දූෂණ මර්දනයෙන් ශ්‍රී ලංකාව ඉහළට | Page 2 | සිළුමිණ

දූෂණ මර්දනයෙන් ශ්‍රී ලංකාව ඉහළට

දූෂණ මර්දනය අතින් ශ්‍රී ලංකාව 2016 වසරට වඩා යහපත් මට්ටමක් පසුගිය වසරේ ලබාගෙන ඇති බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දෙයි. ඔවුන් එසේ පවසන්නේ ගිය බදාදා එළි දැක්වූ 2017 දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් ලබා ඇති ලකුණු සංඛ්‍යාවන්ට අනුවය.

එම දර්ශකයට මේ වසරේ රටවල් 183ක් ඇතුළත් වී ඇති අතර ඉන් ලකුණු 38ක් ලබා ගනිමින් 91 වැනි ස්ථානයේ පිහිටීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ලකුණු 89ක් ලබාගත් නවසීලන්තය පළමු ස්ථානයටද, ලකුණු 9ක් ලබා ගත් සෝමාලියාව අවසන් ස්ථානයටද පත්ව ඇත.

ශ්‍රී ලංකාව සමඟ සම ලකුණු ලබා සම ස්ථානයේ පසු වන්නේ ඇල්බේනියාව, බොස්නියාව, ටිමෝරය සහ ගයානාවයි. අසල්වැසි ඉන්දියාව දූෂණ මර්දනය අතින් ශ්‍රී ලංකාවට වඩා ලකුණු දෙකක් ලබා ඉදිරියෙන් සිටින අතර එය ලබා ඇති ස්ථානය 81වේ.

වසර 2016 සමඟ සසඳන කල ඉන්දියාව එකම ලකුණු සංඛ්‍යාවක් ලබමින් මේ වසරේද සිය ස්ථානය රැක ගැනීමට සමත් වී ඇති අතර ශ්‍රී ලංකාව ලකුණු 36ක් ලබාගෙන හිමි කර ගෙන සිටි 95 වැනි ස්ථානයෙන් පියවර හතරක් ඉහළට ගොස් 91 වැනි ස්ථානයට ළඟා වීම විශේෂත්වයක් බවද ට්‍රාන්ස්පේරන්සි ආයතනය පෙන්වා දෙයි.

දර්ශකයේ රටවල් 180ක් ලබාගත් ලකුණුවල සාමාන්‍යය 43ක් වන අතර රටවල් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම ලකුණු 50ට අඩුවෙන් ලබා තිබීම සුවිශේෂ කරුණක් බවද ආයතනය අවධාරණය කරයි. දූෂණ මැඬලීම අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂව යම් ප්‍රගතියක් ළං කරගෙන තිබුණද එම ක්ෂේත්‍රයේ ඉදිරියට යා යුතු දුර බොහෝ බවද මෙම දර්ශකයේ ලකුණු අනුව දැක්විය හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් පෙන්වා දෙයි. 

Comments