
ලංකාවේ ඉඩම් විශාල ප්‍රමාණයක් ධනවත් බලවත් පිරිසක් අතරේ පමණක් බෙදී ගිය කාල වකවනුවක ඒ ඉඩම් රජයට පවරා ගැනීමේ යෝජනාවක් ක්‍රියාත්මක විය. මේ යෝජනාවත් සමඟ අක්කර පනහට වැඩි සියලුම ඉඩම් රජයට පවරා ගැනීමට එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ක්‍රියා කළාය. මේ අනුව ඉඩම් අක්කර ලක්ෂ දොළහක් රජය අතට පත් විය. එවකට ඉඩම් ඇමැතිව සිටි හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගෙන් මේ සඳහා උපරිම සහය ලැබුණ අතර ඔවුන් සතු ඉඩම් ද මේ නීතිය යටතේ රජයට පැවැරුණි. එම සිදුවීම එදා දේශපාලකයන් රටේ වුවමනාව වෙනුවෙන්ම කැප වූ බවට පැහැදිලි සාක්ෂියකි. තමන් සතු ධනය දේපොළ අහිංසක ජනතාව වෙත සිය කැමැත්තෙන් ලබා දුන් දේශපාලනඥයන් සිටි එදා එකී ඉඩම් යොදා ගත් වගාසංග්‍රාමය ද සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් විණි. එවැනි කැපවීමක් ඇති නායකයන් සිටි අනෙක් යුගයක් පසු කල අපට අසන්නට දකින්නට ලැබෙන්නේ නැත. අද ඇත්තේ ඊට සපුරා වෙනස් වාතාරණයකි. එදා එවැනි ඍජු තීරණ ගත් නායකයන් නිසා රටේ සමෘද්ධියට සැලසුණේ සුළුපටු යහපතක් නොව්. එවන් නායකයන්ට සරිලන නිලධාරී පන්තියක් ද එවක සිටීම භාග්‍යයට කරුණකි. එහෙත් අද ඊට සපුරා වෙනස් යුගයකි. නිලධාරී පන්තිය විසින් සූරා කනු ලබන රාජ්‍ය දේපොළකි මේ වන ඉතිරිව ඇත්තේ. බොහෝ විට පවතින රජයට හෝ දේශපාලනයට ඇඟිලි දික් වුවත් ක්‍රියාත්මකව පවතින්නේ වෙනම සෙල්ලමකි. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාව වෙනුවෙන් ආරම්භ කළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ තත්ත්වය අද වන විට නරක අතට වෙනස් වූයේ නිලධාරී වාදයේ අක්‍රමිකතා නිසාවෙනි. මේ වෙනසට හේතුව කුමක්දැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව සභාපති සම්පත් සුබසිංහ ආරච්චි මහතා සමඟ සිළුමිණ සාකච්ඡා කළෙමු.
මේ වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලාභ ලබා ඇති බවට වාර්තා වෙනවා. මීට පෙර මේ ආයතනය ලාභ ලැබුවේ නැද්ද? එසේ නොලැබීමට හේතුවක් තියෙනවාද?
මිට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලාභ ලබා නැහැ. දිගින් දිගට සිදු වෙලා තියෙන අක්‍රමිකතා හෙළිදරව් වෙන විට ලාභය ගැන හිතන්නත් බැහැ. මේ ආයතනය නිලධාරීවාදය නිසා ම විනාශ වුණ ආයතනයක්. බොහෝ නිලධාරීන් තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා රජයේ ඉඩම් අයථා ලෙස යොදා ගෙන තිබෙනවා. මේ සඳහා ඇතැම් දේශපාලන පිරිස් ද සහභාගි වෙලා තියෙනවා කියලා අපට අනාවරණය වෙලා තියෙනවා. ඒත් පැවැති ආණ්ඩුවලට ඇඟිලි දිගු කරන්න අපට බැහැ. වර්තමානයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු සිදුවන ආකාරය වෙනස්. අපි දැන් ක්‍රමවත් ආකාරයකට අපේ ආයතනයේ වැඩ කටයුතු කරන නිසා මේ කාලපරිච්ඡේදයේ සීයයට හැට අටක ලාභයක් ලබා ගන්න හැකි වුණා. ඒ විතරක් නෙවෙයි අපේ දිස්ත්‍රික් කාර්යාල සීයයට හැටක ලාභයක් ලැබුවා.
වර්තමානයේ සෑම ආයතනයකම අල්ලස සහ දූෂණය පිළිබඳව කතා කරනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඔබට කිව හැක්කේ කුමක්ද?
