ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට රාජ්‍ය බැංකු ණය ඒකාබද්ධ කෙරේ | Page 3 | සිළුමිණ

ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට රාජ්‍ය බැංකු ණය ඒකාබද්ධ කෙරේ

විශේෂ රාජ්‍ය නිලධාරි ජාලයක්
* 25% දක්වා ණය දීම ඉහළට

රජයේ බැංකු විසින් සහන පොලී පදනම යටතේ ග්‍රාමීය මට්ටමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා දැනට ලබාදෙන සියලු ණය ක්‍රමයන් ඒකාබද්ධ කිරීමට ජාතික ආර්ථික සභාව තීරණය කර තිබේ. මේ අනුව දැනට ක්‍රියාත්මක වන සියයකට වැඩි විවිධ ණය ක්‍රම සියල්ල අන්තර්ග්‍රහණය කෙරෙන අතර, ග්‍රාමීය ජනතාවට පහසුවෙන් සහ ඍජුව අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීම මේ වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වේ. දැනට රාජ්‍ය බැංකු වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දෙන සියයට දහයක ණය ප්‍රමාණය සියයට විසිපහ දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ වෙනුවෙන් ග්‍රාම සේවා නිලධාරි මට්ටමේ සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරී සමූහයට අමතරව ගම හා රාජ්‍ය බැංකු ඍජුවම සම්බන්ධ කෙරෙන රාජ්‍ය නිලධාරී ජාලයක් ද පිහිටුවනු ලබයි.

මහජන බැංකුව ග්‍රාමීය හෝ සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් ලබා දෙන ණය වර්ග 32 කි. ලංකා බැංකුව 25 කි. උගස් හා ආයෝජන බැංකුව 10 කි. මුදල් අමාත්‍යාංශය මඟින් පමණක් ණය ක්‍රම 13 ක් ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි ණය වර්ග 14 ක් ලබා දෙයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ඉලක්කය ඇතිව හා ජනතා අභිලාෂයන් ඉටුවන අයුරින් ණය ලබාදීම මේ ඒකාබද්ධ ණය ක්‍රමය මඟින් රජය බලාපොරොත්තු වෙයි. ග්‍රාමීය මට්ටමේ ජනතා අවශ්‍යතා අනුව ණය ලබාදීමේ ප්‍රමුඛතාව ඇති කිරීම, ණය ලබා ගැනීමට ඇති බාධා ලෙස දැනෙන සුරැකුම් හා ඇප ලිහිල් කිරීම, ලබාදෙන ණය නිවැරදි ලෙස යෙදවීම අධික්ෂණය කිරීම, ඇති කරන ව්‍යවසායන් පවතින වෙළෙඳපොළට ගැළපෙන ලෙස යොමු කිරීම මේ ඒකාබද්ධ ණය ක්‍රමයට සමාන්තරව ක්‍රියාත්මක වන අනෙක් වැඩසටහන බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ‘සිළුමිණ’ ට පැවසීය.

ග්‍රාමසේවා නිලධාරි වැනි ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරි කණ්ඩායමට අමතරව මෙම වැඩසටහනට ඍජුවම ගම හා බැංකු සම්බන්ධ කෙරෙන නිලධාරි ජාලයක් අලුතින් ඇති කරන බවත් ඒ සඳහා උපාධිධාරීන් බඳවා ගෙන අවශ්‍ය පුහුණුව ලබා දී වැඩසටහනට යොමු කරන බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක එවැනි නිලධාරීන් කිහිප දෙනකු යටතේ අලුත් ව්‍යවසායක කලාප කිහිපයක් ඇති කරන බවත් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා සඳහන් කරයි.

දැනට රාජ්‍ය බැංකු වෙතින් ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබා දෙන සියයට දහයක ණය ප්‍රමාණය සියයට විසිපහ දක්වා ඉහළ දැමීමට ද තීරණය වී ඇත. ජාතික ආර්ථිකය සක්‍රීය කිරීම පිණිස ආර්ථික වර්ධන වේගය දැනෙන පිම්මකින් ඉදිරියට ගත යුතු බවට ජාතික ආර්ථික සභාවේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් උපදෙස් අනුව මෙම ඒකාබද්ධ ණය ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බව ද මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් ‍කළේය.

Comments

පිටු