කවි කල්පනා | Page 4 | සිළුමිණ

කවි කල්පනා

සාකල්‍යා

තරු වලා­කුළු අස්සේ
හැංගි­මු­ත්තන් කරන
මහ රෑක නංගිලා
දෙන්නා මැද්දේ ඉඳ
ඒ තාරකා ගැන - පුංචි කවි කිය­න්නට

අනෝරා වැහි­දාක
ඉස්කෝෙල කියා ඉඳ
බෝනික්කෝ සිප් - පුරන
හරි ­පු­දුම ඉස්කෝලේ
අම්මාගේ සාරි ඇද
පුංචි ටීචර් වෙන්න
දූවේ නුඹ හිටිය නම්...

කරල් දෙක­කට කොණ්ඩෙ බැඳන්
සුදු ගවුම ඇඳ
ඉස්කෝලේ ගොස් එන්න
ඉර ගිලුණු කළු­ව­රක -
හෙම්බත්ව ගෙදර එන
තාත්තාගේ පෙර­ම­ඟට -
තරු දෑස් දල්වන්න
ඇඟ වටේ දැව­ටෙන්න
ගෙයි පුරා ඉගි­ළෙන්න
උණු­හු­මට ගුළි වෙලා
පපුව උඩ නිදි­යන්න
දුවේ නුඹ හිටිය නම්...

ගෙයි සාලෙ මැද්දෑවේ
හුර­ත‍ලෙන් හිනා­වෙන
දෑස් දල්වා බලා
මොකුත් නොකියා ඉන්න
පින්තූ­ර­යක් නොවී
අනේ නුඹ හිටිය නම්

මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි


සිනා සෙන සඳ

සඳ සිනා සෙනවා
ඈත අහසේ සිට
ඔච්ච­මට
මුවා වන්නට කෙසේ වත් බැහැ
වලා­කුළු නැති අහස් කුස
තරුත් සැඟ­විලා ගොස්
අනේ මන්දා මොක ද මේ...

“කාට බොරු කළත් ඔබ
මා රැව­ටිය හැකි ද
ඔහුට පෑ සෙනෙ­හස
ඔබ හද වසා­ගෙන
කිමද නොකියා ඉන්නෙ?”

ආද­රය හද තුළ ම තිවුණ-දෙන්
මම වසා­ග­නිමි සිත තුළ ම
කවදා වත් නොනැ­සෙන සේ ම
සඳ සිනා නොසෙනු මා හට
ඔබට බැහැ මා රිද­වන්න

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


අව­සාන කැමැත්ත.....

එක­මෙක වරක් පිරි­මැද
හද­වතේ හරි­යට ම හරි මැද
ඇත්තට ම කියන්න හරිද....

ඔබ මිය යන්නට මත්තෙන්
මේ ගැන පොඩ්ඩක් සිතන්න..
ජීවත් වී සිටින විටදි හද­වත
අත ගා බලන්න....

සුළැ­ඟි­ල්ලට රිඳු­මක් වෙන
බව දැනු­නොත් මට කියන්න..
වෙදැ­ගි­ල්ලට මුදු පළ­දන
අද­හස් නොව මට තියෙන්නෙ..

හැම­ගි­ල්ලම මගේ කියන
සෙනෙ­හස ඇත නිතර රැඳුණ
ඒ ගැන තව­මත් නොදන්න
ප්‍රේමය නුඹ කොහොම දන්නෙ?..

අසේල ජය­කොඩි කිතුල්ගොඩ
 


පව­නක වේගය පියඹා

තුඩු අග පර­ඬැල් දවටා
එකි­නෙක අමුණා පටලා
කැදැල්ල ඉදි කරන තොසා...

නෑ සන්සුන් නෑ ඉව­සුම්
පර­ඬැල් එකි­නෙක ගිලි­හෙත්
ආයෙ අමු­ණ­මින් වෙහෙ­සින්
කැදැල්ල ඉදි වෙයි තාමත්....

