ට්‍රම්ප් ඉරානයට හා උතුරු කොරියාවට හැඳි දෙකකින් බෙදයි | සිළුමිණ

ට්‍රම්ප් ඉරානයට හා උතුරු කොරියාවට හැඳි දෙකකින් බෙදයි

 16 වැනි සියවසේ ප්‍රංසයේ ජීවත්වූ සුප්‍රකට අනාගත වක්තෘෘ නොත්‍රදාමුස් මහා ලන්ඩන් ගින්න, දෙවැනි ලෝක යුද්ධය, 2001 සැප්තැම්බර් 11 නිව්යෝක් ප්‍රහාරය ආදී පසුකාලීන ගෝලීය තීරණාත්මක සංසිද්ධීන් ගැන අනාවැකි පවසා ඇති බව ලොවම පිළිගන්නා කරුණකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අමෙරිකාවේ බලයට පත්වීම ගැනද ඔහු අනාවැකි පලකර ඇති බව පිළිගැනේ. අනාවැකිවල ට්‍රම්ප් හදුන්වා දී ඇතැයි සඳහන් වන්නේ මහා නිර්ලජ්ජිත, අනුන්ට ගරු නොකරන, ඝෝෂකයෙකු පාලක සේනාධිනායකයා වනු ඇති බවත්, ඔහුගේ ක්‍රියාකාරකම් නිසා සබඳතා බිඳවැටෙන අතර, භීතිය මෙන්ම ලේ වැගිරීම්ද බහුල වනු ඇති බවයි.

නොත්‍රදාමුස්ගේ අනාවැකි කුමක් වුවද, ට්‍රම්ප් ගෙනයන අත්තනෝමතික අන්තර්ජාතික සබඳතා රටාව බෙහෙවින් ප්‍රශ්නකාරි වෙයි. බලයට පත්වී ගතවූ වසර එකහමාරට ආසන්න කාලය තුල ඔහු සිදුකර ඇති මතබේදකාරී ක්‍රියාවන් නිසා බටහිර බලවතුන්ගේ ඒකාග්‍රතාව බිඳී ගොස් ඇති අතර ලෝකයේ නව අර්බුද නිර්මාණය කරයි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම, ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් නිසා අභියෝගයට ලක්වූ අන්තර්ජාතික සම්මුතියකි. ඒක පාක්ෂිකව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ට්‍රම්ප් ඉකුත් බදාදා නිවේදනය කළේය. එපමණක් නොවේ. ඉරානයට එරෙහි අමෙරිකානු සම්බාධක යළි හදුන්වාදීමටද සූදානම් වෙයි. මෙය දෙබරයට ගල් ගැසුවාක් වැනි තත්ත්වයකි. අමෙරිකාවේ තීන්දුව යුරෝපා රටවල කැළඹිල්ලට හේතු වී තිබේ. ඉරාන ජනතාව ගැටලුවලින් තොරව ගතකළ කෙටි කාලසීමාව ( 2015 සිට මේ දක්වා) අවසන් වී තිබේ. සම්බාධක තර්ජනයෙන් ඔවුන්ගේ ජීවිතවලට විඳීමට සිදුවන ගැහැට අපමණය.

