ඇයි මේ අනතුරු...? | Page 4 | සිළුමිණ

ඇයි මේ අනතුරු...?

ලොරි රථයක් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් ගැටී 07 හැවිරිදි දැරියක් මිය යයි. (බේරුවල), යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් ජීවිතක්ෂයට (මාතලේ), වෑන් රථයක් අනතුරට ලක්වී කාන්තාවක් ජීවිතක්ෂයට (දිවුලපිටිය), ත්‍රිරෝද රථයක් ගැටී කාන්තාවක් මරුට (හුංගම), යතුරු පැදියක් දුම්රියේ ගැටී පොලිස් සැරයන් වරයකු මරුට (කටුනායක), ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී අයෙක්ට දිවි අහිමි වෙයි (බුත්තල), ලොරි රථයක් ගැටී දෙහැවිරිදි දැරියක් මරුට (බදුල්ල). මේ සඳහන් කර ඇත්තේ ඉකුත් (14) දින ජාතික පුවත්පතක් වාර්තාකර තිබූ මාරක රිය අනතුරු පිළිබඳ ප්‍රවෘත්ති කීපයකි.

එම වාර්තාවලට අනුව එක දිනක් තුළ දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ මාරක රිය අනතුරුවලින් මරණයට පත්ව ඇති සංඛ්‍යාව අට දෙනෙකි. මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව මීට ඇතුළත් නැත. රට පුරා සිදුවෙමින් පවතින මාරක රිය අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ඉහත පුවත් වාර්තාවලින් මනාව පැහැදිලි වෙයි. රටක මිල කළ නොහැකි ජීවිත මෙලෙස මහ මඟ බල්ලන් බළලුන්ටත් අන්ත ලෙස මිය යාම කෙතරම් අභාග්‍යසම්පන්න ඛේදවාචකයක්ද?

දිනෙන් දින මාර්ගවල රථවාහන වැඩිවීම හෝ මාර්ග නවීකරණයවීම මීට ප්‍රධාන හේතුවද? එසේත් නැත්නම් නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම ද? පොලිස් වාර්තාවලට අනුව නම් රිය අනතුරුවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරීක්ෂාකාරීව රිය පැදවීමයි. විශේෂයෙන් ම ත්‍රීරෝද රථවලින් හා යතුරු පැදිවලින් සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ වාහන දෙවර්ගයම අනාරක්ෂිතය. යම් අනතුරක් සිදුවුවහොත් ඒවායේ ගමන් ගන්නා පුද්ගලයන් මරණයට පත්වීම හෝ මාරාන්තික තුවාල සිදුවී සදාකාලික ආබාධිතයන් වීම අනිවාර්යයෙන් ම සිදුවේ. එම තත්ත්වය රටට මෙන් ම අනතුරට පත්වූ පවුල්වල ඥාතීන්ට ද අහිතකර ය.

ජීවිත හානිවලට වන්දි ගෙවීම, ආබාධිතවූවන්ට ප්‍රතිකාර කිරීම ඔවුන් පුනරුත්ථාපනය කිරීම ආදී කටයුතු සඳහා රජයට විශාල මුදලක් වැයවේ. එබැවින් අනතුරු අවම කරගෙන රිය ධාවනය සඳහා සුදුසු ජාතික වැඩපිළිවෙළක් රටට‍ අවශ්‍යව ඇත. රියැදුරු බලපත්‍රයක් හිමි සෑම පුද්ගලයකුටම මනා පුහුණුවක් මෙන් ම මාර්ග නීති රීති පිළිපැදීම පිළිබඳව ප්‍රවීණත්වයක් ලබාදිය යුතුය. ඒ වගේ ම රථවාහන පොලිසියේ ද ක්‍රියාකාරිත්වය මීට වඩා පුළුල්ව දීපව්‍යාප්තව සිදුවීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු ය.

බීමත් රියදුරන් ද මාර්ග අනතුරුවලට ප්‍රධානය. ඔවුන්ගේ රියදුරු බලපත්‍ර වසර පහකටවත් අවලංගු කළ යුතු ය. ඒ වගේ ම අපරීක්ෂාකාරී ලෙස රිය පදවා දඬුවම් ලබන පුද්ගලයන්ට ද යළි රියදුරු බලපත්‍ර ලබාදීමේදී දැඩි කොන්දේසි මත යළි පූර්ණ පරීක්ෂාවකින් පසුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ යුතු ය.

රටට බරපතළ ගැටලුවක් වූ රිය අනතුරු වැළැක්වීම සඳහා පුළුල් ජාතික වැඩපිළි‍ෙවළක් ක්‍රියාත්මක නොකළහොත් ඉන් රටටත් ජනතාවටත් අත්වන ඉරණම ඉතා ඛේදනීය වනු ඇත.

රත්නසිරි පතිරණ

 

Comments