
අධිරාජ්‍යවාදීනට යටත්ව සිටි අවධියේ අපේ හැකියාවන් සිතුම් පැතුම් හිමිකම් සියල්ල යටපත් වී තිබිණි; අලුත් දෙයක් සිතන්නට අලුත් මතයක් පළ කරන්නට හැකියාවක් නොතිබිණි. නෛතික අවහිරයක් නිසා නොව අපේ සමාජය ගතානුගතිකත්වයට නැඹුරු වී සිටි බැවිනි. එබඳු සමාජයක බස, රැස හා දෙස තෙරුවන සේ සලකා ඒ වෙනුවෙන් ම දිවිය කැප කළ කුමරතුඟු මුනිදසුන්ගේ අරමුණ කුමක්ද කියා නූතන පරපුරේ වැඩි දෙන නො දනිති. ඔවුන් දැනගෙන සිටිනුයේ දකුණු පළාතේ දික්වැල්ලේ උපත ලබා බසට රැසට දෙසට යම් මෙහෙයක් ඉටු කොට 1944 මාර්තු 2 දා අපට යුග නෙත පියූ උතුමකු හැටියට පමණි. එහෙත් ඊට වැඩි යමක් එතුමන් පිළිබඳ වත්මන් පරපුර දැන සිටිය යුතු යි.
යටත්විජිත යුගයේ රටට ජාතික නිදහස ඉල්ලා හඬ නැඟූ වීරයන් අතර කුමාරතුංගයෝ පතාක යෝධයෙක් වූහ. නිවට නියාළු හැඟුම් ඇතිව සිටි ජාතිය පුබුදු කරන්නට, අභිමානය වඩන්නට ඔවුන් සිය පෑන මෙහෙයැවූ සැටි බලන්න.
පෙර හෙළයෝ රණ ගොසින්
ඉපිලැ නටති මහ තොසින්
අද සීහෙළයෝ ඇසින්
තෙමෙති යුදෙකැ යන බසින්
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා
මේ විදියේ රණ ගී ලියා හෙළ හදවත් පණගන්වන ලදී. අලියා, කොටියා, වලහා, නරියා, කටුස්සා ආදී වනසතුන්ගේ, චරිත විකාශනය කරමින් එතුමන් ලියූ ‘හීන්සැරය’ පොතින් එකල පැවතුණු සමාජ අර්බුදයක තතු පැහැදිලි වන්නේ ය. “ලොක්කන් රටේ සිටි පලියට කුඩාවුන් රට හැර යන්න ද? උනුත් රටේ සිටින්නට ඕනෑ” මේ විදියේ කියමන් වලින් එතුමා ළමා සිත්වල හීන්සැරයේ අභිමානය ගොඩනඟා ඇත.
ඒ අවදියේ උගතුනට උගත්කම් තිබුණා මිස උගත්කම් සනාථ කරන්නටවත් ප්‍රදර්ශනය කරන්නටවත් අවශ්‍ය නොවීය. එකල උගතුනට උගත්කම් සනාථ වනු පිණිස තිබුණු ඉහළම සහතිකය ප්‍රාචීන පණ්ඩිත උපාධි සහතිකයයි. එය ද ලබාගැනීමේ සුදුසුකම් හා හැකිකම් තිබුණේ පැවිදි පක්ෂයට පමණි. එබඳු අවදියක කුමාරතුංගයන් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයවත් සමත්ව සිටියේ නැත. එහෙත් එතැන මහ අසිරිමත් තත්ත්වයක් විය. ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන යන විභාගවලට නිර්දේශිත ග්‍රන්ථවලට කුමාරතුංගයන් සන්න ගැටපද විවරණ ආදිය ලියා තිබිණ. එම විභාගවලට ඉගැන්වූ ගුරුභවතුන් තම ගෝළයනට ඉගැන්වීම් කරන ලද්දේ කුමාරතුංගයන් ලියූ විවරණ පොත් ඇසුරෙනි..
