වැටලීම් 5898යි දඩ මිලියන 23යි | Page 2 | සිළුමිණ

වැටලීම් 5898යි දඩ මිලියන 23යි

2018 ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් 19 දක්වා ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා හදිසි වැටලීම් 5898ක් සිදු කර ඇති අතර, එහිදී පාරිභෝගික සේවා නීති-රීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 5852 දෙනකුට නඩු පවරන ලද බව පාරිභෝගික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය. මෙසේ පවරන ලද නඩු මඟින් අධිකාරිය විසින් අය කරගත් දඩ මුදල්වල වටිනාකම රුපියල් මිලියන 23ක් හෙවත් රු. 23,613,900ක් වන බවද ඇය කීවාය.

උත්සව සමයේ කරන ලද වැටලීම්වලින් වැඩි වශයෙන්ම නඩු පවරන ලද්දේ පාරිභෝගිකයන් නොමඟ යවන සේ භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුනට බවද ඇය කීවාය. විශේෂයෙන්ම මිල අඩු කළ සේල්වලින් කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම හා ඒවායෙහි ලේබල ගලවා යළි අලවා විකිණීම, වෙළෙඳ දවටනවල තොරතුරු කපාදමා හෝ මකා අලෙවි කිරීම වැනි අවස්ථා බහුලව හඳුනාගනු ලැබිණි.

එළඹෙන වෙසක් උත්සව සමයේදීද මෙවැනි කූට ජාවාරම් බහුල විය හැකි හෙයින් ලාබ කළ භාණ්ඩ මිල දී ගැනීමේදී ඒවායෙහි ලේබල කියවා බලා නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, මිල, බර හෝ පරිමාව හා අඩංගු ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් වේද යන්න ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස ඇය පාරිභෝගිකයන් ‍වෙත දැනුම් දී සිටියාය.

කිසියම් භාණ්ඩයක ලේබලයක් කුරුටු ගා දත්ත මකාදැමීමක් මිල වෙනස් කිරීමක් හෝ ලේබල ඉවත් කර අලුත් ලේබල් ඇලවූ බවට සැකයක් ඇති අවස්ථාවක් වේ නම්, ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියෙහි 0117755455 යන අංකය අමතා පැමිණිලි කිරීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය නීති පියවර ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ඇතැයිද ඇය කීවාය. 

Comments