අලුත් අවුරුදු උදාව හා බැඳුණු අපූරු චාරිත්‍ර | සිළුමිණ

අලුත් අවුරුදු උදාව හා බැඳුණු අපූරු චාරිත්‍ර

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! කැවුම් කොකිස් සුවඳින් පිරුණු, කොහෝ නාදය සෑම දෙසින්ම ඇසෙන මේ සුන්දර කාලය සිංහල අලුත් අවුරුදු කාලය අපි සැමගේ ප්‍රියතම කාලයයි. මේ කාලයට අවුරුදු කෑම වලින් හා නිවසට පැමිණෙන නෑදෑ හිතමිතුරන්ගෙන් නම් අඩුවක් වන්නේ නෑ. අපේ සංස්කෘතියේ හා ජන ජීවිතය හා තදින්ම බැඳුණු උත්සවයක් වන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වඩාත්ම වැදගත් වන්නේ එහි තිබෙන චාරිත්‍ර නිසායි. බොහෝමයක් දියුණු බටහිර රටවල් නව වසර උදාව සමරන්නේ ජනවාරි පළමුවැනිදායි. අපේ රටේ තරම් ඉපැරැණි චාරිත්‍ර වාරිත්‍ර නොමැති වූවත් සමහර රටවල් තවමත් අලුත් අවුරුදු උදාව හා බැඳුණු චාරිත්‍ර සිදු කරනු ලබනවා.

ස්කොට්ලන්ත වැසියන් විසින් නව අවුරුදු උදාව සමරන විට ගිනිකෙළි හා උත්සව වලට අමතරව ගිනි බෝල රැගත් පෙරහරක් ගමන් කරන්නේ වසර සියගණනක සිට පැවත එන චාරිත්‍රයකට අනුවයි. අයහපත් බලවේග එළවා දැමීමට මෙසේ කරකවනු ලබන ගිනි බෝල අවසානයේ ඔවුන්ගේ හිස් වලට උඩින් කරකවා මුහුදට විසිකරනු ලබනවා. බොහෝදෙනා විශ්වාස කරන්නේ මෙම ගිනි බෝල විසින් සූර්යයා නියෝජනය කරන බවයි.

සයිබීරියානු වැසියන් නම් නව අවුරුදු උදාව සමරන්නේ ඉතාමත් කටුක චාරිත්‍රයකින්. ඒ තමයි අධික ශීතල නිසා ජලය මතුපිට මිදී තිබෙන විලක අයිස් වලට යටින් ගසක් සිටු වීම. යොල්කා හෙවත් සයිබීරියානු නව අවුරුදු ගස නමින් හඳුන්වනු ලබන මෙම ගස් නත්තල් ගසට සමාන හැඩයක් ගන්නවා. නව පිබිදීමක් සංකේතාත්මක වන මෙම ක්‍රියාවට අමතරව මිදුණු විලකට පැන ස්නානය කිරීමත් මොවුන්ගේ චාරිත්‍රයක්.

බ්‍රසීල වැසියන් නව අවුරුදු උදාව සිදුවන රාත්‍රියේ සුදු ඇඳුමෙන් සැරසී සුදු පැහැති මල් හා ඉටිපහන් ඉමන්ජා (Iemanja) දෙවියන් වෙත පුද කරනු ලබනවා. පුරාතන බ්‍රසීල දෙවඟනක් වන මැය සයුරට අධිපති දෙවඟන ලෙසින් හඳුන්වනවා. මවුවරුන්ට හා දරුවන්ට ආශීර්වාද කරන මෙම දෙවඟන නව වසරට සෞභාග්‍යය ගෙන එන බව ඔවුන් විශ්වාස කරනවා. මෙහි තිබෙන විශේෂත්වයක් වන්නේ වෙරළට ගොස් රළ පහරට විසිකරනු ලබන මල් හා ඉටිපහන් සාගරය දෙස නොගොස් නැවත පැමිණියහොත් එයින් අදහස් වන්නේ දෙවඟන විසින් එම පඬුරු ප්‍රතිකේෂ්ප කළ බවයි. නමුත් එයින් කිසිඳු අයහපතක් සිදු නොවන බවත් ඔවුන් විශ්වාස කරනවා.

අලුත් අවුරුද්ද පැමිණීමට පෙර ගෙවල් දොරවල් අස් පස් කර දමා පැරණි භාණ්ඩ ඉවත් කිරීම අපේ රටේ අනිවාර්යෙන්ම සිදු වන්නක්. නමුත් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර නම් මෙය සිදු කරන්නේ චාරිත්‍රයක් ලෙසයි. නව අවුරුද්ද උදාවන විට නිවසේ ජනේලයකින් ඉවතට පැරැණි ගෘහභාණ්ඩ දැමීම මොවුන්ගේ චාරිත්‍රයයි. උස තට්ටු ගොඩනැගිලි වලින් පහළට වැටෙන භාණ්ඩ නිසා සිදුවන හානි හේතුවෙන් මෙම චාරිත්‍රය ක්‍රම ක්‍රමයෙන් ඉවත්වී යන අතර තවමත් මෙය සිදු කරන පුද්ගලයින් අවුරුදු උදාවට පෙර සිට පැරැණි ශීතකරණ, පුටු හා මේස ගොඩගසාගෙන සිටින්නේ ඒවා නිවසෙන් එළියට දැමීමටයි. එමඟින් අදහස් වන්නේ පැරැණි කරදර හා ප්‍රශ්න ඉවත දමා නව අවුරුද්දේ අලුත් ආරම්භයක් ලබා ගැනීමයි.

ග්‍රීසියේ වැසියන්ද නව අවුරුදු රාත්‍රියේ තම නිවෙස් වල දොරෙහි ලූනු එල්ලා තබන්නේ නැවත ඉපදීමක් හෙවත් පිබිදීමක් බලාපොරොත්තුවෙනි. මෙම අසාමාන්‍ය චාරිත්‍රය සඳහා පුරාතනයේ සිට යොදාගෙන තිබෙන්නේ මුහුදු ලූනු නමින් හඳුන්වනු ලබන විෂ සහිත ලූනු විශේෂයකි. මේවා ගලවා තැබූ විටද එහි කොළ වැඩෙන අතර ලූනු නිසා අයහපත නිවෙස තුළට ඒම වළක්වා නිවැසියන්ට ආශිර්වාදය ලැබෙන බව ඔවුන් විශ්වාස කරයි. පසුදින නිවසේ සිටින දරුවන්ව දෙමව්පියන් විසින් නින්දෙන් අවදිකරන්නේ දොරේ එල්ලා තැබූ ලූනු ගෙඩියක් හිස මත පොඩි කිරීමෙන් අනතුරුවයි. මෙයින් පසු නිවෙසේ සියලු දෙනාම උදෑසන දේව මෙහෙය සඳහා පල්ලියට ගමන් කිරීමත් මෙම චාරිත්‍රයේම කොටසක්.

    

      

   

Kavindu616@gmail.com

 

Comments