පොදුරද මඩුළු තරගාවලියෙන් පිිබිදෙන ඕස්ට්‍රේලියානු ආර්ථිකය | සිළුමිණ

පොදුරද මඩුළු තරගාවලියෙන් පිිබිදෙන ඕස්ට්‍රේලියානු ආර්ථිකය

 පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ 21 වැනි තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ, බ්‍රිස්බේන් නුවරට ආසන්න සංචාරක ආකර්ශණයෙන් අනූන උප නගරයක් ලෙස සැලකෙන ගෝල්ඩ් කොස්ට්හි මෙවර සංවිධානය කර ඇත. ඕස්ට්‍රේලියානු සංවිධායකයන් පවසන්නේ මෙවර තරගාවලිය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංවිධානය කිරීමෙන් එම ප්‍රාන්තයේ ආදායම් වර්ධනය වී ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන දෙක ඉක්මවනු ඇති බවය. මේ අතර ඔවහු සංචාරක ආකර්ශණය මගින් බිලියන 1.5ක පුද්ගලයන් පිරිසක් ඇමැතීමේ සූදානමකින් පසුවෙති. එය ලොව පුරා රටවල් රාශියක විසිරී පැවැතීම ඔවුන්ගේ සංචාරක ප්‍රවර්ධනයේ අභිමතාර්ථ සාධනය කිරීමකි.

මේ අතර ඔවුන් මෙම තරගාවලිය සංවිධානය කිරීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ ආයෝජන බිලියන 1.3ක් වර්ධනය කරගැනීමට සමත්ව තිබේ. එය රටක් වශයෙන් සලකන කල දැවැන්ත ආර්ථික පිබිදීමකි. මෙවර තරගාවලිය පැවැත්වෙන කාල වකවානුව තුළ එය නැරඹීම සඳහා ගෝල්ඩ් කොස්ට් නගරයට පැමිණෙතැයි අපේක්ෂා කරන ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාව හය ලක්ෂ හැත්තැදහසක් බව තරගාවලියේ සංවිධායකයෝ පවසති. එය වෙනුවෙන් නිසැක වශයෙන්ම ක්වින්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන ක්‍රීඩකයන් හා නිලධාරීන්ගේ සංඛ්‍යාව 6600 ඉක්මවනු ලැබේයැයි ඔවුන් නිවේදනය කර තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි දැවැන්ත තරගාවලියක් ආවරණය කිරීමේදි එහි සංවිධාන ශක්තියේ මූලිකත්වය ගනු ලබන්නේ ස්වේච්ඡා සේවකයින්ය. කිසිදු ගෙවීමක් නොකොට තරගාවලිය පැවැත්වෙන කාල වකවානුව පුරා ඔවුන් තමන්ගේ සේවාව ස්වේච්ඡාවෙන් එහි සංවිධායකයන්ට ලබාදීම සිදුකෙරේ. එම තත්ත්වය ග්ලාස්ගෝහි පැවැත්වූ විසි එක්වැනි තරගාවලියේදීද සියැසින් දැක බලාගැනීමේ අවස්ථාව මෙම ලියුම්කරුවෙත ලැබුණු අතර ඉතා මිත්‍රශීලී ස්වරූපයෙන් යුතුව ඔවුහු සිය රාජකාරියේ නිරතවූහ. එයට නොදෙවෙනි ආකාරයෙන් ඕස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයින්ද කටයුතු කරනු මේ වනවිට දැකගත හැකිය.

වෙසෙසින්ම මෙවර තරගාවලිය සඳහා ස්වේච්ඡා සේවකයින් වශයෙන් වඩා වියපත් සමාජතීරුව නියෝජනය කරනු ලබන පිරිස් එක්ව සිටීම දක්නට ලැබෙයි. ඇතැම්විට ඔවුන් මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ තමන් සිදුකරන ජන සමාජ සේවයක්, අනාගත ආයෝජනයක් ලෙස සලකා විය හැකිය. කෙසේ වෙතත් මැදිවියට එළඹෙන තාරුණ්‍යයට වඩා මෙම ස්වේච්ඡා සේවයට එක්ව ඇති වියපත් කණ්ඩායම්වල ප්‍රතිචාරය ප්‍රශංසනීය. එමෙන්ම වගකීම් සහගත බව පැවසිය යුතුය. ආසන්න වශයෙන් සලකන කළ සංවිධායක ගෝල්ඩ් කොස්ට් බලධාරීන්ගේ සංඛ්‍යා දත්ත ප්‍රකාරව ස්වේච්ඡා සේවකයින් සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවනු ලැබේ. එවැනි සුවිශාල සංඛ්‍යාවක් හැඩගැස්වීම හා එක් අරමුණක් වෙනුවෙන් නිවැරදිව පෙළගැස්සවීම යනු විශාල කර්තව්‍යයක් බව පැවසිය යුතුව ඇත. කෙසේවෙතත් ඒ සඳහා මෙම ස්වේච්ඡා සේවා සමාජය ඉතසිතින් සූදානම්ව තිබේ.