ගිවිසුමේ අනෙකුත් පාර්ශ්වකරුවන් වන්නේ බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ජර්මනිය හා රුසියාවයි. වෙනත් කිසිදු පාර්ශ්වකරුවෙකු ගිවිසුමෙන් ඉවත් වන බව මෙතෙක් පවසා නැත. ප්‍රංස ජනාධිපති මීට දින කිහිපයකට පෙර අමෙරිකාවට ගොස් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා කර, ඔහු ඉරාන ගිවිසුමෙන් ඉවත්වීමේ තීන්දුව වෙනස් කිරීමට උත්සාහ කළේය. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද එම ඉල්ලීමම කළාය. පෙනුමෙන් හා ප්‍රතිපත්තිවලින් ට්‍රම්ප්ට බොහෝ සෙයින් සමානකම් දක්වන බිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන්ද එම ඉල්ලීමම ට්‍රම්ප්ගෙන් කළේ ඔහුටම ආවේනික රළු කතා ශෛලිය උපයෝගී කරගනිමිනි. ජොන්සන් ට්‍රම්ප්ට කිසා සිටියේ “දිය නෑවු බේසමේ ජලය සමගම බිළිඳාද ඉවතට විසිකර දැමීමෙන් වළකින ලෙසයි“. කවුරු කුමක් කෙසේ කීවද ඩොනල්ඩ් ට්‍රම්ප් සුපුරුදු පරිදි සිය ස්ථාවරය වෙනස් නොකලේය. ඔහුගේ ස්ථාවරය වූයේ ඉරානය ගිවිසුමේ සෙසු පාර්ශ්වකරුවන් රවටා නෂ්ඨික අවි අත්පත් කර ගැනීමේ අභිලාසයෙන් ක්‍රියාකරන බවයි. මේ බව තහවුරු කිරීමට සාධක ඉදිරිපත් කර නැත. සැබැවින්ම නිරන්තරයෙන් එම ප්‍රකාශය සිදුකළේ ඉරානයේ සාම්ප්‍රදායික පසමිතුරා වන ඊශ්‍රායලයයි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගියදා මාධ්‍ය හමුවේ තොරතුරු ගෙනහැර දැක්වීමක් සිදුකළේය. එයින් ඔහු උත්සාහ කළේ ඉරානය රහසිගතව න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බව කරුණු සහිතව සනාථ කිරීමටයි. එහෙත් දේශපාලනික හා ආරක්ෂක විශේෂඥයන්ගේ අදහස වුයේ අගමැති නෙතන්යාහු ඉදිරිපත් කළ කරුණු අලුත් සාක්ෂි නොව ලෝකය දැනටත් දන්නා කරුණු මෙන්ම විද්‍යාත්මක සනාථ කිරීමකට වඩා හුදෙක් දේශපාලනික මුහුණුවරක් ගත් චෝදනා පමණක් බවයි. ඉරානය සතුව න්‍යෂ්ටික අභිලාසයන් පැවති බව මිස අලුතෙන් ඉරානය ඒ අභිලාසයන් ඔස්සේ ක්‍රියාකරන බව එමගින් තහවුරු නොවූ බව මාධ්‍ය සඳහන් කළේය. ප්‍රංසය, බ්‍රිතාන්‍යය හා ජර්මනිය පවසන්නේ තමන් එකහෙළා ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සමග සිටින බවත් එය ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගන්නා බවත්ය. ඉරානයේ ස්ථාවරය වන්නේ තමන් කිසි විටකත් මේ ගිවිසුම උල්ලංඝනය කීරීමට උත්සුක නොවන බවකි. එබැවින් පාර්ශ්වකරුවන්ට හිතූ හිතූ ආකාරයෙන් සම්මුතිය වෙනස් කීරීමට නොහැකි අතර තමන් කිසිසේත් එවැනි පාර්ශ්වයන්හි අවශ්‍යතා ඉටුකිර්මට නොනැමෙන බව ඉරාන ජනාධිපති හසන් රෞහානි පවසයි. ඉරානය මේ දක්වා ගිවිසුම ප්‍රකාරව ක්‍රියාකර ඇති බව ප්‍රංසය, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා රුසියාවේ ඒකමතික ස්ථාවරයයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි අත්තනෝමතික ක්‍රියාවකට පෙළඹී ඇත්තේ ඇයි? මූලික වශයෙන්ම දේශීය කාරණා ඊට බලපායි. පළමුවෙන් ඔහුට අවශ්‍යව ඇත්තේ අමෙරිකාව ඉරාන ගිවිසුමට ඇතුළත් වූයේ ඔබාමාගේ පාලන සමයේදී නිසා එය තවදුරටත් පවත්වාගත යුතු නොවන බව රටට ඒත්තු ගැන්වීමයි. අන්තර්ජාතික වශයෙන් අමෙරිකාවේ පසමිතුරන් සමග මෙවැනි ගිවිසුම්වලට එළඹීම ඔබාමාගේ දුර්වලතාවක් වන අතර තමන් එවැන්නෙකු නොව අන්තර්ජාතික ගිවිසුමක් වෙනස්කිරීමට පවා ශක්තිවන්තයෙකු බව ඒත්තු ගැන්වීමට ඔහුට වුවමනා වී තිබේ. ඔබාමා ඇතිකරගත් ශාන්තිකර කළාපීය වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීම, කියුබානු සබඳතා වැඩපිළිවෙළ අත්හැරීම වැනි ක්‍රියාකාරකම් ඊට කදිම උදාහරණයකි.