දැනුම තිබුණත් ඒ බව සහතිකයකින් සනාථ කිරීම කාලීන අවශ්‍යතාවක්ව තිබුණු නිසා කුමාරතුංගයන් කෙළින් ම ප්‍රාචීන අවසාන විභාගය සඳහා අයදුම්පත් යවා ඇත. එහෙත් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම යන විභාග දෙක නොසමත් නිසා ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින් කුමාරතුංගයන්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත. එතුමා තවත් විභාග අයදුම් කෙළේ නැත. එහෙත් විභාගවලට උගන්වන ගුරුවරුන්ටත් ගුරු වුණේ කුමාරතුංගයන් බව ඒ අවදියේ කවුරුත් දැන උන්හ. සුබැසියන් විසින් ‘ගුරුදෙවි’ නමින් කුමාරතුංගයන් හඳුන්වන ලද්දේ එබැවිනි. අපට පැරැණි සම්භාව්‍ය සිංහල ග්‍රන්ථ රැසක් ඇත. ඒවා තේරුම් ගැනීම පහසු වීමට පසු කාලවල විසූ වියතුන් විසින්, තේරුම්, සන්න ගැටපද ආදිය ලියා ඇත. ඔවුන් පාලි සංස්කෘත භාෂාවනට කොයිතරම් ගැතිවී ඇද්ද කියා කියතොත් අරුත් පැහැදිලි කිරීම සඳහා ලියන ලද සන්නය තේරුම් ගැනීම අර මුල් කෘතිය තේරුම් ගැනීමට වඩා අසීරු විය. ඇයි? ඔවුන් විසින් ලියන ලද සන්නයේ වැඩිපුර යෙදුණේ පාලි හා සංස්කෘත වචන වීමයි.මෙ වැනි විකාර සන්න ගැටපද අටුවා ආදිය ලියන පඬිවරුන් දෙස උපහාසාත්මකව බලමින් කුමාරතුංගයෝ, ඕනෑම කෙනෙකුට තනිවම කියවා තේරුම් ගත හැකි ආකාරයට ‘විවරණ පොත්’ ලියූහ. ඒ විවරණ පොත් ඊට පෙර කිසිම පඬිවරයකු විසින් ලියා නැත. පොතේ අරුත් ගැටපද වියරණ රීති පරිකථා ආදී සියලු කරුණු පමණක් නොව වැරැදි දෝෂ ආදිය වී නම් ඒවා ද පහදා දෙන ලදී. පැරැණි ග්‍රන්ථ රාශියක් තරුණ පරපුරට තනිවම කියවා තේරුම් ගත හැකි පරිදි විවරණ පොත් රැසක් ලියා ඇත.
කුස ජාතක විවරණය, මුව දෙව්දා විවරණය, ගිරා සංදේශ විවරණය ආදී කොට ඇති විවරණ පොත් රැසක් ද ව්‍යාකරණය නිවැරැදි ව ඉගැන්වීම සඳහා ව්‍යාකරණ විවරණය ක්‍රියා විවරණය ආදී ග්‍රන්ථ රැසක් එතුමන් අතින් නිර්මාණය විය. එකල වැජැඹුණු මහ වියතුන්ගේ මති මතාන්තර, ඉගැන්වීම් හා භාෂා ප්‍රයෝග ආදිය විමර්ශනය කරමින් ස්වාධීන මත පළ කරන්නට නොබියව ඉදිරිපත් වුණේ තමා වෙත පැවැති විශාරදකම නිසයි.
සාහිත්‍යය හා භාෂාව ඉගෙනීමේදී විවේචනය හා විමර්ශනය පුරුදු වූයේ කුමාරතුංගයන්ගෙනි. පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ එතුමන් අතින් විමර්ශනය කැරෙන විට එකල විසූ සාම්ප්‍රදායික උගතුන් කල්පනා කෙළේ ඒක මහා පාපයක් හැටියටයි. එතුමන් විමසුම හා විවිසුම කළේ ඇත්ත යුක්ත පහදා දීමටයි. මේ කරුණ කුමාරතුංගයන්ගේම පැදියකින් මෙසේ විස්තර වේ.