මේ ආයතනයේ අල්ලස සහ දූෂණය ඉතාමත් බරපතළ විදිහට තමයි තිබුණේ. සමහර ෆයිල් මුළුමනින්ම අතුරුදන් වෙලා. ඒවාට සිදු වුණ දෙයක් නැහැ. තවත් ෆයිල්වල සිදුවීම් හරි හැටි ලියවිලා නැහැ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අවට තිබූ මාෆියාව විසින් මේ හැම දෙයක්ම බිලි අරගෙන. මේ සඳහා ඉදිරිපත් වූ වෙනම තැරැව්කාර පිරිසකුත් මේ ආයතනය වටා එක්රොක් වෙලා හිටියා. ඒ අය මේ ස්ථානයට පැමිණෙන සේවාදායකයන් හැමවිටම නොමග යැවුවා. ඒ අයට නිසි මාර්ගය පෙන්වන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. හැම දෙයක්ම නිලධාරි වාදයට යටවෙලා තිබුණේ. මේ වෙනුවෙන් කතා කරන්නවත් කියන්නවත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ.
ඒ කියන්නේ අයථා ගනුදෙනු, අල්ලස් හෝ දූෂණ චක්‍රය බිඳ දමන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැද්ද?
කවුරුත්ම ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම පවතින ක්‍රමයත් සමග ගමන් කළා විතරයි. බොහෝ පිරිසක් කරගන්න දෙයක් නැති නිසා මේ ක්‍රමයට අනුගත වුණා. තවත් පිරිසක් නොදැනුවත්කම නිසා මේ ක්‍රමයට අනුගත වුණා. මේ කවුරුත් තමන්ටත් පොදුවේ රටටත් සිදුවන අසාධාරණය පිළිබඳ හඬක් නැගුවේ නැහැ. මේ නිසාම පැවැති රටාව අඛණ්ඩව සිදු වුණා.
මහාපරිමාණ අක්‍රමිකතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදු වුණා කියලා ඔප්පු කරන්න සාක්ෂි සහ සාධක තියෙනවාද?
ඇයි නැත්තේ? සමහර අවුරුදුවල ලිපි ගොනුවලට සිදු වුණු දෙයක් නැහැ. තිබුණ තැනක් ගැන සොයාගන්න බැහැ. ඒවා කවුරු ගත්ත ද කියලා මෙතෙක් අනාවරණය කරගන්න නොහැකි වෙලා තියෙනවා. අපි හැම දේකටම වරද පටවන්නේ දේශපාලනයට. ඒත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්‍රමිකතාවලට දේශපාලනයම විතරක් වග කිවයුතු දෙයක් ලෙස මං දකින්නේ නැහැ. එයට හේතුව දේශපාලනයට වඩා මෙහි සිටිය නිලධාරීන් බලවත් වීමයි. නිලධාරී පන්තියක්ම යැපිලා තිබුණේ මේ අයථා ගනු දෙනුවලින්. සිදු වූ ගනුදෙනු මොනවාද කියලා හෙළිදරව් කරගන්නවත් ඔවුන් හෝඩුවාවක් තියලා නැහැ. ඒත් වඩා සුපරික්ෂාකාරි වුණොත් ඒ සියල්ල සොයා ගන්න පුළුවන්. මේ සියලු දූෂණ සහ වංචා හෙළිදරව් කරලා ආදායම් උපයා ගැනීම ජාතික යුතුකමක් ලෙසයි මං දකින්නේ. කුමන තරාතිරමක පුද්ගලයෙක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පැමිණියත්, ඒ ඕනෑම කෙනකුගේ අවශ්‍යතාවක් ඉටු කරගන්න ගාස්තුවක් ගෙවන්න සිදුවෙලා තියෙනවා. එසේ නැතිව කිසිවක් කරගන්න හැකි වෙලා නැහැ.
සමහර පිරිස් නීති විරෝධී ලෙස රජයේ ඉඩම් අල්ලාගෙන ඉන්නවා නේද?
බොහෝ පිරිස් රජයේ ඉඩම්වල ජීවත් වෙනවා. තවත් අය රජයේ ඉඩම් අරගෙන නීති විරෝධීව තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. මේ හැම කෙනෙක්ම මේ වන විට දැනුම්වත් කරලා තියෙන්නේ. නීති විරෝධීව රජයේ ඉඩම්වල ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ගෙන් බද්දක් අය කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. මෙතෙක් කලක් තමන්ගේ හිතුමතේ රජයේ ඉඩම්වලින් ආදායම් උත්පාදනය කළ හැම කෙනකුටම මේ සඳහා උත්තර දෙන්න සිදු වේවි. හැම දෙයක් පිළිබඳවම අපි සොයා බලමින් නීරීක්ෂණය කරන්න මේ වන විටත් කටයුතු යොදලා තියෙන්නේ.
