පරිස්සමෙන් ! බොරු රත්තරන් හොරු රට පුරා | Page 3 | සිළුමිණ

පරිස්සමෙන් ! බොරු රත්තරන් හොරු රට පුරා

රන් ආභරණ පරීක්ෂණ යන්ත්‍රවලට පවා සොයා ගත නොහැකි වන පරිදි සූක්ෂ්ම ලෙසින් රන් මිශ්‍ර කර ව්‍යාජ රන් ආභරණ සකස් කර උකස් ආයතනවලට උකස් කර මුදල් ලබා ගන්නා මහා පරිමාණ වංචාවක් දිවයින පුරා සිදු කෙරෙන හෙයින් ඒ සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාකාරී වන ලෙසත් අනිවාර්යෙන්ම අනන්‍යතාව පිළිබඳව දැඩි ලෙසින් විමසිලිමත් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ වංචාවේ මහ මොළකරු වන්නේ මොහොමඩ් රජා හෙවත් ලොක්කා නම් පුත්තලම, පාලවිය පදිංචි අයකු වන අතර මේ ව්‍යාජ රන් භාණ්ඩ තනා ඇත්තේ කල්මුණේ, පදිංචි රාසලිංගම් ශෂිකුමාර් නැමැති ‍අයෙකි. ඔහු හෙට්ටිවීදි‍යේ තාවකාලිකව පදිංදි අයකු වන අතර ව්‍යාජ අඹු සැමි යුවලක් මේ රන් අභරණ වැඩි වශයෙන් උකස් කිරීමෙහි නියැළී ඇත.

මේ සිවු දෙනා ඇතුළු පස් දෙනෙක් මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගර ගත කර ඇති අතර ඔවුන් විසින් උකස් කරන ලද ව්‍යාජ රන් භාණ්ඩ රිසිට් පත් 52ක් මේ වන විට සොයා ගෙන ඇති අතර ඔවුන් විසින් ව්‍යාජ රන් භාණ්ඩ පුත්තලම, මීගමුව, අනුරාධපුර, හලාවත, කල්පිටිය., ජාඇල, ආනමඩුව වැල්ලම්පිටිය, මරදාන, කොල්ලුපිටිය, දෙමටගොඩ, නොචිචියාගම, කෙසෙල්වත්ත, නුවරඑලිය, බොරැල්ල වැල්ලවත්ත, කොච්චිකඩේ. ප්‍රදේශවල උකස් ආයතනවලට උකස් කර ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට උකස් කර ඇති ව්‍යාජ රන් භාණ්ඩ පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වනු ලැබේ. වංචා කරන ලද මිලියන ගණනක මුදලක් පිළිබඳව තවමත් නිසි පරිදි වාර්තා වී ‍නොමැති අතර ජනතාවටත් උකස් ආයතනවලටත් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන්නැයි පොලිස් අධිකාරිවරයා පවසයි.

Comments