ලංකාව ලොකු වෙලා | Page 2 | සිළුමිණ

ලංකාව ලොකු වෙලා

* මිනින්දෝරු දෙපාර්තමේන්තුව හැදූ අලුත් සිතියම ළඟදීම එළිදකී
* පෝට් සිටි නිසා වර්ග කිලෝමීටර් 2 ½ ක් ලංකාව ලොකු වුණා
* වසර 38 කට පසු යාවත්කාලීන ව‍ූ ලංකා සිතියමට ‘කොටස් 92 යි’

අපේ රටේ පසුගිය වසර 35 තුළ ලොකු භූ ලක්ෂණ හා සංවර්ධනාත්මක වෙනස්කම් රැසක් සිදුවුණා. ඒත් ඒකට හරියන්න අපේ ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ සිතියම වෙනස් වුණේ නැහැ. ‍ෙම් නිසා දැනට අප භාවිත කරන සිතියම්වල මොරගහකන්ද, දැදුරු‍ඔය, රඹකැන්ඔය, ඉහළ කොත්මලේ, වෙහෙරගල මවු ආර වැනි යෝධ ජලාශ පෙන්නුම් කරන්නේ නැහැ. ඒ විතරක් නොවේ. හම්බන්තොට වරාය, ඕලුවිල් වරාය, මත්තල ගුවන් තොටුපළ, දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය අලුත් මාර්ග පද්ධතිය දැනට භාවිත කරන භූ ලක්ෂණ සිතියම්වල නැහැ. උතුරු නැගෙනහිර නව පාලම් පාරවල් වර්ග සිතියමේ නැහැ. ඒ අනුව අපි දැන් මෙරට වත්මන් ශ්‍රී ලාංකික භූ ලක්ෂණ ජලාශ මාර්ග පාලම් අලුත් වරාය, අලුත් අධිවේගී මාර්ග පමණක් නොව පෝර්ට් සිටිය ද ඇතුළත් අලුත් සිතියමක් දැන් සකස් කරගෙන යන බව මැනුම්පති ඊ.එම්.පී. උදයකාන්ත මහතා පවසයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මේ රටේ පැරණිම දෙපාර්තමේන්තුවයි. ඒකෙන් තමයි අපේ රටේ සියලු නීත්‍යානුකූල සිතියම් සකස් කිරීම කරන්නේ. ඒ අනුව 1930 සැතපුමට අඟලේ සිතියම් සකස් කළා. ඊට පසු අපේ භූ ලක්ෂණ අනුව මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනය වී 1: 50000 භූ ලක්ෂණ සිතියම් සකස් කළා. එහිදී අපි පාවිච්චි කළේ අපේ රටේ මිනින්දෝරුවන් ගත් ගුවන් ඡායාරූප හා ක්ෂේත්‍ර ගවේෂණ. ඉන් පසුව යුද්ධය හා ආරක්ෂක තත්ත්ව මත ශ්‍රී ලංකාවේ පූර්ණ භූ විද්‍යාත්මක සිතියම් සකස් කිරීමට හෝ පැවති භූ ලක්ෂණ සිතියම් යාවත්කාලීන කිර‍ීමට අපට බැරි වුණා. නමුත් රජයේ විවිධ දෙපාර්තමේන්තු ආයතන වාරිමාර්ග අංශ සිදු කළ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා අපෙන් නිතරම අලුත් සිතියමක් ඉල්ලා සිටියා. ඒ අනුව තමයි 2017 දී මේ ශ්‍රී ලංකාවේ අලුත් භූ ලක්ෂණ පිළිබඳව සිතියම් සකස් කිරීමට පටන් ගත්තේ. එය 1: 50000 සිතියමක් ලෙස සකස් කරනවා. අපි ශ්‍රී ලංකාව කොටස් 92 කින් යුත් අලුත් භූලක්ෂණ සිතියම් 92 ක් මේ සඳහා නිර්මාණය කරනවා. දැනටමත් මෙයින් 70 ක් සකස් කර අවසන්. එක් කොටසකින් පෙන්නුම් කරන්නේ කි.මී. 40 දිග හා කි.මී. 15 ක් පළල ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශයයි. සිතියමේ මිලි මීටර් 1 කින් මීටර් 500 ක දුරක් පෙන්නුම් කරනවා.