මේ වන විට රජයේ ඉඩම්වල පදිංචිවෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
1995 ට පෙර රජයේ ඉඩම්වල පදිංචිවෙලා සිටින මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය බලලා පහසු ක්‍රමයට ඒ ඉඩම් ඒ අයට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර පූජකවරු රජයේ ඉඩම්වල පූජා භූමි පවත්වාගෙන යනවා. ඒ අයටත් අපි එලෙසම සාධාරණයක් කරනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ කාටවත් හානියක් සිදු නොවන ආකාරයට. නොදැනුවත්කමින් සිදු වුණත් දැනුවත්කමින් සිදු වුණත් වැරැද්දක් නම් එය නිවැරැදි කරන්න අවශ්‍යයි.
කාලයක් තිස්සේ රජයේ ඉඩම්වල පදිංචි වුණ අයට මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුණත්, මේ ළඟ දී රජයේ ඉඩම්වල පදිංචිවෙලා සිටින අයට මොකද වෙන්නේ?
ඒ අයට අපි ඉවත්වෙන්න කියනවා. ඕනෑම කෙනකු සාධාරණ හේතු පෙන්වලා වගා කරන්න බද්දට රජයේ ඉඩම් ගන්න පුළුවන්. ඒත් නිවැරැදිව බදු ගෙවන්න ඕනේ. රජයේ බදු ආදායම කිසිසේත් පැහැර හරින්න බැහැ.
රජයේ ඉඩම්වල අනවසරයෙන් මෙන්ම අවසරයෙන් පදිංචිවෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා. මේ දෙපිරිස පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග දෙකක් ඇති නේද?
ඔව්. මේ දෙපිරිසට පිළිබඳව අපි ක්‍රියා කරන්නේ දෙවිදිහකට. ඒ කියන්නේ අවසරයෙන් පදිංචි වෙලා ඉන්න අයට සින්නකර ඔප්පු දෙන්න අපි පර්චස් එකකින් රුපියල් සියය ගණනේ තමයි අය කරන්නේ. ඒ වගේම අනවසරෙන් පදිංචිවෙලා ඉන්න අයගෙන් අය කරන මුදල වන්නේ පර්චස් එකකින් රුපියල් දෙසීයයක්.
මේ දිනවල ජීවත්වෙන්න නිවසක් ඉඩමක් නැති අයට රජයේ ඉඩම් නොමැති ජනතාට ඉඩම් ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නේද?
ඔව්. මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ජනාධිපති තුමා සහ අගමැති තුමා දුන් ඡන්ද පොරොන්දුවලට අනුවයි. ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දෙනවා කියලා ඒ කාලයේ එතුමන්ලා ඡන්ද පොරොන්දු දුන්නා. ඒවා ක්‍රියාත්මක කරන්න අඩිතාලම දැම්මේ අපේ නව ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතායි. එතුමා මේ කාර්යය සඳහා වඩාත් උනන්දුයි. මේ වැඩ පිළිවෙළ අපි නම් කරලා තියෙන්නේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ කඩිනම් ජාතික වැඩපිළිවෙළ ලෙසයි.
සමහර ඉඩම් අතහැරලා දාලා තියෙනවා. මේ ඉඩම් මුඩු බිම් ලෙස දිගටම තියාගන්නවාද?
නැහැ. අපි බලාපොරොත්තු වෙනවා. නිකරුණේ තියෙන රජයේ ඉඩම්වල වගා කරන්න බලාපොරොත්තු වන පිරිස් සිටිනවා නම් අපි ඒ අයට ආරාධනා කරන්න කැමැති වගා කරන්න කියලා. මේ සඳහා ඉඩම් ලබා ගැනීමට නම් අප වෙත ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඉල්ලුම් පත් ලබා ගන්නේ කොහෙන්ද?
අපේ ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම දිස්ත්‍රික් කාර්යාලවලිනුත් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. හැබැයි මේ සඳහා බද්දක් රජයට ගෙවිය යුතුයි. සංචාරක ව්‍යාපාරයට, වගා කටයුතුවලට මෙන්ම ඕනෑම ආර්ථිකමය කටයුත්තක් සඳහා රජයේ ඉඩම් යොදා ගන්න හැකියාව තියෙනවා. මේ සඳහා තරුණ පිරිස යොමු වෙනවා නම් වඩාත් හොඳයි. අපේ රටට අවශ්‍ය වන්නේ ආදායම් උපයන මාර්ග. අනාගතයේ දී සංචාරක ව්‍යපාරය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඇති බැවින් මේ සඳහා වැඩි බර තැබීමක් තබනවා නම් එය බුද්ධිමත් ක්‍රියා මාර්ගයක් කියලා මට හිතෙනවා.