සංචාරකයන්ගෙන් පිබිදෙන ආර්ථිකය

අප පෙර සඳහන් කළ සංඛ්‍යා දත්ත වලට අනුව සංචාරකයන්ගේ පැමිණීම හරහා උපයාගැනීමට අපේක්ෂා කරන දළ ආදායම ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 320කි. එය දළ වශයෙන් සලකන කල ඕස්ට්‍රේලියානු ඩොලර් 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් එක් සංචාරකයකුගෙන් උපයා ගැනීමකි. නවාතැන්, කෑම බීම, විවිධ ආකර්ශණීය ස්ථාන හා බඩු භාණ්ඩ ඔස්සේ මෙම මුදල උපයා ගැනීමට සංවිධාකයන් සැලසුම් කර ඇත.

සංචාරය කරන්නේ කවුරුන්ද?

අදාළ තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලිය යුතුය. ඉන් පළමු කොටම තරගාවලියට සහභාගිවන රාජ්‍යයන් 70න් විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් අපේක්ෂා කළ හැකියැයි තරගාවලි සංවිධායකයන්ගේ විශ්වාසයයි. ක්‍රීඩා ඉසව්ව 18ක් වෙනුවෙන් මෙම දින 11 පුරා මෙලෙස ගෝල්ඩ් කොස්ට් නුවර වෙත පැමිණෙන ප්‍රේක්ෂකයන් පිළිබඳ එහිදී ඔවුන් විශ්වාසය තබා ඇත. තරගාවලිය පැවැත්වෙන මෙම කාලවකවානුව තුළ සැණකෙළි අසිරිය විඳ ගැනීමට කැමැති විනෝදශීලීන් ක්වින්ස්ලන්ත ප්‍රාන්තය තරණය කරනු ඇති බව ඔවුන්ගෙග් විශ්වාසයය. එය දෙස්. විදෙස් සංචාරකයන් වශයෙන් වෙනසකින් තොරව සැලකීමට සත්කාරකයින් සූදානම්ය.

සංදර්ශන තරගාවලියක් වෙනුවට අනාගත ආයෝජනයක්

මේ අතර තරගාවලිය වෙනුවෙන් ක්වින්ස්ලන්ත බලධාරීන් සිදුකර ඇති ආයෝජනය අති මහත්ය. ඔවුන් ඒ වෙනුවෙන් ජාත­්‍යන්තර ක්‍රීඩාංගණ 3ක් ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ විශාල ආයෝජන පිරිවැයක් වශයෙනි. ඔවුන් දීර්ඝ කාලීන වශයෙන් එය සිදුකිරීමෙන් සමාජයීය වශයෙන් ආයෝජනයක් අපේක්ෂා කරනු ලැබේ. ක්‍රීඩාව මගින් ජන සමාජය තුළ නිරෝගී භාවයක් වර්ධනය කිරීම මගින් යහපත් පරපුරක් අනාගතයට දායාද කිරිම ඕස්ට්‍රේලියානු පාලකයන්ගේ අපේක්ෂාවවී ඇත. එනයින් බලන කල්හි ඔවුන් තුළ ඇත්තේ හුදෙක් සංදර්ශන තරගාවලියක් සංවිධානය කර කොමිස් උත්පාදනය කරගැනීමක් නොව දීර්ඝ කාලීන සැලසුමකි. එය සමාජ දේහයට එන්නත් කරනු ලබන තිරසර ඖෂධයකි. එමෙන්ම ක්වින්ස්ලන්තයේ මාර්ග පද්ධතිය උපයෝගීතාව අතින් අති සාර්ථක වැඩිදියුණු කිරීමක් සිදුකිරීම සඳහාද මෙවර තරගාවලිය සංවිධානය කිරීම ඔස්සේ බලධාරීන් සමත්ව තිබේ. බ්‍රිස්බේන් ගුවන්තොටුපළේ සිට ගෝල්ඩ් කොස්ට් වෙත ළඟාවිය හැකි ආකාරයෙන් දුම්රිය ගමන් මාර්ගය වැඩිදියුණු කිරීම මෙන්ම ක්‍රීඩක ගම්මානය නිර්මාණය කිරීමට වැයකර ඇති ඩොලර් මිලියන 264 මගින් අදාළ ප්‍රදේශය සංචාරකයන් වෙනුවෙන් කුලී පදනම මත ලබාදීම මගින් ආදයම් උත්පාදනයට අපේක්ෂිතය. ඒ වෙනුවෙන් නිවාස 1200ක් යොදාගැනීමට හැකිවනු ඇති බවද සංවිධාකයන් සිය සැලසුම්වලට ඇතුළත් කර ඇත.