විමසුවයි කෙනෙක් යා නම් නර කාදී
මට සුවයි එහි මැ යනු වෙනතක නෑදී
ඉවසුවයි බොරුව සග යා නම් ඈදී
සුදුසුවයි රැඳෙනු මෙහි ඔහු එහි යාදී
යමක් විමර්ශනය කිරීම පවක් නම් එපවින් නරකාදියට යනවා නම් මට ඒ නරකාදිය සැපයි. බොරුව ඉවසා සිටීමෙන් දෙව් ලොවට යනවා නම් ඔවුන් එහි ගියාවේ. මට මෙහි රැඳී සිටීම සුවයක්. එකලැ වියතුන් සංස්කෘත පාලි යන භාෂාවන් මුල්තැනට ගෙන සිංහලයට මදි පුංචිකම් කරන බවක් කුමාරතුංගයනට වැටැහී තිබිණි. තොටගමුවේ සිරි රහල් හිමියන් පිළිබඳ ගෞරවාන්විතව සිටි එතුමා හැමදේට ම පාලි සංස්කෘත භාෂාවලින් නිදර්ශන උපදේශ සොයන අයට උපහාස පිණිස යම් යම් අදහස් පළ කරමින්,
“හැම එකට ම පාලි සංස්කෘත භාෂා ප්‍රයෝග අපත් අනුකරණය කරතොත් තොටගමුවේ සිරිරහල් හිමියනට හිමිවන්නේ කවි නාමය නොවේ” යි පළ කළේ ය.
සංස්කෘත භාෂාවේ ඇති ශ්ලෝකයක් සලකා බලමු.
“කවිරනුහරතිඡායා මර්ථං කුකවිඃ පදං චෝරඃ”
කවියා අන්‍ය නිර්මාණයක ඡායාව අනුගමනය කරයි. අන්‍ය නිර්මාණයක අර්ථය ගතහොත් හේ කුකවියෙකි. අන්‍ය නිර්මාණයක පද ඒ සැටියෙන් ම ගතහොත් හේ සොරෙකි.”
එම අදහස් ගරු කරනවා නම් රාහුල හිමි ‘කුකවි’ ගණයට වැටෙන බව පළ කරන ලදී. එම කරුණ මුල්කොට මේ රටේ වියතුන් අතර ශාස්ත්‍රීය වාදයක් ඇති විය. කුමාරතුංගයන් තම මතය සනාථ කිරීම සඳහා ශාකුන්තලය, රඝුවංශ, මේඝදූත ආදී ග්‍රන්ථවලින් පවා නිදසුන් දක්වා ඇත. එම ශාස්ත්‍රීය වාදය පිළිබඳ කරුණු වාර්තා කොට ‘කුකවි වාදය’ නමින් පොතක් පළ කොට ඇත.
සිංහලය රජයේ බස වී ඇතැයි සැලකෙන මේ යුගයේ බසේ දියුණුවක් වී ඇතැයි මටත් ඔබටත් සිතෙනු ඇති. එහෙත් නොනිසි වහරින් හා ඉංගිරිසියට ගැතිවීමෙන් අද මේ රටේ ඉංගිරිසිත් නොවන සිංහලත් නොවන අච්චාරු භාෂාවක් නිර්මාණය වී ඇත.
කුමරතුඟුවෝ මෙබඳු යුගයක මේ රටේ ජීවමානව සිටිය යුතු විශාරදයාණෝ ය. එහෙත් අපේ අවාසනාවට රටට නිදහස ලැබෙන්නටත් පෙරාතුව එතුමෝ අපට යුගනෙත් පියූහ.