පොදු අපේක්ෂකයකු රැගෙන ගිය නිදහස් කුසලානය හා ක්‍රීඩක විනයේ පරිහානිය | සිළුමිණ

පොදු අපේක්ෂකයකු රැගෙන ගිය නිදහස් කුසලානය හා ක්‍රීඩක විනයේ පරිහානිය

 ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාව හිමිකරගත්තේ පසුගිය ඉරිදාය. හරියටම කියන්නේ නම් මීට සතියකට පෙරය. එසේනම් එකී ප්‍රවෘත්තිය දැන් පිළුනු පුවතකැයි කිවයුතුය. එහෙත් එහි පිළුනු නොවන කොටසක් තිබේ. එහි පළමුවැන්න පොදු අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීමය. දෙවැන්න නායගිය ක්‍රීඩක විනයය.එහි පළමුවැන්න වනුයේ ක්‍රීඩක විනය සම්බන්ධ කතාවය.

විනය කෝ

පසුගිය සිකුරාදා එපිට සිකුරාදා පැවැතුණේ නිදහස් කුසලානයේ තීරණාත්මක තරගයකි. එය පැවැත්වුණේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතරය. දිනම්වා හෝ මියෙම්වා යන ස්ථාවරයේ සිට කණ්ඩායම් දෙකම තරගයට පිවිස සිටියේ එය තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගිවන කණ්ඩායම තීරණය කරන තරගයක් වූ හෙයිනි. ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය සතුව ඊටත් එහා ගිය හතුරුකමක් තිබුණේය. එනම් තමන්ගේ රටේදීම තමන්ව අංශ තුනෙන්ම පරාජය කරමින් ශූරතාව දිනාගැනීම පිළිබඳ ආරෝවය. එහෙයින් බංග්ලාදේශය බිංදුවටම වැටුණේය. චන්දික හතුරුසිංහ නම්වූ ඔවුන්ගේ හිටපු පුහුණුකරු හා වත්මන් ශ්‍රී ලංකා පුහුණුකරු අති ප්‍රබල මැජික් යෂ්ඨියක හිමිකරුවකු විය. මෙම තත්ත්වය බංග්ලාදේශය ඉවසුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වුණේ යළි තමන් දිනා සිටි ස්ථාවරය දිනාගැනීමය. ඒ සඳහා ඔවුන් මෙම තරගාවලියේ නොගත් උත්සාහයක් නැත. පළමුව ඉන්දියාව හමුවේ පරාජය වුවද ශ්‍රී ලංකාව හමුවේ ඔවුන් ජයලබා ගත්තේ ලෝකයේ විශාලතම සිව්වැනි පන්දුවාර විස්සයි විස්ස හඹාගොස් ජයගනිමිනි. එහිදී මූලිකත්වය ගත්තේ කලක් නායකයකු වශයෙන් සිටි මුෂ්ෆිකර් රහීම්ය. ඔහු ක්‍රමානුකූලව ජයග්‍රහණය සඳහා කාල වේලාව බලමින් එය ශ්‍රී ලංකාව වෙතින් උදුරා ගත්තේය. ගැටලුවේ ආරම්භක ලක්ෂය එතැනය. ඒ ජයග්‍රහණය සාධාරණව හා සාවධානව භුක්ති විඳීමේ මානසිකත්වයක් මුෂ්ෆිකර්ට තිබුණේ නැත. සති ගණනාවක් සිතේ පැසවමින් තිබූ වේදනාවක් එම ජයග්‍රහණය සමඟ ඔහුගෙන් ඔඩු දිව්වේය. වහා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරය දෙස බලා නාගීනා නර්තනය ඔහු නියැලුණේ එහෙයිනි.

එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් තුළද රිදවීමක් ඇති කළේය. එහෙත් මුෂ්ෆිකර්ගේ රොස් පරොස් මුහුණ කියැවුණේ අදාළ සිද්ධිය තමන් කළේ දැඩි අවමාන සහගත අභියෝගයකින් බවය. ‘ඔන්න අපි කරලා පෙන්නුවා. නුඹත්, නුඹගේ කණ්ඩායමත් දෙවරක්ම අපි නුඹේ රටේදීම පරාජය කළා. දැන් මොකද කියන්නේ වැනි සංඥාවක් එම නාගීනා නර්තනයේ විණි. පසුව මෙම නාගීනා නර්තනය ගැන මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් විමසා තිබුණේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ගෙනි. ඔහු එයට දී තිබුණේ හොඳ පිළිතුරකි. ඇවිලෙන ගින්නට පිදුරු නොදමා සිටින්නට තරම් ඔහු බුද්ධිමත් වූ අතර ඉක්බාල්ගේ පිළිතුරෙන් කියැවුණේ එය සිදුකළේ ක්‍රීඩාගාරයේ සිටි තවත් බංග්ලාදේශ පන්දුයවන්නකුට බවය. ‘ඒ ඉරියව්ව බංග්ලාදේශය තුළ හරි ප්‍රසිද්ධයි. අපේ ක්‍රීඩක කාමරයේ හිටිය යොවුන් ක්‍රීඩකයෙකුයි මේ ඉරියව්ව දක්වන්නේ. ඔහුගේ නර්තන ඉරියව්ව තමයි මේ මුෂ්ෆිකර් දැක්වූයේ. වෙන මොකුත් නොවෙයි’ ඔහු මාධ්‍ය වේදීන් හමුවේ ඥානවන්ත පිළිතුරක් ගොනු කළේය. එය අතිශයෙන් බුද්ධිමත්, එමෙන්ම රාජතාන්ත්‍රික පිළිතුරකි. කෙසේ නමුත් පසුව කරළියට ආවේ සැබෑ කතාවය. එම ඉඟි නළුව රඟපා ඇත්තේ අන්කිසිවකුටත් නොවේ. එය තමීම් ඉක්බාල් කියූ ආකාරයේ රංගනයක්ද නොවේ. එය සිදුකර ඇත්තේ චන්දික හතුරුසිංහටය. ‘දැක්කද අපේ වැඩ.’ වැනි හැඟීමක් ගොඩනැංවෙන අයුරින් ඔහු මෙලෙස හැසිරී තිබේ. එය ප්‍රකාශවූ සැණින් ක්‍රීඩකයන් අතර කෙසේ වුවද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ආතුර වූවාක් වැනිවිය. ‘බංග්ලාදේශය වගේ කණ්ඩායමක් කොහොමද එහෙම හැසිරෙන්නෙ. අපිට කරන්න බංග්ලාදේශය කවුද? සිකුරාදා තරගයෙදි හොඳ පාඩමක් උගන්වන්න අවශ්‍යයි’ ආදී අදහස් කරළිය තුළ රැව් පිළිරැව් දෙන්නට විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තුළද මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ආරෝවක් නිර්මාණය වී තිබුණා නිසැකය. ඒ අනුව විනය බිඳින පළමු විෂ ක්‍රීඩාව තුළට එන්නත් කළේ වෛරයෙන්, ක්‍රෝධයෙන් යුතුව තරග සංචාරයට පැමිණ සිටි මුෂ්ෆිකර් රහීම්ය.

සිකුරාදා මොකද වුණේ?

