සමෘද්ධිමත් දේශයකට සුබ පැතුම්! | Page 2 | සිළුමිණ

සමෘද්ධිමත් දේශයකට සුබ පැතුම්!

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන සුබ අලුත් අවුරුද්දක් වේවා යි සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. ඒ නිවේදනයේ මෙසේද දැක්වෙයි:

සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය නංවන සූර්ය මංගල්‍යය නව සිතුම්-පැතුම්, අධිෂ්ඨ‍ානයන් සමඟ ජීවිතය අලුත් කරගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.

වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අලුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මේ අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු.

චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අලුත් අවුරුදු සිරිත්-විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහාද මෙය අවස්ථාවක් කරගනිමු.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි. 

Comments