
මුළු ලොවම පුදුමයට පත් කරමින් මැලේසියාවේ පැවැති මැතිවරණයෙන් ලොව වාර්තාගත ජයක් ලැබූ මහතීර් මොහොමඩ් මහතා එකී ජය ලැබුවේ වයස අවුරුදු 91 දී ය. මැලේසියාවේ හිටපු අගමැති නජීබ් පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත් මහතීර් මොහොමඩ් මහතා අතීතයේදී ලෝකය විස්මයට පත් කළ පූජිත නායකයෙක් විය. ඔහු 91 වැනි වියේ සිටියදී පවා ලොව වඩාත් යහපත් තැනක් බවට පත් කිරීම සඳහා දෛවයෙන් තමාට පැවරී ඇති වගකීම මොහොතකටවත් පැහැර හැරියේ නැත.
ලෝක ඉතිහාසයේ මෙතරම් වයසක සිටියදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ප්‍රථමයා ලෙස ලෝක ඉතිහාසයට එක් වේ. මේ ජයග්‍රහණයත් සමඟ මහතීර් මොහොමඩ් මහතා හා බැඳී පැවැති දේශපාලන රහස් ගණනාවක් ලෝක ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කරමින් තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් මහතා අතර පැවැති රහසිගත හමුවීමක් පිළිබඳවද තොරතුරු අනාවරණය වේ. මේ හමුව රහසිගතව සිදු වූයේ රාජ්‍යතාන්ත්‍රික අවහිරකම් නිසා බවත් දැනගන්නට ලැබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2016 වසරේ දෙසැම්බර් 17 දින මැලේසියාවේ නිල සංචාරයක යෙදුණ අතර, එහිදී ක්වාලාලම්පූර් නුවර ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නැවතී සිටි කාමරයේදී එම රහසිගත හමුව සිදුව තිබෙන්නේ එරට අග්‍රාමාත්‍ය නජීබ්ට පවා නොදැනෙන්නට ය. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති සහ මහතීර් මොහොමඩ් අතර හමුවක් සිදු නොවන ලෙස චරපුරුෂ සේවාවන් යෙදීමට එවකට බලයේ සිටි මැලේසියානු පාලකයා ක්‍රියා කළ හෙයිනි. කෙසේ නමුත් එකී රහස් දැල මඟ හරිමින් මේ නායකයන් දෙදෙනා අතර හමුව සිදු වී තිබේ.
ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා පවා එකී හමුව නොදැන සිටි අතර, මේ වන විට අන්තර්ජාතික මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් වන පුවත් සහ ඡායාරූප ආදියෙන් එම තොරතුර පළමු වරට අනාවරණය විණි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෞද්ගලිකව මහතීර් මොහොමඩ් මහතාගේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා ඇති අතර, මැලේසියාව ගොඩනැඟීම සඳහා මහතීර් මොහොමඩ් මහතා අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර තිබේ.
ලෝක දේශපාලනයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ මහතීර් මොහොමඩ් තම අත්දැකීම් සහ දේශපාලන ඥානය උපයෝගි කොටගනිමින් මැලේසියාව ගොඩනැඟූ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ඉතා රහසිගතව දේශපාලන පාඩම් රැසක් කියා දී ඇති බවත් දැනගන්නට ලැබේ. 2017 ජනවාරි 08 ජයග්‍රහණය සැමරීමේ අවස්ථාවට මහතීර් මොහොමඩ් මහතාට ශ්‍රී ලංකාවට ඇරියුම් කිරීමටත්, ඔහු ලවා ඇමැති මණ්ඩලයට විශේෂ දේශනයක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බලවත් වුවමනාවක් තිබී ඇත. එහෙත් එය අවසන් මොහොතේ වැළැකී ගොස් ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික බාධා කිරීම් නිසාය.
මේ නායකයන් දෙදෙනා පෞද්ගලික මට්ටමේ පවා දැඩි මිත්‍රත්වයෙන් පසු වන අතර, මෙකී ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මහතීර් මොහොමඩ් මහතා වෙත උණුසුම් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ඉතා ශක්තිමත් සහ පලදායි සබඳතා හටගන්නා බව අපේක්ෂා කළ හැකිව තිබේ.
විශේෂයෙන්ම වංචාව හා දූෂණය පිටුදකිමින් ප්‍රතිපත්ති ගරුක හා විනයගරුක රටක් ගොඩනැඟීමට මහතීර් මොහොමඩ් අනුගමනය කළ උපායමාර්ග අදටත් ලෝකයේ ප්‍රසාදයට ලක් වේ. එකී ආභාසය පමණක් නොව සහයෝගය පවා දැන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලබාගත හැකිව තිබේ. වංචාව දූෂණය පිටුදකිනවාට අමතරව වංචනිකයන් සහ දූෂිතයන් විසින් පවත්වාගෙන යනු ලබන දේශපාලන ව්‍යාපෘති පරාජයට පත් කිරීමේ කලාවද මේ නායකයන් දෙදෙනා අතර හුවමාරු වනු ඇති.