මෙම තරගයට නව නායකයකු, නව ක්‍රීඩකයකු ඇතුළත් වුණේය. ඔහු නමින් ශකීබ් අල් හසන්ය. ලෝකයේ ඕනෑම කණ්ඩායමකට ඇතුළත් කළ හැකි තරම් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු ඒ සම්බන්ධයෙන් ශ්‍රේණිගතව සිටියෙකි. එය බංග්ලාදේශ කණ්ඩායමේ විශාල පිබිදීමක් විණි. ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියූවේ එය වඩා වාසිදායක විය හැකි බවය. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිතිකරුවන් එක් අන්තයක දැවී යද්දී කුසල් ජනිත් සමඟ එම තරගයේ නායකයා තිසර පෙරේරා ඉනිම ආරම්භ කළේය. සෙමින් සෙමින් තමන්ගේ ස්ථාවර තත්ත්වය ඇතිකරගත් ඔවුන් දෙපල වේගයෙන් පන්දුවට පහරදීම ආරම්භ කළහ. අවසානයේ කිසිදු අභියෝගාත්මක ලකුණු පුවරුවක් සකස් කිරීමට අපොහොසත් වෙතැයි සිතූ ප්‍රේක්ෂකාගාරයට යම් තරමකට සතුටුවිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කෙරිණි. පන්දුයවන්නන් විසින් මෙම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කරනු ඇතැයි මුලදී අවබෝධ කරවමින් කඩුලු කඩුලු බිඳ වැටුණේය. අප මෙම තරගයට පෙර ප්‍රකාශකළාක් මෙන් මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ලද ඔවුන් හිමිකරගනු ලැබුණේය. එහෙත් අවසාන පන්දුවාර කීපය තුළ සටන තවත් ප්‍රබල අඩියකට පිවිස තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ 19 වැනි පන්දුවාරයෙන් අනතුරුව අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් රැස්කිරීමට නියමිතව තිබිණි. පන්දුයැව්වේ ඉසුරු උදානය.

තමන්ගේ උපන්දිනය දා අපූරු ජයග්‍රහණයක සිහිවටන අපේක්ෂාවෙන් ඔහු තරග වැදී සිටියේය. පළමු පන්දු දෙකම තරමක් ඉහළට ඉපිළුණු පන්දුය. පිතිකරුගේ උරහිසට ඉහළින් පහරදිය නොහැකි සීමාවෙන් ගමන් කළාක් වැනිව දර්ශනය විය. විනිසුරුවන්ටද තරගයේ උද්වේගය විසින් යුක්තිය අකුරට පසිඳලීම අමතක කර තිබුණා විය යුතුය. ඔවුන් එම පන්දු අතරින් පළමුවැන්නට පන්දුයවන්නාට අවවාද කළේ නැත. දෙවැනි පන්දුව නිපන්දුවකැයි කීවේද නැත. ගැටුම ඇවිළුණේ එතැන් සිටය. බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ක්‍රීඩාංගණයේ සිට තම ක්‍රීඩකයන් දෙදෙනාට ක්‍රීඩාගාරයට එන්නැයි දැනුම් දුන්නේය. ඔහු පුන පුනා තෙවැනි විනිසුරු සමඟ වාද කරමින් මෙම සංඥාව කරනු ලැබිණි. ඊට පිළිතුරු වශයෙන් දෙවැනි පන්දුවත් සමඟ ක්‍රීඩාංගණයට ගිය නස්රුල් හසන් ඇතුළු අනෙක් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුව තිබූ ජයග්‍රාහී රිද්මය බිඳිනු ලබනු පෙණුනේය. ඔවුන් අතරින් නස්රුල් පසුව ප්‍රකාශ කළ පරිදි පැති විනිසුරුගෙන් අදාළ පන්දුව නිපන්දුවක් නොවේදැයි ප්‍රශ්න කර තිබේ.