මෙහිදී මෙම නව සිතියම් සකස් කිරීමේදී මුලින් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීමයි. ඊට පසු 1980 දී අරන් තිබුණු ගුවන් ඡායාරූප සමඟ සංසන්දනය කර වෙනස් වීම් සිදු කළා. විශාල ගස් කොළන් හා වලාකුළු නිසා සමහර චන්ද්‍රිකා ඡායාරූප අපැහැදිලිව තිබුණා. ඒ ප්‍රදේශ අපේ මිනින්දෝරුවරුන් හා සිතියම් තාක්ෂණ ශිල්පීන් ක්ෂේත්‍ර ගවේෂණ මඟින් යළි ආවරණය කර නව සිතියම් සකස් කළා. මේ වැඩ සියල්ල කළේ අපේ ර‍ෙට් මිනින්දෝරුවරු හා සිතියම් තාක්ෂණ ශිල්පීන් හා දුරස්ථ ග්‍රහණ තාක්ෂණ ශිල්පීන්. සිතියම් තාක්ෂණ ශිල්පීන් හා දුරස්ථ ග්‍රහණ තාක්ෂණ ශිල්පීන් එකතු කර 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපි මේ වැඩේට පුහුණු කළා. ඒ අය ඉතා කාර්යක්ෂම ලෙස මේ අලුත් ශ්‍රී ලංකාවේ අලුත් භූ ලක්ෂණ සිතියම්වල වැඩ දැන් අවසන් සකස් කරමින් තිබෙනවා. ඉදිරියේදී අපි ඒ නිලධාරීන් පිරිස අලුත් භූ ලක්ෂණ සිතියම් සකස් කරන වෙනම අංශයකට ඇතුළත් කරනවා. ඉදිරියේදී සෑම වසර 5 කටම වරක් අපේ ර‍ෙට් භූ ලක්ෂණ සිතියම් යාවත්කාලීන කළ අලුත් සිතියම් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. අද අපේ රටේ සහ එතෙර අපේ තානාපති කාර්යාලවල පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ සිතියම්වල පසුගිය කාලයේ අපේ රටේ සිදුවූ සංවර්ධනාත්මක කටයුතු හා භූ ලක්ෂණ ආදිය පෙන්නුම් කරන්නේ නැහැ.‍ ඒ අනුව ලබන වසර ඇත‍ුළත ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියමක් සකස් කර ලෝකය පුරා බෙදා හැරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් එහි අධිවේගී මාර්ග පද්ධති හා නව මාර්ග පද්ධති මෙන් ම සුවිශේෂී ස්ථාන සඳහන් කිරීමටයි අපේක්ෂාව.

අලුතෙන් අප හැදූ නව භූ ලක්ෂණ සිතියමේ කොටස් 70 ක් අප සම්ප‍ූර්ණයෙන් අවසන් කර තිබෙන බැවින් අවශ්‍ය අයට ඒවා දැන් නාරා‍හේන්පිට අපේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලවලින් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ලංකාව පිළිබඳව ලංකාවේ විවිධ ප්‍රදේශ පිළිබඳව අලුත් සිතියම් ද දැන් කිසිම වාරණයක් නැතිව ඉහළ ස්ථානවලින් ලබාගන්න පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර www.survey.gov.lk යන වෙබ් අඩවියෙන් ද ලබාගන්න පුළුවන්.

