ගුවනේ සිට රට රැකි විරුවෝ ජනතා සහායට | Page 2 | සිළුමිණ

ගුවනේ සිට රට රැකි විරුවෝ ජනතා සහායට

 දේශයට රකින්නට ගුවන් තලයේ සිට විකුම් පෑ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ පසු කර යන්නේ සිය අභිමානවත් 67 වන සංවත්සරයයි. එදා මෙදා තුර රට රකින්නට ගුවනේ සිට සහාය දෙමින් ගුවන් හමුදාව කළ මෙහෙය සුළු පටු නැත.

1951 වසරේදී රාජකීය ලංකා ගුවන් හමුදාවේ ආරම්භය විය. එහි ප්‍රථම ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් ගෲප් කැප්ටන් ග්‍රැහැම් ක්ලාර්ක් බ්ලේඩ්න් මහතා පත්කරන ලදී.

67 වසරක ගුවන් හමුදා ඉතිහාසය තුළ මේ දක්වා ගුවන් හමුදාධිපතිවරුන් 15 දෙනෙකුගේ නායකත්වය යටතේ පැවති අතර වර්තමානයෙහි 16 වන ගුවන් හමුදාධිපති ලෙස එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් නායකත්වය දෙනු ලබන අතර ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවන් ප්‍රවර්ධනය කිරීමේදීද ගුවන් හමුදාව එහි එක් පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලාංකේය සීමාවන් තුළ, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට ගුවන් හමුදාව ක්‍රියාකාරීව දායකත්වය සපයනු ලබන අතර වනාන්තර සහ පාරිසරික සමතුලිතතාවය සහ ජෛව විවිධත්වය විනාශ කිරීම වැළැක්වීමටද ඍජුවම දායකත්වය සපයනු ලබයි.

67 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සැණකෙලිය සහ ප්‍රදර්ශනයක් අම්පා‍රේදී ගුවන් හමුදාව විසින් පවත්වන ලද අතර දිවයිනේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා බහුල වශයෙන් දිවි ගෙවන ප්‍රදේශ ආවරණය වන පරිදි ගුවන් හමුදා පාපැදි සවාරියක්ද පසුගියදා පවත්වන ලද අතර ‍මීට අමතරව සිවිල් ජනයාගේ සුබසිද්ධිය පිණිස විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

ඒ යටතේ කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් 'සොබා දහම සුරැකීමට, කඳු මුදුනට නැගීම' තේමා කර ගනිමින් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට එක්වන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදාහරිනු ලබන කුණු කසල ඉවත් කොට ශ්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. එසේම මුලතිව් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් මුලතිව් ගුවන් හමුදා කඳවුර මගින් සිදු කරන ලදී. චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් ත්‍රීකුණාමලය සිද්ධාර්ථ විද්‍යාලයේ පංති කාමරයක් සම්පූර්ණයෙන්ම සෑදීම සිදු කරණ ලද අතර කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්, 20 සැතපුම් කණුව සිට කටුනායක ගුවන් හමුදා කඳවුරු ප්‍රධාන ආරක්‍ෂක මැදිරිය දක්වා ගුවන් හමුදා මාවත පිරිසිදු කිරීම, ආනන්දපුර ආබාධිත රැකවරණ මධ්‍යස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් හා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සහ මීගමුව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එමෙන්ම මීරිගම ගුවන් හමුදා කඳවුර මගින් බෝතලේ ප්‍රදේශයේ ’සෙත් සෙවණ’ වැඩිහිටි නිවාසයේ සහ මීරිගම ’අපේ ළමයි’ ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ උදෑසන ආහාරය ලබාදීමක් ද සිදු කරන ලදී.

පුත්තලම පාලවිය ගුවන් හමුදා කඳවුර මගින් මදුරන්කුළිය හදයත් නගර් මුස්ලිම් මහා විද්‍යාලයේ පහසුකම් වැඩිදියණු කිරීම සහ දරුවන් සඳහා වැසිකිලි පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කළ අතර, පාසල් ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීම සහ එළිමහන් දේශන කලාප ප්‍රතිසංස්කරණය කිරිම ද සිදු කරන ලදී.

වවුනියාව ගුවන් හමුදා කඳවුර මගින් වව්නියාව ගුණානන්ද විද්‍යාලයේ බුදු මැදුර ඉදිකිරීම සිදුකරන ලද අතර මීරිගම ගුවන් හමුදා කඳවුර මගින් මීරිගම රෝහල් පරිශ්‍රයේ ‍ඖෂධ ගබඩාවක්ද ඉදිකරණ ලදී.

මේ අයුරින් සිවිල් ජනයාට ද තම හැකියාවන්ගෙන් දායකත්වය සපයමින් රට ආරක්ෂා කරන්නට කටයුතු කරනු ලබන ගුවන් හමුදාවේ දායකත්වය හෙට දිනයේ අදට වඩා අපට අවශ්‍ය වනු ඇත.

තාරක වික්‍රමසේකර

Comments