෙවරක් නොවේ.

සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් සිදු කළ ලද ඝාතන මෙන්ම බෝම්බ ප්‍රහාරද සංඛ්‍යාත්මකව අතිවිශාලය.

පිටකොටුවේ බෝම්බයත්, මරදානේ බෝම්බයත් ඒ අතර මුල් තැනක් ගනී. ඊට අමතරව රටේ තවත් ස්ථාන රැසක සිදු වූ බෝම්බ පිපිරීමේ මෙන්ම බස් රථවල හා දුම්රියවල පුපුරුවන ලද බෝම්බ සංඛ්‍යාවද සුළු-පටු නොවේ. මේ අතුරින් යාල්දේවි දුම්රිය කොකාවිල්හිදී බැරල් බෝම්බ 11ක් අටවා පුපුරවා හරිමින් 34 දෙනකු ඝාතනය කිරීමත්, තවත් අවස්ථාවකදී එහි බෝම්බ අටවා වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් පුපුරුවාහැරීමත්, අලුත්ගම කාර්යාල දුම්රියක බෝම්බ අටවා 75 දෙනකු ඝාතනය කිරීමත් එවන් සිදුවීම් තුනක් පමණකි.

රටේ ආර්ථිකයට ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරද සුළු-පටු නොවේ. එයින් මුල් තැන්හි ලා සැලකිය හැකි ස්ථාන දෙකක් වන්නේ මහ බැංකුවට එල්ල කරන ලද ප්‍රහාරය සහ කටුනායක ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයයි. මීට අමතරව කොලොන්නාව හා ඔරුගොඩවත්ත තෙල් ටැංකි සංකීර්ණ ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර නිසා මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩා-වැටෙන්නට විය. ජාතික ආරක්ෂක බද්දක් ජනතාව පිට වැටුණේ මේ තත්ත්වය නිසාය.

2006 ජූනි 21 වැනිදා මාවිල් ආරු සොරොව්ව වසා ගොවි ජනතාවට වතුර ලබාගැනීමට ත්‍රස්තවාදීහු බාධා කළහ. මේ නිසා දහස් ගණන් ජනතාවට තම ගොවිතැන් බත් කරගන්නට නොහැකි විය. ගොවිතැන් පාළු වී ගියේය. මේ අවස්ථාවේ මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට එවකට හමුදාපති ධුරය දැරූ, වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පියවර ගන්නා ලදී. මාවිල් ආරු ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නා ලදි. ඒ හරහා නැඟෙනහිර පළාතේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාවට යළිත් වගා බිම් සකස් කරගන්නට හැකි විය. 2007 වසරේදී නැඟෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් සම්පූර්ණයෙන්ම මුදාගන්නට හමුදාවෝ සමත් වූහ. එමෙන්ම අවසන් සටනද ඒ සමඟම ත්‍රිවිධ හමුදාවම විසින් ආරම්භ කරන ලද්දේ ත්‍රස්තවාදීන් කිසිදු ලෙසකින් හෝ ජනතා මතයට හිස නොනමන බව තේරුම් ගත් නිසාය. කිසිදු ආකාරයක දේශපාලන විසඳුමකට ඔවුන් එකඟ නොවන බවට ඒ අවස්ථාව වන විට පැහැදිලි ලකුණු පහළව තිබිණි. හමුදාව මේ තුන් ජාතියටම සමඟිව විසීමේ පරිසරයක් ලංකාව ත්‍රළ ඇති කිරිමේ අරමුණින් අවසන් සටන අරඹන ලදී. අවසන් සටන නිමා කරන ලද්දේ ජයග්‍රාහීවය. ත්‍රස්තවාදීන් පරාජය කරමින් තම සටන් ජය ගන්නට ශ්‍රී ලාංකීය වීර හමුදාවෝ සමත් වූහ. ඒ 2009 වසරේ මැයි 18 දිනය. මේ අවසන් සටනට සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදාව මානුෂීය ලෙස ක්‍රියා කළ ආකාරය පිළිබඳව ලෝකයේම අවාධානය යොමුව තිබිණි. තම බත් පත අසරණ වූ දෙමළ ජාතික වැසියන්ට ලබා දෙමින්, තනිවම යෑමට නොහැකි වයෝවෘද්ධ වැඩිහිටියන් තම දෝතින් ඔසවාගනිමින් රණවිරුවන් මේ මානුෂීය ජයග්‍රහණය ලබාගත්තේ ‘මානුෂීය මෙහෙයුම’ යන්න වචනයට සීමා නොකරමිනි.

ඒ ජයග්‍රහණය සිංහල හෝ අනෙක් එක් ජාතියක් විසින් අත් කරගත් ජයග්‍රහණයක් නොවන බවත්, සියලු ජනතාවට සමඟිව සිටීමට ලබා දුන් ජයක් බවත් එදා රණවිරුවෝ පෙන්නුම් කළහ. උතුරේත් දකුණේත් අද සියලු දෙනා දේශපාලනය කරන්නේ රණවිරුවන් එදා අත් කර දුන් නිදහස නිසා බව ඇතැමුන්ට අමතකව තිබෙන්නට පුළුවන් වුවත්, සිංහල-දෙමළ-මුස්ලිම් අප සියලු දෙනාම එක්ව මේ විරුවන් සැමරීම සිතින් හෝ කළ යුතුමය.

(ඡායාරූප- අන්තර්ජාලයෙනි.)
තාරක වික්‍රමසේකර

Comments