එපමණක් නොවේ ආරක්ෂාවට තර්ජනයක් නැති ‍ඕනෑම ප්‍රදේශයක, ගමක, නගරයක යම් ස්ථානයක් පිළිබඳ ‍ඕනෑම සිතියමක් ඕනෑම අයකුට සකස්කර දීමටත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව සූදානම්. අලුත් භූ ලක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ හැඩය කලින් තිබුණට වඩා සුළු වශයෙන් විශාලවී තිබෙනවා. විශේෂයෙන් පෝර්ට් සිටිය නිසා මහ මුහුදෙන් වර්ග කිලෝමීටර් 2 ½ අපේ ගොඩබිමට එකතු වුණා. නමුත් හම්බන්තොට වරාය නිසා ඕලුවිල් වරාය නිසා මුහුදට අඟලක්වත් ගියේ නැහැ. මිනින්දෝරු විද්‍යාත්මකව එවැනි වරායක් ඉදිකිරීමේදී මුහුදු ජලය රට ඇතුළට ආ‍වත් එම ප්‍රදේශය අයිති වන්නේ අදාළ රටේ ගොඩ බිමටමයි. සුනාමිය නිසා නැගෙනහිර පළ‍ාතේ වෙරළ කැඩී ගියා. නමුත් ඒ ස්ථානවල වැලි පිරී තිබෙනවා. මුහුදු ඛාදනය නිසා වයඹ හා නිරිතදිග වෙරළ ප්‍රදේශයේ යම් යම් ස්ථානවලට හානි සිදුවී තිබෙනවා. නමුත් ගොඩබිම වර්ගඵලයට ලොකු අඩුවීමක් වෙලා නැහැ. සමස්ත වශයෙන් ගත් කළ අලුත් භූ ලක්ෂණ සිතියම අනුව අපේ රට විශාලවී තිබෙන බව කිව හැකියි. කොළඹ ‍‍ගාලු මුවදොර ප්‍රදේශයේ ගොඩබිම අපේ ගොඩබිම මුහුද ඇතුළට ගිහින් තිබෙනවා. ඒක තමයි වෙලා තිබෙන ලොකුම වෙනස. මේ අනුව ඉදිරියේදී අපේ රටේ අධිවේගී මාර්ග ඉදිවන විට උතුරු මැද මහ ඇළ, වයඹ මහ ඇළ, මල්වතු ‍ඔය ව්‍යාපෘතිය හා අනෙක් සංවර්ධන ව්‍යාපෘති ඉදිවන විට අවශ්‍ය භූ ලක්ෂණ සවිස්තරාත්මක සිතියම් අපට ලබාදෙන්න දැන් පුළුවන්. මේ සිතියමෙන් 1948 සිට මේ දක්වා අපේ රටේ භූ ලක්ෂණ වල සිදුවූ සියලු වෙනස්කම් සංවර්ධන ව්‍යාපෘති, නව මාර්ග හා නව ජලාශ ආදිය සියල්ල මනාව පෙන්නුම් කරනවා. රටේ සංවර්ධනයට මෙවැනි නව හා යාවත්කාලීනවූ සිතියම් ලබාදීම අත්‍යවශ්‍යයි. ඒවා ලබාදීම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරියක්. එය උපරිම ලෙස ඉටු කිරීමට අපේ අපේක්ෂාව. වසර 35 කට පසු අපි යුතුකම ඉටුකර අලුත් සිතියම නිර්මාණය කරනවා.

මේ සියලු කටයුතු සඳහා වත්මන් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අපට උදව් කරනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම විශේෂයෙන් අපේ කාර්ය මණ්ඩලය, මිනින්දෝරුවරුන්, සිතියම් විද්‍යා තාක්ෂණ ශිල්පීන්, දුරස්ථ විද්‍යා තාක්ෂණ ශිල්පීන් සමඟ ඒ අංශ ප්‍රධානීන් මේ සිතියම් සකස් කිරීම සඳහා කළ කැපවීමත් අප අගය කළ යුතුයි මිනුම්පතිවරයා අදහස් පළකළා.”

අපේ රටේ රජයේ මිනින්දෝරුවන් 800 ක් පමණ හා පෞද්ගලික මිනින්දෝරුවන් 750 ක් පමණ වැ‍ඩ කරනවා. මිනින්දෝරුවරයෙක් වීමට මිනුම් විද්‍යා උපාධිය සමත් වී ක්ෂේත්‍රයේ වසර 3 ක පළපුරුද්දක් තිබිය යුතුයි. ඒ වගේ ම ඔහු හෝ ඇය ජාතික මිනුම් සභාවේ වසරින් වසර ලියාපදිංචිවීම ද අවශ්‍යයි. එවිට අපි ඒ අයට බලපත්‍රයක් ලබාදෙනවා. මෙම බලපත්‍රය නොමැතිව මිනුම් උපාධිය නොමැතිව පෞද්ගලික ඉඩම් මනින සුදුසුකම් නොමැති මිනින්දෝරුවරුන් ද අපේ රටේ ඉන්නවා. ඒ අය පිළිබඳ නීති මඟින් කටයුතු කිරීමට මම පොලිස්පතිතුමාට දන්වා තිබෙනවා. සුදුසුකම් නොමැති මිනින්දෝරුවන් මැනුම් සිදුකර නිකුත් කරන පිඹුරුපත් හා ඔප්පු නීත්‍යානුකූල වන්නේ නැහැ. මේ පිළිබඳව මහජනතාව දැනුම්වත් විය යුතුයි. සුදුසුකම් ලත් හා ලියාපදිංචි වූ මිනින්දෝරුවරුන් පිළිබඳ විස්තර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජාතික මිනුම් සභාවෙන් ලබාගත හැකියි.

ඡායාරූප - විමල් කරුණාතිලක 

 

Comments