කල­බල වූයේ කිම්දා
කල­ව­ය­සත් මදි හන්දා
කූඩු වෙන්න සිතු හින්දා
ඉව­සුම් නැති වුණෙ මන්දා...

කැදැලි හදන වය­සක් නොව
සොඳුරු ළමා කාලය වග
සිතන්න බැරි වුණු නිසා ද
කැඩුණෙ අත­ර­මඟ කූඩුව...

දේවි ජය­ව­ර්ධන


කඩු­පුල් මල

හිරුට හොරෙන් රෑ මැදි­යම
පිපි කඩු­පුල් මල
පිනි වැස්සේ සිහි­ලැල් සුව
ලද කඩු­පුල් මල
බඹර පහස නොවිඳ පරව
ගිය කඩු­පුල් මල

ප්‍රේම­සිරි කාරි­ය­ව­සම්


 ජගත්...

මචං ජගත්
තරහ වෙන්නෙපා කිව්වට
උඹ හරිම ආත්මා­ර්ථ­කාමී
තනි­යම ගියා නේද
ගමගේ මහ­ත්තය හමු­වෙන්න...
සීත ඇන්ටිගෙ තේක බොන්න....

හරි ඉතිං කිය­පන්කො
කොහො­මද දැන් මනු­ස්සය
පහන් වැටක් හදා­ගෙන
ඉස්සර වගේ දුහු­නන්ට
නැගි­ටින්න වාරුව දෙනව ඇති....
සීත ඇන්ටි යම­රෙට තේ කෝපි හද­න­වැති....

මතක් කළ බව කිය­පන්
සිරස නමා බැති සිතින්
උඹට තව ම කියන්න බැරි වෙන්න ඇති
අපි තාමත් විඳින වග
අම්මා­ව­රුනේ.. සුළං කුරුල්ලෝ..

මෙහෙ ඉන්න­කොට උඹ
කාට­වත් පන්දං ඇල්ලුවෙ නැති බව ඇත්තයි
ඒත් ගමගේ මහ­ත්තය එක්ක
පහන් වැට දල්වන්න බැරි­ක­මක් නෑනේ...

කියල දීපන් උන්නැහේ එක්ක ඔහෙ උන්ට
අපූ­රු­වට කවි ලියන විදිය
උඹේ වට­කුරු අකු­රු­ව­ලට
අර අපූරු සිතු­ව­ම්ව­ලට
උන් මවිත වේවි - වශී වේවි...

ගමගේ මහ­ත්ත­යට කිය­පන්
අපිත් එනව කියල දව­සක
එත­කොට අපිට පුළු­වන් හදන්න
මෙහෙ වගේම පහන් වැටක්....

ගාමිණී අබේ­වි­ක්‍රම


සපි­රෙයි විය 94

ඉගිල්ලී මාස දින මිනි­ත්තුයි තත්ප­රයි
ආයෙ­මත් එළැ­ඹුණේ ජන­වාරි විසි දෙකයි
අනූ­හ­ත­රක් වසර මගේ දිවි­යට පිරෙයි
සිත මගේ මට ම සුබ උප­න්දි­න­යක් පතයි

මිහිරි අමි­හිරි කියා සිදු වීම් වෙන් නොකර
බාර ගෙන වැඩ ගතිමි ඒ සිය­ල්ලෙන් නිතර
තාරකා අල්ලන්ට නෙ‍ාපැ­තීමි පොළොව හැර
රහස ඒ තමා දිවි­ම­ඟෙහි ආ මෙතෙක් දුර

දන්න කාලෙහි පටන් ජීවිතේ ගෙවු දවස්
නෑ අපතෙ යැවූයේ නොපැ­තු­වත් තුති පසස්
දකිනු හැකි නම් හෙටක් නොකර සර­සවි දුරස්
ලියන මම වෙමි පර්නන්දු වෙන්න­ප්පුවෙ පයස්

වෙන්න­ප්පුවේ පයස් ප්‍රනාන්දු


ඔබ

උල්කා­පා­ත­යක්
මෙන්

 ඔබ උල්කා­පා­ත­යක් මෙන්
අහඹු ලෙස කඩා වැදී
මහදේ
සියුම් ම තැන ස්පර්ශ කොට
එය විනාශ කර
සදා­ත­නික අාගා­ධ­යක්
මහදේ
ඉතිරි කර ගිය හැටි!