එවිට එහි පැමිණි තිසර, ‘නුඹට මෙතැන කතාවක් නැහැ ’ යැයි පවසා ඇත. අවසානයේ ඉතිරි පන්දු හතර යැවීමට තීරණය වුණු අතර ශකීබ් අල් හසන් නිහඬ වූයේය. ඉතිරි තීරණාත්මක පන්දු දෙකේද හතරේ පහරක් හා දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් මහමදුල්ලා බංග්ලාදේශයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරදුන්නේය. මුළු ප්‍රේක්ෂකාගාරයම තුෂ්නිම්භූතවී තිබිණි. දැන් නාගීනා නර්තනය ක්‍රියාවට නැංවිණි. නස්රුල් හසන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට ඇඟිල්ල දිගු කරමින් තර්ජනාත්මකව කතා කරනු පෙණිනි. මේ අතර ආර්.ප්‍රේමදාස පිටියේ බංග්ලාදේශ ක්‍රීඩකයන් රැඳී සිිටි කාමරයේ වීදුරු දොරක් අදිසි ලෙස බිඳී ගොස් තිබිණි. එය නැවත සකස් කිරීමේ වියදම රුපියල් එක් ලක්ෂ හතළිස් හත් දහසක් විය. එය සිදුවූයේ කෙසේදැයි ගැටලුවක් වූ අතර තරග තීරකවරයා එය සිදුකළේ කවුරුන්දැයි නිරීක්ෂණය කිරීම සඳහා සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගැනීමට තීරණය කළේය. එහෙත් එහි ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂියක් තිබුණේ නැත. අවසන ක්‍රීඩක කාමරයේ ක්‍රීඩකයන්ට ආහාර ලබාදීමට නවතා තිබූ හෝටල් සේවකයකු ප්‍රකාශ කර තිබුණේ එය බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් විසින් බලහත්කාරයෙන් සිදුකරන ලද බවය. නමුත් තීරකවරයා ශකීබ් හා නස්රුල් දෙදෙනාටම තරගයෙන් සියයට විසි පහක දඩයක් පමුණවා ඔවුන්ට එරෙහිව රින ලකුණක් ලබාදීමට කටයුතු කළේය. එතැනින් සිද්ධිය සමථයකට පත්විණි.

එතැනින් සමථයකට පත් කළ හැකිද?

මෙතැනදී අපි විමසන්නේ මෙවැනි ව්‍යාධියක් වැනි නොසරුප් හැසිරීමක් සියයට විසිපහක දඩයකින් සමහන් කළ හැකිද යන්නය. අපගේ නිරීක්ෂණය නම් එය කිසිසේත්ම නොහැකි බවය. ලොව පුරා ක්‍රීඩා විචාරකයන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශයට තර්ජනාංගුලි දිගු කළහ. ක්‍රීඩාවේ ජීව ගුණයට ඉන් එල්ලවූ බලපෑම කොතරම් නරකදැයි ඔවුන් එහිදී පෙන්වාදුන්හ. බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවා සිද්ධිය හෙළා දැකීමට නිර්භයව කටයුතු කළේය. නමුත් සෙසු නිලධාරීන් එතරම් තදින් ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවුණු බව අපගේ හැඟීමය. එහෙත් මෙම සිද්ධිය දකුණු අප්‍රිකානු කළු ජාතික වේග පන්දුයවන ක්‍රීඩක කගිසෝ රබාඩා අපූර්ව ආකාරයට යොදාගත්තේය. ඔහුද ඒ වනවිට තරග දෙකක තහනමකට ලක්ව තිබිණි. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් කළේය. එහිදී ඔහු විමසුවේ තමන්ගේ හැසිරීම බංග්ලාදේශයේ තරම් දරුණු, ක්‍රීඩාවේ ජීව ගුණ වනසන සිදුවීමක්ද යන්නය. තමන්ට තරග දෙකක් තහනම් කළේ නම් ඔවුන්ට වසර දෙකක් තහනම් කළ යුතු බව ඔහු සිය ලිපියේ ලියා යැව්වේය. අවසානයේ රබාඩා සම්බන්ධයෙන් යළි අභියචනය ක්‍රියාත්මක විණි. ඔහුගේ තහනම ඉවත්කෙරුණේය.

අපි මෙතැනදී කියන්නේ බංග්ලාදේශයේ හැසිරීම එතරම් අමනෝඥ බවය. ඔවුන් ජාත්‍යන්තර පිටියේ ක්‍රිකට් ක්‍රීඩකයන්දැයි සිතෙන තලයට එය බුද්ධි ගෝචර නොවන හැසිරීමක් බවයි. ක්‍රීඩාවේ ජීව ගුණයට විෂ එක්කරන, අනාගතයේ ක්‍රීඩාව බාරගැනීමට නියමිත ක්‍රීඩකයන්ට වැරදි පූර්වාදර්ශ ඇතිකරන සිදුවීමක් බවය. එසේනම් සිදුවිය යුතුව තිබුණේ ඔවුනට රිදෙන්නට දඬුවම් දෙන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කිරීමය.