එමෙන්ම මෙම ක්‍රීඩක ගම්මානය වෙනුවෙන් යොදාගනු ලබන පාර්කලනඩ් පෙදෙස සෞඛ්‍ය හා දැනුමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් (හෙල්ත් ඇන්ඩ් නොලේජ් හබ්) වෙනස් කිරීමට ඔවුන්ගේ සැලසුම වී තිබේ. ඒ සඳහා උපයෝගීතාව අරමුණු කරගනිමින් දියුණු කරනු ලැබූ මංමාවත් විශාල පිටිවහලක් වනු ඇති බව ඔවුන් දැනටමත් අර්ථ කථනය කර ඇත. 2016 වසරේ යළි නවීකරණය කරනු ලැබූ පැසිෆික් වෙළෙඳ පොළ සංකීර්ණය වෙනුවෙන් ඔවුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 670ක් වැයකර ඇත. අත්‍යාලංකාර රාත්‍රී ගමන්සැරියක් වෙනුවෙන් මෙම ප්‍රදේශය සකස්කර ඇති අතර පොදු ප්‍රවාහන පහසුකම් සම්බන්ධීකරණය මගින් එය තවදුරටත් සාර්ථක තත්ත්වයට පත් කිරීමට බලධාරීන් සමත් තිබේ. දැනට වැඩිදියුණු කර ඇති ප්‍රාදේශීය ගොඩනැගිලි, මංමාවත්, තරු පංතියේ ගොඩනැගිලි සංකීර්ණ අතරට තරගාවලිය අවසන් කිරීමෙන් අනතුරුවද තරු හයේ 'ද ඩාර්ලිං' යනුවෙන් හැඳින්වීමට අපේක්ෂිත හෝටලයක් ඉදිකිරීමට නියමිතය.

මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 850ක් අයෝජනය කිරීමට සූදානමින් සිටී. මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙළ තම රටේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ඔවුන් සංවිධානය කරන්නට සූදානම් වූයේ අරමුණකින් තොරව නොව නිසි සැලසුමකින් යුතුව බව සිතාගත හැකිය. එය සියැසින් දකින්නකු වශයෙන් අපට දැකගත හැකි මෙම ප්‍රාතිහාර්ය තරගාවලි සංවිධානයෙන් පසු ඔවුන් ගෝල්ඩ්කොස්ට් ආශ්‍රිත සංවර්ධනය වැඩිදියුණුකිරීම වෙනුවෙන් ආයොජනය කිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයකට අධිකයැයි පවසනුයේ ඒ හේතුවෙනි. ලෝකයේ බොහෝ රටවල් ඕස්ට්‍රේලියානුවන්ගෙන් උගත යුතු හොඳම පාඩම මෙම අපූරු සංවිධාන සැලසුමයැයි අපට හැඟෙන්නේ ජන සමාජයට දැනෙන උපයෝගීතාවක් සහිත සංවර්ධනයක් මෙමගින් ඉටුකිරීමට ඔවුන් සැලසුම්කර ඇති නිසාය. එය හුදු අරමුණකින් තොර සුදු අලි සංවර්ධනයක් නොව යථාවත් සංවර්ධනයකි.

කසුන් ඉරුගල්බණ්ඩාර
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් නුවර සිට...

Comments