ගංගා වරු­ෂ­වි­තාන


අප­රා­ජිත

මට අහිමි වී
ඔහු සතු වූ
නුඹ ආයෙ­මත් ඇවි­දින්
සිප­ග­ත්තත් මා මුව
එකම එක වරක් වත්
සිප­ගන්නේ නැහැ
නුඹව මං
නොඉ­ඳුල් නිසා නොව මා
අන් සතු නිසා නුඹ

ජෝජ් රොබ්සන් ද සිල්වා


නොඑන් මේ මනු­ලො­වට....

සසර ඉම කෙළ­ව­රක මත­ක­යන් අතු­රලා
අතර මඟ නුඹෙ සුසුම නොදැ­නීම නැව­තිලා
දෙව් ලොවින් බැස ඇවි­ත් අ­පට කඳු­ළක් වෙලා
පෙනී නොපෙනී ගියා අපේ හිත් රව­ටලා

පින් ගන්න පින් දෙන්නමේ ලොවට එන්නැති
පස් බැලුම් බල­න්නට අම­ත­කව යන්නැති
මනු­ලොවේ කුරිරු බව පුංචි හිත දන්නැති
යළිත් ආපහු ගියේ ඒ හින්දා වෙන්නැති

සසර මඟ බිය­ක­රුයි නැහැ නිමක් කෙළ­ව­රක්
දුක සම­ඟ­මයි දිවිය නොමැත ඒකෙන් තොරක්
දෙව් ලොවේ උපත ගෙන පින් ලබා කප්ප­රක්
නොඑන් මේ මනු­ලො­වට යළිත් ආයෙම වරක්

සුබෝධා ගමගේ


වීදුරු බඳුන

මගේ ජීවි­තය
මෝස්තර රටා
කැට­යම් සහිත
දම්පාට වීදුරු බඳු­නක් ව
ඔබේ අතින්
සිමෙන්ති ‍පොළොව මත
බිම වැටෙ­න්නට
සැලැ­ස්සුවේ කවුද?
සොයා යමි මම තව ම...

කේ.පී.ඩබ්. ප්‍රියන්ත ජය­ලත්


දෙවියෝ

තිස්තුන් කෝටි­යක් දෙවියො නමින් නොහ­ඳු­නන
බහු­ත­ර­යක් තමන්ගෙ යැයි විම­නක් නොම වන
මයුර ගුරුලු වෘෂභ යාන-වාහන නොලැ­බුණ
කෙම්මු­රදා වත් පහ­නක එළි­යක් නොද­කින

අගිල් කපුරු දුම් සුසු­වඳ සද­හට මියැ­දුණ
ගල් කොරි­යට ලී මෝලට සින්න­ක්කර වුණ
බුල්ඩෝ­සර යක්කු නටන සංහිඳ තිබු තැන
අත­හැර නොතැ­නක ගියෙ­දැයි සංකා­වක් වන

අහ­සින් යනු පොළො­වෙන් යනු දුටු­වෙක් නැති­යෙන
හැංගි හොරා වෙස් බැන්දත් කිසි­වෙක් නොසො­යන
ගැත්තන් වපු­රන පින්කෙත අස්වනු මැන ගුණ
ඉහ­ළට ඉහ­ළට චුත වී කෙමෙන් දුරස් වුණ

නැතක් කන්න­ලව් යාදිනි යවු­ලැයි තැති­ගෙන
ලිඛි­තව යැව්වත් තුන්දා නීතිය නොත­කන
එක-එක හැන්දෙන් නෙක-නෙක තාලෙට බෙද­මින
සුද්දන් ආපසු ගිය වග දැනෙන්න නොහ­රින

