ධම්මික පින් වත | Page 4 | සිළුමිණ

ධම්මික පින් වත

මනුෂ්‍යයා මිය ගිය පසු ඉපදෙන ස්ථාන හයක් පිළිබඳව බුදු සමයෙහි කියවෙයි. එනම් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය සහ නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායයි. දිව්‍ය, මනුෂ්‍ය ලෝකයන්හි උපත ලබන්නට අවශ්‍ය වන මූලික ම සාධකය පින නම් වෙයි. පව සතර අපායෙහි උපතට අදාළ වෙ යි. ඒ අනුව මනුෂ්‍ය භවය පෙර පින් මහිමයේ ඵලයකි. “පුබ්බේත කත පුඤ්ඤතා’ යනුවෙන් මංගල සූත්‍රයෙහි පෙර කළ පින ද මනුෂ්‍ය දිවියට මංගල්‍යයකි. “පුඤ්ඤානි ‍පර ලෝකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං” යන පාඨයෙන් කියවේනනේ පරලොවට උපකාරී වන එකම දෙය කළ පින් බවයි. විශේෂයෙන් සැපවත් දිවියක් උදෙසා පෙර පින් අත්‍යවශ්‍ය මූලික සාධකයකි.

පින මූලික වන ක්‍රියාවන් ආගමික අර්ථ ඉක්මවා සදාචාරාත්මක අගයන් ද මත පිහිටයි. පරලොව අමතක කොට හෝ මෙලොව නිවැරදිව ජීවත් වීමට උත්සුක වීම පුණ්‍යවන්ත දිවියකි. පුණ්‍යවන්ත මිනිසුන්ගෙන් පිරි සමාජය වාසනාවන්තය.

නූතනයේ පුණ්‍යවන්ත බව නොතකා හැරීම නිසා මිනිසුන් දූෂිතව හැසිරෙන අයුරු පෙනේ. තරගකාරීත්වය, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථය, අත්තුක්කංසන, පරවම්භන හැසිරීම් රටාවන් හේතුවෙන් පින් කිරීම අමතකව ගිය සමාජයක් දැකිය හැකිය. එසේම ඇත­ැමෙකු මුදලට පින් කරන, කීර්තියට හා වැජඹීම උදෙසා පින් කරන ස්වභාවයක් ද දැකිය හැකිය. බෞද්ධ සමාජයේ දාන, ශිල, භාවනා යනුවෙන් ඉගැන්වෙන පින්කම් නිතර නිතර සිදු වන්නේ නම් එයින් සමාජ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිද?

මෙම “පින්” සංකල්පය ධර්මසේන හිමියන් දඹදෙණි සමාජයට ගළපන්නට ගත් උත්සාහයක් ලෙසින් ධම්මික උපාසක වත දැකිය හැකි වෙයි. පින හඳුනා නොගත් සමාජයකට පිනේ මහිමය නොකියා එය අපූර්ව කථා වස්තුවක් මඟින් සමාජගත කිරීම වැදගත් වනු ඇතැයි කතුවරයාණන් සිතන්නට ඇත. එබැවින් “කුසල්හි හැසිරෙන්නවුන්ට එහි අනුසස් දක්වන්නමෝ ධම්මික උපාසකයන්ගේ වස්තුව කියමු” යනුවෙන් කතුවරයා කතාව අරඹා තිබෙයි. එයට කතුවරයා යොදන මාහැඟි උපමාව වන්නේ “මහ අවුවේ ගමන් ගොසින් විඩා වූවන්ට පිපාසා නිවා වත් කරන පැනක් මෙන්” යන්නයි. උපමාවෙන් මතු කෙරෙන සුවය සැබවින් ම කතා වස්තුව පරිශීලනය කරන්නාට ලැබෙයි.

ධම්මික උපාසක තුමන් දෙලක්ෂ පනස් දහසක් උපාසකවරුනට ප්‍රධාන වෙයි. එයින් කියවෙන්නේ උපාසක රාජයෙකු බවයි. නැතහොත් උපාසක රත්නයක බවයි. සියල්ලන් හටම පින් කරන්නට මග කියන්නේ ධම්මික උපාසක තුමන්ය. ඔහුට දරුවෝ ද තුදුසකි. එනම් පුතුන් හා දූන් සත්දෙනා බැගිනි. සඳුන් ගසින් බට අරටුවලත් එබඳුම යහපත ඇත්තා සේ දරුවන් සියලු දෙනා ම උපාසක දිවි ගෙවූ බව කියූ කතුවරයාගේ උපමාව ගැළපේ. එමෙන් ම රසබිම්හි හටගත් ගසෙක බොහෝ සේ පලදාත් රසවන්නා සේ යහපත් දරු පිරිසක් ම බව කතුවරයා කියයි. මේ අතරෙහි ධම්මික උපාසකතුමන් රෝගාතුර වෙයි. එය නිකලැල් ගසකත් පිළිල හට ගන්නා සේය. මරණයේ අඳුරට ආසන්න වූ ධම්මික උපාසකතුමන් බණ ඇසීමෙහි ඇල්මක් ඇතිව ඒ බව දරුවන්ට කියා වහන්සේලා අටනමක් වැඩම වූහ. උපාසකතුමන්ගේම ඇරයුමෙන් සතර සතිපට්ඨාන සූත්‍රය උන්වහන්සේලා විසින් දේශනා කෙරිණි.

