පසුගිය වසරට සාපේක්ෂව පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පදක්කම් දෙගුණ වෙයි | සිළුමිණ

පසුගිය වසරට සාපේක්ෂව පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පදක්කම් දෙගුණ වෙයි

බර ඉසිලීමේ පදක්කම් දෙකක් ගිලිහෙයි

බොක්සිං ක්‍රීඩකයෙක් අර්ධ අවසන් පූර්ව වටයට

පොදු රාජ්‍ය මණඩලයීය ක්‍රිඩා උළෙල සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා එරට වේලාවෙන් පෙරවරුව අවසන් කරනවිට පදක්කම් සටහනේ පදක්කම් දෙකක් හිමිකරගෙන තිබුණේය. කිලෝ ග්‍රෑම් 56 බර පංතිය යටතේ චතුරංග ලක්මාල් පළමු පදක්කම් ලාභියා වූ අතර ඔහු කිලෝ ග්‍රෑම් 248ක බරක් ඔසවමින් එම පදක්කමට හිමිකම් කීවේය. එහිදී ඔහු ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 110,114ක් ඔසවා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ ඔසවනු ලැබුවේ 131 ක් හා 134කි. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ ඔහුගේ දෙවැනි උත්සහය වූ කිලෝ ග්‍රෑම් 134 අසාර්ථක වූ හෙයින් අවසන් ප්‍රයත්නය ඊට වඩා ඉහළ බර ප්‍රමාණයක් වෙනුවෙන් උත්සහ කිරීමේ අවස්ථාව අහිමිකළේය. ඒ හේතුවෙන් ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිණි.

ශ්‍රී ලංකා ක්‍රීඩක කඳවුර සතුටින් උද්දාම කළ දෙවැනි උත්සහය වූයේ දිනූෂා ගෝමස් ක්‍රීඩිකාවයි. ඇය කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ තරග වැදිණි. එහිදී ස්නැච් ක්‍රමයය කිලෝ ග්‍රෑම් 66,70 බරක් එසැවූ ඇය සිය අවසන් උත්සහයේදී කිලෝ ග්‍රෑම් 74 සීමාව ඉක්මවීමට ගත් උත්සහය අසාර්ථක විය. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 85ක් එසැවුවද කිලෝ ග්‍රෑම් 90ක් එසැවීමේ දෙවැනි හා තෙවැනි අවස්ථා ඇය අතින් ව්‍යර්ථ විණි. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් ද්විත්වයම බර ඉසිලීමේ ක්‍රීඩකයන් විසින් හිමිකර ගෙන තිබේ. කෙසේ නමුත් එම පදක්කම් සියල්ල ලෝකඩ පදක්කම් වූ අතර රිදී පදක්කම් හෝ ඉන් ඉහළ පදක්කමක් හිමිවෙතැයි තබා තිබූ අපේක්ෂා දෙවැනි දිනය අවසන් වනතුරුත් සාර්ථකවී නොතිබිණි.

වසර හතරකට පෙරත් බර ඉසිලීම සරණ යයි

පසුගිය වර ස්කොට්ලන්තයේ ගෝල්ඩ් කොස්ට් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට එක් රිදී පදක්කමකින් සෑහීමට සිදුවුණේය. එය හිමිවුණේද බර ඉසිලීමේ ක්‍රීඩා ඉසව්වෙන්ම වන අතර එවර එහි හිමිකරුවා වූයේ කණ්ඩායම් නායකත්වය ඉසිලූ සුදේශ් පීරිස්ය. ඔහු ජපානයේ පුහුණුවීම් ලබමින් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව එහි නායකත්වයද දරමින් මෙම පදක්කමට හිමිකම් කීම විශේෂත්වයකි. එම තරගාවලිය නියෝජනය කළ 108ක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැනසිලිදායක පදක්කම වූයේ එයය. දැනට ලෝකඩ පදක්කම් වුවද ශ්‍රී ලංකාව පදක්කම් ද්විත්වයක සාඩම්බර හිමිකරුවන් වී තිබෙන බව පැවසිය යුතුව ඇත.