විනි­විද උප­නෙත දිවැ­සින් ලිපි­ගොනු පීරන
එරෙ­හිව එන්නන් පෑනෙන් ගිනි බිඳ මැඬ ලන
මහ දෙයි­යන් වඩිනා තැන පෙර­හර කර­වන
වීදුරු කුටි­වල දිසෙ­නුයෙ ඔබ ම ද වෙස් ගෙන

රංජිත් මල්ලි­යා­වඩු


විරු දිය­ණිය

කත­රක දිවිය ගෙව­මින් නෙත නිදි නැතුව
තර­ණය කරයි දිවි­මඟ සිත දිරි ඇතුව
රණ විරු දිය­ණි­යකි එඩි­බල ඇය සතුව
කය රුව වින්ද දුක මැද හස එයි මතුව

සර­සවි වරම් හිමි වූවත් දිළිඳු බැවින්
රස විඳි දිනක් නැහැ පෙර බව කරපු පවන්
සවි බල නොමැති පිය­තුම සොව නඟයි මුවින්
විඳ­ලයි ගින්න දුක දැඩි වෙයි මවගෙ රුවින්

මහ­මෙර උසට දිවියේ බර පොදි ඉසිලූ
හද මත ඇගේ තෙර­පෙයි බව­යක කඳු­ලුළු
මෙම වද වින්ද මුත් රුව සඳ ලෙස ඔබගු
රත­දර තුළින් මතු­වෙයි හස කැන් පබළු

භානු නිසං­සලා


නූතන වන්ද­නාව

ගෙදර ගහේ මල් තිබු­දෙන් - මල් ටික ගමු සල්ලි­ව­ලට
බත් බඳින්න පිස්සු ඇතැයි - දවල්ට යමු හෝට­ලේට
පින් කරන්න වෙලා තියෙයි - ගහමු සෙල්පි ඉක්ම­නින්ම
වඳින්න කොයි වෙලේ බැරියැ - ඉක්මන් කර බහිමු වැවට

ඩඩ්ලි ගෝමස්


නව­තින්න

සල් ගසට
වඩා උස
සල් මල
එත­රම් ම
සුවඳ යි
නොබිඳි
ආදරේ
පහස...

වේනුක භාරත ධර්ම­රත්න


තාත්තා

ගිලන් වූ දා
ඉස්පි­රි­තා­ල­යක්
ඉස්පි­රි­තා­ල­යක් ගානේ
සුව වෙන තෙක්
අප අරන් දිව්...

අකුරු කළ දා
ඉස්කෝ­ල­යක්
ඉස්කෝ­ල­යක් ගානේ
හති වැටෙන තෙක්
අප අරන් ගිය තාත්තා...

කය වැහැ­රුණ දා
කූඩු­වට වී
කුරුලු පැටව් එයි කියා
පෙර මඟ සිටී...

මාලනී. සී. වන්නි­සේ­කර
 


සුපෙම් පැතුම්

කෙත පාගා බැත ඉහලා
ගෙට ආ කල වෙහෙස වෙලා
සුමුදු මුහුණ සුදු මැණි­කෙගෙ
උදුර ගනී මගෙ විඩාව

නියර දිගේ කම­තට එන
මගෙ මැණි­කෙගෙ මල් චීත්තෙ
මල් වාගේ හිතේ කුසුම්
පූදි­නවා නොදැනී මට

බංඩි ගොයම කිරි වැදිලා
නැමී සැලෙයි මද සුළ­ඟට
ඇගෙ වර­ලස දිගට දිගේ
මගේ හිතත් බරට බරේ

බක් ම‍ාසේ අස්වැ­න්නට
එක් වන්නට තවත් කෙනෙක්
මුතු මැණිකේ කීව රහස
සැබෑ කළේ මගේ සතුට

කැකුළු හඬක් වස­න්ත­යට
මගේ පැලෙන් නගින කලට
සෙනෙ­හස යනු ඇත ගලාන
සුපැ­තුම් සරු කෙත අත­රින

සරත් කුමාර වික්‍ර­මගේ


 එතෙර කවිය   

ගුප්ත ළඳ Mystic Lady

සොයමි මම ආද­රය
හමු වේ මගෙ ආත්මය, ඔබ වෙතින්
මගේ ආද­රිය, මා පරි­පූර්ණ ය
අප බඳ­වන ගුප්ත ආද­රය
සිහි කරයි මට දිව්‍ය­ත්වය...