අනෙක් අතට ඉරානයට තමා කිසිඳු බුරුලක් නොදෙන බව පෙන්වීමටද ට්‍රම්ප් උත්සුක වෙයි. ඒ අතරම අමෙරිකානු යුදෙව් බලාධිකාරය සන්තර්පණය කිරීම සඳහා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙනයන ඉරාන විරෝධි වැඩපිළිවෙල හා අත්වැල් බැඳගැනීම ට්‍රම්ප්ගේ තවත් අරමුණකි.

එතුලින් ඔහු තමාට මැතිවරණයේදී උදව් කළ යුදෙව් ජාතිකයන්ට කෘතුගුණ සැළකීම සඳහා තිරසාර අන්තර්ජාතික ගිවිසුමක් බිල්ලට දීම ට්‍රම්ප් කිසිදු බාධාවකින් තොරව සිදුකර තිබේ.

අනෙක් අතට එමගින් මැදපෙරදිග කලාපය තවදුරටත් නොසන්සුන් වෙයි. ඉරානය මේ ක්‍රියාවෙන් කිපී, දැඩිමතධාරීත්වය වෙත යොමුවන්නේ නම් එය ආශිර්වාදයක් කරගෙන ඉරාන විරෝධී පිළිවෙතක් මැදපෙරදිග ව්‍යාප්ත කිරීම ඔහුගේ අපේක්ෂාවකි. අමෙරිකාවට සදා ලැදි, එමෙන්ම ෂියා - සුන්නි මුස්ලිම් බේදය මත සදාකාලිව ඉරානයේ සතුරන්ව සිටින සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් වැනි රටවල් යොදාගනිමින් ඉරානය කොටුකිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තවත් අපේක්ෂාවකි.

ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කරගන්නා බවට කිසිදු සාක්ෂියක් මේ දක්වා නැත. එහෙත් අති නවීන න්‍යෂ්ටික අවි හා මිසයිල පද්ධතියක් සතු උතුරු කොරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් දක්වන්නේ මැදහත් රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතකි. මේ මස අවසානයේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග සාකච්ඡා කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වෙයි. ඔහු ට්‍රම්ප්ට අභියෝග කරමින් අමෙරිකාවට පහර දෙන බවට තර්ජනය කළ අයෙකි. ඉරානය එසේ සෘජු විවෘත ලෙස අමෙරිකාවට යුද අභියෝගයක් එල්ල කර නැත. න්‍යෂ්ටික බලවතකු වන උතුරු කොරියාව සමග සාමයට එළැඹී න්‍යෂ්ටික බලවතකු නොවන ඉරානයට තර්ජනය කිරීමේ ට්‍රම්ප් පිළිවෙත ලෝක ප්‍රජාව හමුවේ ප්‍රතික්ෂේප වෙමින් පවතී. එහෙත් ට්‍රම්ප් යනු ලෝක ජනමතය ගැන සැළකිල්ලක් නොදක්වන විශේෂිත චරිතයක් බව සිිහි තබාගත යුතුය.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

Comments