එවේලෙහි සදෙව්ලොවින් සපැමිණි දිව්‍ය යානා සියක් අවුත් අහස සිටියේ ය. දෙවියෝ මෙසේ කීහ. “නිදුකාණෙනි, මැටි වළඳක් බිඳ රන්වළඳක් ලබන්නා සේ අප අපගේ දිව්‍ය ලෝකවල සම්පත් විදිනට අප අප ගෙනා රථවල උපන මැනවැයි වෙන වෙන ම කීය. දෙවියන්ගේ ඇරයුමට කතුවරයා එක් කළ උපමාව අනිත්‍යයේ පිළිබිඹුවයි. එනම් වළඳකි. “කුම්භූපමං කායමිමං විදිත්වා” යනුවෙන් සිරුර මැටි කළයකට උපමා වෙයි. ඒ එය බි‍ඳෙන නිසාය.

කතාවේ රසවත් ම අවස්ථාව උපාසක තුමන් දෙවියන්ට තව ඉවසනු මැන, තව ඉවසනු මැන යනුවෙන් කළ ප්‍රකාශයයි. මෙය පිරිත් නවතන්නට කළ සංඥාවකැයි සිතූ වහන්ද වෙහෙරට ගියහ. උපාසක තුමන් මරණයට පත්වෙති’ යි සිතූ දරුවෝ පිය විප්පයෝග දුක්ඛයෙන් හඬන්නට වූහ. සිහිනුවණ ලද උපාසක තුමන් දෑස් ඇර කුමක් නිසා හඬන්නේ දැයි විමසීය. මරණ භයින් පිරිත නතර කිරීමට අණ කළ හෙයින් හැඬූ බව කීහ. එවිට උපාසක තුමන් කියා සිටියේ “දේවතාවෝ සදෙව්ලොවින් එම දෙව් ලෝ ළං කොට ගෙනාවා සේ රථ හයක් සරහා ගෙනවුත් අහස රඳවාලා තම තමන්ගේ දෙව්ලොවට යන්ට හඬගාති. බණ අසාපියන තෙක් තව ඉවසා පියව’යි කීයේ මා උන්ටය’ යි කීය. එවිට දරුවන් කියා සිටින්නේ රථ ඇත්නම් මුඹ වහන්සේට ම පෙනී ගිය නියා ද? අපට නොපෙනෙන්නේය කීය.

මෙම අවස්ථාව කතුවරයා පැහැදිලි කරන්නේ උපාසක තුමාගේ ගති නිමිත්ත ලෙසිනි. එනම් මරණින් මතු උපදින ස්ථානය පිළිබඳ සලකුණයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව නාට්‍යෝචිතය. සිතුවම් මැවෙයි. ගුත්තිල කවියා ගුත්තිල ඇදුරිඳු රැගෙන යන්නට සක් දෙවිඳුන් එවූ වෛජයන්ත රථය පැමිණි අවස්ථාව නිරූපණය කළේ ද නාට්‍යෝචිත අවස්ථාවක් පරිද්දෙනි. ජනයා විමතියෙන් පළ කළ අදහස් අද වුව එවන් අවස්ථාවක ඇති විය තත්ත්වයකි. මේ දරුවන් ද විමති වෙයි. තමා නොදුටු පියාණන් දුටු දිව්‍ය වාහන කවරේද? ඒවා දකින්නට ඇත්නම් කෙතරම් අගනේද යනාදී වශයෙනි.

උපාසකතුමන් දරුවන්ගෙන් විමසන්නේ තමා සදෙව්ලොවින් කවර දෙව්ලොවකට යාම උචිත යන්නය. තුදුසක් දරුවන් වට කරගත් යහනක සිටි වෘද්ධ පියා එසේ පවසද්දී දරුවන් එක් පසෙක් වියෝ දුකෙන් තැවෙද්දී අනෙක් පසින් සදෙව්ලොවට රැගෙන යෑමට දෙවියන් පැමිණීමේ ප්‍රහර්ෂයෙන් ද ඔවුහු‍ පෙළෙති. දරුවන් තෝරා දෙන්නේ තුසිත දෙව්ලොවයි. ඒ මහාමායා දෙවඟන ද වසන තැනය. බෝසතුන් ද සිටි තැනය. මල්දමක් අහසට දමන්නැයි පියා ඉල්ලා සිටියේ ය. මල්මාලය අහසට දමා සියල්ලෝ ම අහස් කුසට දෑස් යොමු කළහ. මල්දාමය අහසේ රැඳිණි. එය හැ‍මදෙනා දකිති. එහෙත් රථයක් නොදකිති. එය දකින්නා උපාසක තුමා පමණි. ඒ කවර ආශ්චර්යක් ද? පින් මහිමයමයි.

තුසිත පුර දෙවියෝ උපාසක තුමන් තම දෙව් ලොවට රැගෙන ගියහ. සියලු දිව සැපතින් ආඪ්‍ය විය. කතාකරුවා දක්වන්නේ කුසල් නමැති වඩුවා විසින් මනහර කොට කරන ලද රුවන්විමනින් ධම්මික උවැසි දෙව්ලොව වැඩි බවය.

වෙහෙරට වැඩි පිරිත් කී වහන්ඳෑ මේ සිදුවීම බුදුනට දැන් වූ කල්හි පිනට නොපමා වූවන් සතුටු සිතින් මෙලොව පරලොව දෙකම ජය ගනිති’ යි බුදුහු වදාළහ. දම්සෙනෙවියන් පිනෙහි ආදීනව මෙසේ කියා පෑවේ සත්පුරුෂ සමාජයක් පිළිබඳ නොතිත් අපේක්ෂාවෙනි. පින නම් යහපත් ක්‍රියා ය. දෙව්ලොව සැප කෙසේ වතුදු මෙලොව දිවිය සරුසාර කර ගැනුමට පිනෙහි යෙදීම නම් අද අපට ඇවැසි වූ සමාජ ධර්මයකි.

Comments