මහලු මිනිසා සහ රොකට් මිනිසා හමුව මැයි මාසයේදී | සිළුමිණ

මහලු මිනිසා සහ රොකට් මිනිසා හමුව මැයි මාසයේදී

 උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි මාසයේදී මුණ ගැසීමට නියමිත බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. එම මාධ්‍ය වාර්තා අනුව මේ හමුව සිදුවනු ඇත්තේ දකුණු කොරියාවේදීය.

ද්වීපාර්ශ්වික සබදතා තහවුරු කර ගැනීමේ අරමුණින් යුක්තව දකුණු කොරියානු නියෝජිතයන් දෙදෙනෙකු පසුගියදා උතුරු කොරියාවේ සංචාරයක නිරත විය. එහි තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස උතුරු කොරියානු නායකයා අමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට කැමැත්ත ප්‍රකාශ කළ බව දකුණු කොරියානු නියෝජිතයෙක් ප්‍රකාශයට පත් කර සිටියේය. මේ ප්‍රකාශයට පිළිතුරු ලෙස ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ තමාද උතුරු කොරියානු නායකයා හමුවීමට කැමත්තෙන් සිටින බවයි. එමෙන්ම ඉදිරි මැයි මාසයේදී මේ හමුවීම සිදුවිය යුතු බව ජනාධිපතිවරයාගේ කැමැත්ත විය.

මේ සමග දෙරට නායකයන් අතර ඓතිහාසික හමුවක් සංවිධානය වෙමින් පවතින බව ලොවට ප්‍රකාශ වී තිබේ. දුර ඈතක නොව පසුගිය මාස කිහිපයේදී මේ රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකා හෙළා දකින ප්‍රකාශ සිදු කරමින් දෙරට අතර යුද්ධයකට මග පාදමින් සිටින බව දක්නට ලැබිණි. එම යුගයේදී නිතර මිසයිල අත්හදා බලන උතුරු කොරියානු රාජ්‍ය නායකයා ‘රොකට් මිනිසා‘ ලෙස හැඳින්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළේය. එයට පිළිතුරු ලෙස උතුරු කොරියානු නායකයා පවසා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා බොහෝ වියපත් ‘මහලු මිනිසකු‘ බවයි.

දැන් වඩා බුද්ධිමත්ව කටයුතු කරමින් මේ රොකට් මිනිසා සහ මහලු මිනිසා සාම මාවතට පිය තබා ඇති බව පෙනේ. රාජ්‍ය නායකයන්ගේ මේ තීරණවලින් දෙරටේම සාමාන්‍ය මිනිසුන් බොහෝ ප්‍රීතියට පත්වනු ඇති බව නම් සහතිකය. 

Comments