හමු වේ මට ඔබ හද තුළ
ආද­රය, නොමැති මා හද තුළ
ඔබ පහස, ඔබ සුවඳ
දොරටු හරියි දිව්‍ය­මය විව­ර­ය­කට...

වට­හා­ග­නිමි ඔබ­ගෙන්
මා වෙත නොමැති දෙය
මා උප­යා­ගත යුතු දෙය...

ගිල්වා­ගෙන මා, ඔබ අත් යුග්මය තුළ
පුදන විට ආද­රය
දැනෙ­නුයේ වසි­නවා මෙනි මධු වැසි අහ­සින්...

ඔබ හදැති ප්‍රභාවේ හා ලිලැක් මල්වල අඩුව
පානු ඇත මා හද රසය වුව...
කෙත­රම් මවි­ත­කර ද
නොබැඳ තබා­ගෙන
නිද­හස් කරන කල මා
ඔබේ ආද­රය
කවු­රුන් ද ඔබ, ගුප්ත ළඳුනි
සුභ­ග­වත් බව ඔබේ මසි­තට ඔබ්බෙනි...

සිද්ධාර්ත් ආනන්ද්
ඉන්දි­යාව


මෙකව කිය­වන කල, එහි කථ­කයා ආද­ර­යෙන් උම­තුව ඇතැයි රසි­ක­ය­කුට හැඟෙ­න්නට පිළි­වන. එය බොළඳ වෙතැයි සිතෙ­න්න­ටද පිළි­වන. එය සාධා­ර­ණය මන්ද කථ­කයා තම ආද­රිය හා ඇය­ගෙන් ලබන ඉම­හත් ආද­රය මහත් අභි­රු­චි­යෙන් හා අති­ශ­යෝ­ක්ති­යෙන් වර්ණනා කරන බැවිනි. ඔහු, ඇය අමුතු, ආශ්ච­ර්ය­වත් ළඳක් සේ හඟින බවක් ගම්‍ය වේ. තමන් සතු නොවන බොහෝ ගුණංග ඇය සතු බවත්, ඇය සමඟ සිටින කල තමන් බොහෝ දේ අත්පත් කර­ගන්නා බවත් ඔහු පව­සයි. මෙහිදී වැද­ගත් කරුණ වන්නේ කථ­කයා ආත්මා­ර්ථ­කාමි නොවී, ආද­රි­යගේ ගුණ වැනී­මට හා ඇය දෙස ගෞර­ව­යෙන් බල­න්නට නිර්ලෝභි වීම යි.
පද්‍යයේ රච­කයා ඉන්දි­යාවේ සිද්ධාර්ත් ආනන්ද් ය. දිල්ලි විශ්ව­වි­ද්‍යා­ල­යෙන් උප­ධි­යක් ලබා ඇති සිද්ධාර්ත්, විවිධ වන උන­න්දුන් හා විනෝ­දාං­ශ­යන් සහිත කෙනෙකි. පද්‍ය නිර්මාණ150ක කෘති­යක් පළ කර ඇති ඔහු චිත්‍ර ශිල්පි­යෙක් ද වෙයි. ඔහුගේ අමූර්ත කලා නිර්මාණ (Abstract Arts) සිය වෙබ් අඩ­වි­යෙන් දැකිය හැකි බව ඔහු කියයි. නිරූ­පණ ශිල්පි­යකු මෙන්ම කට­හඬ හා උච්චා­රණ උප­දේ­ශ­ක­යකු ලෙස ද කට­යුතු කරන සිද්ධාර්ත් සංගීත වීඩි­යෝ­වක් ද නිකුත් කර තිබේ.

- දේ.වි. ගාල්ලගේ 

Comments