රජයේ ඉඩම් වඩාත් ඵලදායීව යොදා ගැනීමේ ක්‍රියාමාර්ගයක් මේ වන විට ක්‍රියාත්මක ද?
ප්‍රථමයෙන් රජයේ ඉඩම් ප්‍රමාණයන් පිළිබඳව නිවැරැදි වාර්තාවක් අපි නිර්ණය කරනවා. ඉන් පසුව තමයි අපි ඒ තත්ත්වය පිළිබඳව සැලැසුමක් හදන්නේ. එතෙක් ඒ පිළිබඳව යෝජනා ඇති මහජනතාවට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඕනෑම ඵලදායී කටයුත්තක් සඳහා මේ ඉඩම් යොදා ගන්න පුළුවන්.
මෙතෙක් කලක් රජයේ ඉඩම් අවභාවිතයට ලක් වුණා කියලා ඔබ කිව්වා. එතකොට රජයේ නින්දගම්වල තත්ත්වය කුමන ආකාර ද?
රජයේ ඛනිජ සම්පත් පවා අනවසරයෙන් භුක්ති විඳලා තියෙනවා. මේ නිසා රජයට අය විය යුතු විශාල ආදායමක් අහිමි වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් මේ වන විට සොයා බලමින් යනවා. මේ අනුව 2017 අවසාන මාස හය තුළ දී කළුගල්වලින් පමණක් රුපියල් මිලියන 30ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ මුල් මාස දෙක තුළදී කළු ගල්වලින් රුපියල් මිලියන 12ක ආදායමක් උපයාගෙන තිබෙනවා. මේ ආකාරයට අනිත් ඛනිජ සම්පත් පිළිබඳවත් සොයමින් පවතිනවා. කෙසේ හෝ ඛනිජ සම්පත්වලින් අය විය යුතු ආදායම් අය කර ගැනීමට අපි උපරිම කැප වෙනවා.
මෙතෙක් කලක් ඛනිජ සම්පත්වලින් අය විය යුතු ආදායම ලැබිලා නැද්ද?
නිසි ක්‍රමවේදයකට අනුව අය වෙලා නැහැ. ඒ සම්බන්ධ ලිපි ගොනු අස්ථානගත වීමක් සිදුවෙලා තියෙනවා. මේ නිසා රජයට වෙලා තිබෙන පාඩුව කොතෙක් ද කියා ගණන් බලා නැහැ. ඉදිරියේ දී අය විය යුතු ආදායම් ප්‍රමාණය පිළිබඳව අපි ක්‍රමවත් වැඩ පිළිවෙළක් හදනවා.
2017 දී ඉඩම් බලපත්‍ර කොපමණ ප්‍රමාණයක් ලබා දී තිබෙනවාද?
මුල් හය මාසයෙදී ඉඩම් ඔප්පු සහ බලපත්‍ර 6500ක් ලබා දී තිබෙනවා. එහෙත් 2012 සිට 2016 තෙක්ම ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව 1600ක්. අපි මේ හය මාසය තුළ ඔප්පු සහ බලපත්‍ර ලබාදීමේ ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.
ජනමාධ්‍යවේදීන්ට ඉඩම් ලබා දෙනවා කියන කතාවේ සත්‍යයක් තිබේද?
ඔව්. මේ වනවිටත් අපි ඒ සම්බන්ධව විශේෂ සැලැසුමක් යොදා තිබෙනවා. මේ වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය අසල යහල කැලේ ඉඩම් අක්කර 47ක් වෙන් කරලා තියෙනවා. මාධ්‍යවේදීන් හට පමණක් නෙවෙයි කලාකරුවන්ට ඉඩම් ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මෙය ගයන්ත ඇමැතිතුමා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස සිටියේදී ගත් තීරණයක ප්‍රතිඵලයක්. එතුමා ඉඩම් ඇමැති වුණ ගමන්ම එය ක්‍රියාවට නැංවූවා. මාධ්‍ය ෙව්දීන් සහ කලාකරුවන් කියන්නේ අපේ රටට වැදගත් පිරිසක්. මේ අයට අවශ්‍ය පහසුකම් සැපයීමත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස තමයි අපි දකින්නේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනාගත අභිප්‍රාය කුමක්ද?
රජයේ ඉඩම් ක්‍රමවත් ආකාරයට පවත්වා ගෙන යමින් අය විය යුතු ආදායම් අය කර ගැනීම තමයි අපේ පරමාර්ථය. මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වුණ නිලධාරී වාදයත් දේශපාලනයවත් ඉදිරියේ දී ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මෙතෙක් කලක් එලෙස ක්‍රියා කළ හැම දෙනෙකුටම දඬුවම් පනවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
ඡායාරූපය - රංජිත් අසංක
රූපාන්ති බුලත්සිංහල