අහිමිවුණු පදක්කම්

පසුගිය සිකුරාදා ඕස්ට්‍රේලියාවට පස්වරු උදාවනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ බර ඉසිලීමේ තරගයට සහභාගිවුණු චමරි වර්ණකුලසූරිය සමස්ත බර කිලෝ ග්‍රෑම් 172ක් ඔසවමින් එම ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත්වූවාය. ඇයට ඉදිරියෙන් ඉන්දීය ක්‍රීඩිකාව කිලෝ ග්‍රෑම් 182ක් ඔසවමින් රන් පදක්කමට හිමිකම් කියූ අතර රිදී පදක්කම හිමිකරගත්තේ පැපුවා නිව්ගිනියා රාජ්‍ය නියෝජනය කළ ක්‍රීඩිකාවයි. එ් කිලෝ ග්‍රෑම් 182ක බරක් ඔසවමිනි. තෙවැනි ස්ථානය දිනාගත් කැනඩා ක්‍රීඩිකාව විසින් ඔසවන ලද සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 181කි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ස්නැච් ක්‍රමය යටතේ පිළිවෙලින් මුල් උත්සහයන් ද්විත්වයේදී සාර්ථක ලෙසින් කිලෝ ග්‍රෑම් 74, 78ක බරක් ඔසවන ලද නමුත් කිලෝ ග්‍රෑම් 80ක් එසවීමට උපක්‍රමිකව ගත් උත්සහය ව්‍යර්ථ විය. ඉන්පසු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ ඇය කිලෝ ග්‍රෑම් 94ක් එසවූවද දෙවැනි හා තෙවැනි උත්සහයන්හිදි කිලෝග්‍රෑම් 94 ක් හා 104ක් ඔසවා පදක්කමක් වෙත ළඟාවීමට උත්සහ කළද එය අසාර්ථක විය.

බීච් වොලිබෝල්

ශ්‍රී ලංකාව බීච් වොලිබෝල් ක්‍රීඩාවේ මූලක වටයේ තරගයක් සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ තරග වැදිණි. එහිදී වට 2-1ක් ලෙස ස්කොට්ලන්තය ජයගත් අතර ඊයේ දිනයේදී මූලික වටයේ තවත් තරගයක් සඳහා ශ්‍රී ලංකා පිරිමි බීච් වොලිබෝල් ක්‍රීඩකයන් සහභාගිවීමට නියමිතව තිබුණේය. එය පැවැත්වීමට නියමිතව තිබුණේ කැනඩා කණ්ඩායම සමඟිනි. මූලික වටයේ අවසන් තරගය සඳහා 9 වැනිදා එනම් හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා වන අසංක ප්‍රදීප් හා සසිමල් යාපා සහභාගිවීමට නියමිතව ඇත. මේ අතර ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයේදී 21-15, 18-21 ක් හා 16-14ක් ලෙස තරග වට තුනේ ප්‍රතිඵලය විසඳී තිබුණේය. මූලික වටයේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාට වඩා උසින් වැඩි ක්‍රීඩකයන් දෙදෙනෙකු වශයෙන්ද මෙහිදී වාසිය උකහාගැනීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් දෙදෙනාට අවස්ථාව උදාවුණු අතර ඔවුහු සෙන්ටි මීටර් 195ක් හා සෙන්ටිමීටර් 193ක උසකින් යුතු වූහ.

බොක්සිං මූලික වටයෙන්

සිකුරාදා පෙරවරුව අවසන් වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 46-49 බර පංතිය යටතේ පිරිමි අංශයෙන් තරගග වැදුනේ තිවංක රණසිංහ ක්‍රීඩකයාය. එහිදී තරග විනිසුරුවන් සිව් දෙනෙකු සතුටු කරමින් ප්‍රතිවාදී දකුණු අප්‍රිකා ක්‍රීඩකයා අභිබවා යෑමට ඔහු සමත්වුණු බව තරග ප්‍රතිඵලවලට අනුව කියැවුණ හෙයින් ඔහු දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක කඳවුරේ බලාපොරොත්තු තවත් ඉහළ දමමිනි. ඔහු අර්ධ අවසන් පූර්ව තරගය සඳහා මේ අනුව අනිද්දා (10) තරග වැදීමට නියමිතවූයේ වනාටු රාජ්‍ය නියෝජනය කරන අවුරුදු 19ක් වූ බෙරී නමාරි සමඟය. වනාටු රාජ්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පමණක් යොමුකර ඇති අතර එයට බොක්සිං ක්‍රීඩකයෝ 3ක් පමණක් එක්කර සිටියහ. ඔවුන් තිදෙනාම ළාබාල ක්‍රීඩකයන් වීමද මෙහි ඇති විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයාට අවුරුදු 25ක් වන අතර වනාටු ක්‍රීඩකයාගේ වයස අවුරුදු 19ක් බව සඳහන්ය.

සමස්තයක් වශයෙන්

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කීපයකට බැඩ්මින්ටන් හා මේස පන්දු ක්‍රීඩකයෝ සහභාගි වුණහ. එහිදී සැනසිළිදායක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩක කණ්ඩායමට අවස්ථාව හිමිවුණේ පසුගිය සිකුරාදා ශාන්ත වින්ස්ට්න්ට් හා ද ග්‍රෙන්ඩීනස් රාජ්‍ය නියෝජනය කළ ක්‍රීඩකයින් සමඟ පැවැති තරගයේදීය. වට 3-0ක් වශයෙන් එහි පහසු ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවිණි. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ රොහාන් මනමේන්ද්‍ර, ඉමේශ් රණසිංහ හා බුවනෙක ජයසිංහ යන ක්‍රීඩකයින්ය. කෙසේ නමුත් බැඩ්මින්ටන් ක්‍රීඩකයනට කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අවස්ථාවක් හිමිනොවීමද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී කැපී පෙණුනි. එහිදී බැඩ්මින්ටන් අතුරු කමිටුවක් ක්‍රියාත්මකවීමත්, අදාල ක්‍රීඩා ඉසව්ව සම්බන්ධයෙන් දක්වන මැදිහත්වීම පිළිබඳවද මෙම ප්‍රතිඵලය විසින් ප්‍රශ්න කරමින් තිබෙන බව පැවසිය හැකිය. එම ක්‍රීඩා සංගමය තුළ දේශපාලනික හැල හැප්පීම් දක්නට ලැබෙන තරම් ක්‍රීඩාව දියුණු කිරීමට බලධාරීන් උත්සුක නොවීමේ ප්‍රතිඵල මෙහිදී කැපී පෙනෙයි. ඊට අමතරව පිහිනුම් තරග ඉසව්වෙන් කාන්තා මීටර් 50 නිදහස් ආර මූලික වටයේ තරග දෙකකදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථාන දෙකක් හිමිකරගැනීමට සමත්විණි. විනෝලි කළුආරච්චි තත්පර 28.76කින් තරගය නිමකරමින් ද තවත් මූලික තරගයකදී දිල්රුක්ෂි පෙරේරා තත්පර 27.75කින් තරගය නිමකරමින්ද මූලික වටයේ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.

විනෝලි මීටර් 100 පසුපස ආර මූලික වටයේ තරගයේදී විනාඩි 1.07. 64කින් තරගය නිමකරමින් එහි දෙවැනියා වූ අතර ඊළඟ වටයට ඔවුන්ගේ සුදුසුකම් ලැබීම තීරණය කිරීමට නියමිතව තිබුණේ මුල් ස්ථාන තුන දිනාගන්නා සමස්ථ ක්‍රීඩිකාවන්ගේ තරග නිමි කාලය ගණනය කිරිමෙන් අනතුරුවය. එහිදී මුල් ස්ථාන 16 දිනාගනු ලබන ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට සහභාගිවිමට නියමිත විය. කිලෝ ග්‍රෑම් දෙකකින් උපක්‍රමිකව ඉන්දීය ක්‍රීඩකයා පරාජය කරමින් රිදී පදක්කමට හිමිකම් කියූ ඉන්දික දිසානායකට කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ රන් පදක්කමද කිලෝ ග්‍රෑම් දෙකකින්ම අහිමිවී ගියේය. සිකුරාදා පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී ස්නැච් ක්‍රමය යටතේ පිළිවෙලින්න 132, 137ක බරක් එසවූ ඉන්දිකගේ තෙවැනි උත්සහය වූ කිලෝග්‍රෑම් 139 අසාර්ථ ප්‍රයත්නයක් විණි. ඉන්පසු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 160ක් එසවූවද කිලෝග්‍රෑම් 163ක් එසැවීම ඉතිරි අවස්ථා ද්විත්වයේදීම ඔහු අපොහොසත් විය. ඒ අනුව සමස්ථ බර කිලෝග්‍රෑම් 297ක් ඔසවමින් රන් පදක්කමට හිමිකම් කියූ වේල්සයේ ග්‍රේත් එවන්ස් හට කිලෝ ග්‍රෑම් 2ක් පිටුපසින් ස්ථානගතවුණේය. එහි තෙවැනි තැන ලැබූ ඉන්දියාවේ දීපාක් ලාතර් විසින් කිලෝ ග්‍රෑම් 295ක බරක් ඔසවනු ලැබිණි.

කසුන් ඉරුගල්බණ්ඩාර
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් නුවර සිට...

Comments