ජනපතිගේ ඉන්දීය ජපන් සංචාරවලින් ක්ෂේත්‍ර රැසකට ප්‍රතිලාභ | Page 2 | සිළුමිණ

ජනපතිගේ ඉන්දීය ජපන් සංචාරවලින් ක්ෂේත්‍ර රැසකට ප්‍රතිලාභ

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් හා ඉන්දීය සංචාර මඟින් අපේ රටේ ජාතික, ආගමික, ආර්ථික, ව්‍යාපාරික හා පාරිසරික කටයුතු ප්‍රවර්ධනයට සුවිශේෂ අවස්ථා රැසක් උදා වී ඇත.

මේ සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ නිල හමුවේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය දීමේදී හැකි සැම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. එමෙන්ම ජපානය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දෙන සහාය අඛණ්ඩව ඉදිරියට ලබාදෙන බවටද මෙහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

එහිදී වරාය සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දෙන අතර, දැනටමත් කොළඹ සහ ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන සහාය පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීමට සූදානම් බව පැවසූ ජපාන අග්‍රාමාත්‍යවරයා අධිවේගි මාර්ග පද්ධතියේ ඉදි කිරීම් සඳහාද සහාය දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජපානයේ විශේෂ වූ කාර්මික වැඩසටහන්වල දායකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට හැකි බවද ජපාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාගැනීම සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරායගෙන් කළ ඉල්ලීමටද යහපත් ප්‍රතිචාර පළ කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා සහය ලබාදීමටද ජපාන අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳවද මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේ දී රාජ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංචාරයත් සමඟ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ පටන් පවතින සමීප මිත්‍රත්වයේ තවත් නැවුම් පියවරක් සටහන් වන බවයි. සැන් ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ශක්තිමත් වූ ජපාන - ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන අතර, එය ශක්තිමත් මිත්‍රශීලි මෙන්ම විශ්වසනීය සබැඳියාවක් බව ජපාන අග්‍රාමාත්‍යවරයා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය රාත්‍රියේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සාමය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීණ ප්‍රතිලාභ අත් කර දීමට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට හැකිවී ඇති බව ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ඩ් (Ram Nath kovind) මහතා ශ්‍රී ලංකා ජනපතිගේ ඉන්දීය සංචාරයේදී පවසා ඇත.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වූ පසු දෙරට අතර පැවති ආර්ථික, සංස්කෘතික හා වෙළෙඳ සබඳතාවලට නව ජවයක් ලැබුණ බවද ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කළේය. පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ජනාපතිතුමා ගෙන ඇති පියවර මෙහිදී අගය කළ ඉන්දීය ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව මේ වනවිටත් සූර්යබල ශක්තියට අනුගතව සිටින බව තමා දැනගත්තේ පසුව බවද ප්‍රකාශ කර සිටියේය. ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් රාෂ්ට්‍රපතිභවන්හි දි පැවැත්විණි.

සූර්ය බලශක්ති සමුළුව සඳහා ශ්‍රී ලංකාව ජනාධිපතිවරයාගේ සහභාගීත්වය මහත් ගෞරවයක් බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර සූර්ය බල සමුළුවෙහි පණිවුඩය මුළු ලෝකයට රැගෙන යාමට එක්ව කටයුතු කිරීමට සහය දක්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. මෙම හමුවෙන් අනතුරුව අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් මහතා අතර හමුවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ 28% දක්වා පහත බැස ඇති වන ගණත්වය 32% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ පෙන්වා දුන් ජනාධිපතිතුමා, වනාත්තරවල ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව විශේෂ නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, සැම දෙසතියකට වරක් ගුවන් හමුදාව මඟින් ඒ සම්බන්ධ වන වාර්තාව තමා වෙත ලබාදෙන බවත් ප්‍රකාශ කළේය. 

 

Comments