පොදුරද මඬුලු සමුළුවෙන් ශ්‍රී ලංකා ප්‍රතිරූපය ඉහළට | Page 2 | සිළුමිණ

පොදුරද මඬුලු සමුළුවෙන් ශ්‍රී ලංකා ප්‍රතිරූපය ඉහළට

 වසර 2030 වන විට සමාජ සාධාරණත්වයෙන්, සමෘද්ධියෙන් සහ තිරසරබවින් යුත් සමාජයක් ලොව පුරා බිහි කිරීමට තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයක් අනුගමනය කරන පොදු වැඩපිළිවෙළක් සඳහා ජාතීන් අතර එකඟත්වයක් ඇති වී ඇති බැවින් එය සාර්ථක කරගැනීමට සියලු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් කැප විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කළේය.

සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතා වර්ධනය ඉතා වැදගත් බවයි. බ්‍රිතාන්‍යයේ වෙසෙන ලක්ෂ හතරකට ආසන්න ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් නියෝජනය කරමින් පැමිණි ව්‍යාපාරිකයන් සහ වෙනත් වෘත්තිකයන් අමතමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම අනෙක් රටවල් සමඟද අත්වැල් බැඳගෙන සමාජීය වගකීම ඉටු කිරීමට කැප වන ලෙස ඉල්ලා සිටියේය.

ඉන් පසු පැවැති පොදුරද මඬුලු විධායක සභාව ඇමතූ ජනපතිවරයා පැවසුවේ තිරසර අනාගතයක් උදා කරගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධාන අරමුණක් වන බවයි. දූපත් රාජ්‍යයක් ලෙස මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා භූමිය, වනය, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද ජනපතිවරයා අවධාරණය කළේය. දරිද්‍රතාවෙන් මිදීමටත්, රැකියා උත්පාදනයටත් සමානාත්මතා ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය ආදි ඉලක්කයන්ට ළඟා වීමටත් අපේ ජනතාවට සාගර කලාපයේ අවශ්‍ය ප්‍රතිලාභ ලබා දිය හැකි බවද පැවසීය. එක්සත් රාජධානිය විසින් යෝජිත පිරිසුදු සාගර සඳහා වූ ගිවිසුම වෙනුවෙන් කැප වන අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය නීල-ප්‍රඥප්තිය සතුටින් පිළිගන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප්‍රයත්නයකින් සුරක්ෂිත කරගැනීමට බවද ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරිණි. එසේම බ්‍රිතාන්‍යය මෙරට ඍජු ආයෝජන රැසකට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය වෙළෙඳ ඇමැති ලියම් ෆොක්ස් මහතා පවසා තිබේ. ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය අන්තර්ජාතික වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කිරීමටද ෆෝක්ස් මහතා එකඟත්වය පළ කර තිබේ. 

Comments