පොදු අපේක්ෂකයා

අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමට අපොහොසත්වීමත් සමඟ සමස්ත ක්‍රීඩා ලෝලීන්ම ඉතසිතින් සුබ පැතුවේ රෝහිත් ෂර්මා වෙතය. රෝහිත් ෂර්මාගේ කණ්ඩායම ශූරතාව දිනාගන්නා ආකාරය, බංග්ලාදේශයේ නාගීනා දර්ශනය අවසන් වන ආකාරය ගැන සියළු දෙනා ප්‍රාර්ථනා පොදි බැන්දෝය. එම අවසන් තරගයට දින කීපයක පෙරට පෙර ඉන්දීය නායක ෂර්මා අපූරු රාජතාන්ත්‍රික හැසිරීමක නිරතවිය. එනම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සිංහල බසින් තමන්ගේ සුබ පැතුම් පළකරන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමිනි. එහි ඔහු බොහෝ දක්ෂ ලෙස සිංහල පුහුණුවන ආකාරය විකාශය කෙරිණි. එම වීඩියෝව වයිරසයක් සේ වේගයෙන් ප්‍රේක්ෂකයා වෙත පැතිර ගියේය. ෂර්මා හා ෂර්මාගේ ඉන්දියාව තවත් සහෘදව බැඳ තබාගැනීම එය සිදුවීම ඉවහල් වුණේය. තරගය ඉතා උණුසුම් ලෙස දිගහැරුණු අතර අවසාන පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු පහක් ලබාගැනීමට තිබියදී හයේ පහරක් එල්ල කරමින් එය දිනාගැනීමට දිනේෂ් කාර්තික් සමත්විය.

මුළු ප්‍රේක්ෂකාගාරයම ගිගුම් දුන්නේය. එය ශ්‍රී ලංකාව කුසලානයක් දිනාගත් මොහොතක් වැනි විය. කොල්කටාවේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය මෙනි. සමස්ත ප්‍රේක්ෂකයන් ජයඝෝෂා කළේ ඉන්දියාවටය. එය නම් ක්‍රිකට් පිටියේ විකෘතියකි. ක්‍රිකට් පිටියේ සැමදාම පසමිතුරන් වන ඉන්දියාව මෙදා මිතුරන් වී ඇත. එයට නිමිතිවන කරුණු කීපයකි. ඉන් එකක් වනුයේ ෂර්මාගේ බුද්ධිමත් හැසිරීමය. දෙවැන්න බංග්ලාදේශයේ අශ්ශීල ක්‍රියා කලාපයෙන් බිඳී ගිය සුමිතුරු සිත්ය. කෙසේ නමුත් ඉන්දියාව තවත් දෙයක් කිරීමට උත්සුක විය. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පිනවන්නට කියා බංග්ලාදේශයට තමන්ගේ රංගන ශිල්පිනයක් විසින් ඉදිරිපත් කළ නාගීනාව ප්‍රකට නොකිරීමට වග බලාගැනීමෙනි. එයින් ඔවුන්ගේ වෘත්තීය භාවය, රාජතාන්ත්‍රික භාවය ප්‍රකට කළේය. මේ සියල්ල තුළින් බංග්ලාදේශයේ මුග්ධ, පටු, අඳ බාල හැසිරීම් ප්‍රකට වුණු බව අපගේ මතයය. එය ඉදිරියේ ශ්‍රී ලංකාවේ බලධාරීන් මීට වඩා ඉදිරියට පැමිණ බංග්ලාදේශයට එරෙහිව කටයුතු කිරීමට ඉදිරිපත් නොවීම එක් අතකින් නිමැවෙන කනගාටුවය.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments