
කර්තෘ - මහාචාර්ය විමල් දිසානායක
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ
මිල - රු. 150 යි
1970 දශකයේදී හදිසියේ ම මට ජී.බී. සේනානායක මහතා හමු විය. ඒ දිනවල ඔහුගේ ‘විඳිමි’ නමැති කවි පොත එළිදක්වා තිබිණි. මම එම පොත බොහොම අමාරුවෙන් කියැවීමි. ‘විඳිමි’ කවි තේරුම් ගැනීම ඉතා අපහසුයි, මම ඔහුට කීවෙමි. එවිට ඔහු කියා සිටියේ ‘කවි එහෙම තමයි, ලෙහෙසියෙන් තේරුම් ගන්න බැහැ; විචාර පොත් කියවලා ඒ පිළිබඳ ව හදාරලා මහන්සියෙන් තමයි කවි රස විඳින්න ඕනා” ඔහුගේ ඒ වදන විමල් දිසානායක මහතාගේ ‘ජයසිරිගේ සමු ගැනීම’ පොතටත් වලංගු වේ. බොහොම ඉවසීමෙන්, මහන්සියෙන් මෙම කවි තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගැනීමට පසුව සිතෙන්නේ කවියා යනු මොන තරම් ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නෙකි ද යන්න ය. අප පාසල් යන කාලයේ සිට පුරුදු වූයේ කොළඹ යුගයේ කවි රස විඳින්නට ය. හතර පද කවිය තුළ බොහෝ විට දිස්වන්නේ එක්තරා විදියක වාර්තාමය සවරූපයකි.
“ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය” යන කවි මීට නිදසුන් ය. ඒ කවි අපගේ බුද්ධියට ඇමතුවේ නැත. පේරාදෙණිය ආශ්‍රයෙන් බිහි වූ නිසදැස තුළ සිරි ගුනසිංහ ප්‍රමුඛ කවියෝ රසිකයා ගේ බුද්ධියට අමතා කවියේ නියම අරුත් පණ ගැන්වූහ. ඒ හරහා කවියේ එක්තරා දියුණුවක් ඇති වූ බව රහසක් නොවේ. මෙසේ කවියා පිළිබඳ ව නූතන පරීක්ෂණත් සමඟ බිහිවන ‘ජයසිරිගේ සමුගැනීම’ අපට කවි රසවිඳීම පිළිබඳ ව ගැඹුරු මානයකට ගෙන යයි. නවකතාකරුවා කෙටිකතාකරුවා, නාට්‍යකරුවා සහ කවියා අතරින් වඩාත් ප්‍රතිභාසම්පන්න වෙන්නේ කවියා ය. කවියා දරන ජීවන දෘෂ්ටිය පාඨකයාට ප්‍රදානය කිරීම සඳහා ඔහු දරන උත්සාහය අනිකුත් කලා මාධ්‍ය අබිබවා සිටින බව මගේ හැඟීමයි. එයට උදාහරණයක් ලෙස විමල් දිසානායකගේ මේ කවිපොත හඳුන්වා දිය හැකිය.
ඔහු මේ කෘතියේ හැඳින්වීමේදී ඉතා ප්‍රබල හේතු තුනක් මතු කරයි. පළමු ව මෙහි පැහැදිලි ආඛ්‍යානයක් වෙනුවට ධාරණ මාලාවක් තිබීම ය. දෙවනුව මෙහි ප්‍රස්තුත වන දිවි නසාගැනීම බොහෝ දෙනෙකුට එතරම් ප්‍රිය මනාප නොවීම ය. තුන්වැන්න ලෙස ඔහු සඳහන් කරන්නේ මෙහි අන්තර්ගත සංකීර්ණත්වයයි.
සිංහල පද්‍ය අඛ්‍යාන කාව්‍යය කොටස් හතරකට බෙදා දක්වන ඔහු මේ කෘතිය තුළ මතු කරන්නේ එහි එක් අංගයක් වන සංකල්ප රූප අඛ්‍යාන කාව්‍යයයි. නූතනයේ දී අපට වැදගත් වන්නේ මෙකී අංගයයි. මෙය බටහිර රටවල ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර සිනමා කලාවට ද මේ සංකල්ප රූප අඛාන ලක්ෂණ බලපා ඇත.
‘ජයසිරිගේ සමු ගැනීම’ මූලික වශයෙන් ම අඛ්‍යාන කාව්‍යයට සිර නොවී අඛ්‍යාන හසුරුවන සංකල්ප රූප කෙරෙන් යොමු වෙයි. මෙයට හේතු වන්නේ මූලික වශයෙන් ම ජයසිරි ගේ ශෝකාලාපය බුද්ධිමය රාමුවක් තුළ ස්ථානගත කිරීමට කවියා වෙහෙස වීම ය. ජයසිරි මුහුණපාන ජීවන ඛේදවාචකය ඉතා සංකීර්ණ ය. ඒ ඛේදවාචකය අප සෑම කෙනෙකු ම කවියේ ගැඹුර පසක් කර ගැනීම තුළ ජයසිරිගේ ඛේදවාචකය තේරුම් ගැනීමට හැකි වනු ඇත. ජයසිරිගේ ජීවන දැක්ම මතු කොට එයින් නැඟෙන ධාරණ මාලා තුළින් නිදහස සහ මරණය සම්බන්ධ ද්වන්දනාත්මක විභවය මතු කිරීමට කවියා උත්සාහ දරා ඇත. ජීවිතය යනු කුමක්ද? එහි අභ්‍යන්තරිකව පවත්නා අර්ථ ශුන්‍ය බව ලෝකයේ බොහෝ දාර්ශනිකයන්ට තම ජීවිතයෙන් ස්ව කැමැත්තෙන් ම සමුගැනීම සඳහා මග පාදා ඇත. ජයසිරිගේ ජීවිතයේ අවසාන පැය විසි හතර තුළ ඔහු ලියූ සටහන් මේ කාව්‍යයට මුල් වී ඇත. ඒ සටහන් තුළින් පැන නඟින මුඛ්‍යාර්ථයන්ට අවබෝධාත්මක රටාවක් නිර්මාණය කිරීමට කවියා වෙහෙස දරයි. දිවි නසා ගැනීම ජීවිතයෙන් පැන යෑමක් ද? නැතිනම් නිදහස ඉල්ලා සිටීමක් ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු ධර්මතාවකි. ෂෝපන්නවර්ගේ අදහසට අනුව සදාචාර නිදහස මිනිසාගේ විෂම උරුමයයි. එය සාක්ෂාත් කරගැනීම සඳහා ජීවත්වීමේ අධිෂ්ඨානයට විරුද්ධ ව නැඟී සිටිය යුතු ය. මේ දාර්ශනික අදහසකි. සාංදෘෂ්ටිකවාදියකු වූ ඇල්ෙබයා කැමූට අනුව ද දිවි නසා ගැනීම තුළ ගැඹුරු දාර්ශනික ගැටලුවක් පවතින බව පසක් වෙයි.
මිනිසාගේ පරම උරුමය වන සදාචාර නිදහස රැකගැනීම සහ ඒ වෙනුවෙන් බැඳෙන ජීවිතයෙන් පලා යෑම වැනි කරුණු මුල් කර ගනිමින් නිර්මාණය වන මේ කෘතිය හරහා සියදිවි නසා ගැනීම වැනි සංකල්ප ඉදිරිපත් කිරීමෙන් කවියා අදහස් කරන්නේ කුමක්ද යන්න සාමාන්‍ය පාඨකයකුට සමහර විට තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. නමුත් ඒ නිසා කාව්‍යයේ උසස් බවට හානියක් නොමැත. ජීවිතය පිළිබඳ ව පමණක් නොව තමා ජීවත්න සමාජය පිළිබඳව ද සියුම් අරුතක් සංකල්ප ගත කිරීමට කවියා උත්සාහ කරනු පෙනේ. ගඟට පැන දිවි නසා ගැනීමට මොහොතකට පෙර ජයසිරිගේ ආවර්ජනය හරහා ඔහු ඉදිරිපත් කරන්නේ පාඨකයා වෙත අනුකම්පා සහගත හැඟීමකි. නොයෙක් දෙනා කුමක් කීවත් තමාගේ අභිප්‍රාය අත් නොහරින බව හැඟවීමට ඔහු අතීතය කරා පිය නගයි.
“එකම දරුවෙක් වීමි මම. සහෝදර සහෝදරියක් නැති අම්මා මිය ගියාය. පිළිකාවක් සැදි මා දොළොස් වියට පා නගන විට ඊට වසරකට පසුව තාත්තා යළිත් විවාපත් විය. එතැන් පටන් මා දිවිය අඳුරු විය. සිරකූඩුවක් විය. නිදහස අකුරු සතරක් පමණක් විය. මෙම ආරම්භයෙන් ම ජයසිරි ගේ ජීවිතය ගැන තක්සේරුවක් ඇති කර ගැනීමට පාඨකයාට අපහසු නැත. ජයසිරි තමාගේ ශෝකාන්තය නොයෙක් උපමා රූපක පාවිච්චි කරමින් පාඨකයා සමඟ බෙදා ගනියි. ඔහුගේ ඒ ශෝකාලාපය වඩාත් තීව්‍ර කිරීම සඳහා කවියා යොදා ගන්නා උපමා ඉතාමත් හරබර ය.
“කැඩපතක ඉදිරියේ සිටිමි
බලන ලෙසින් මගේ මුහුණ
නැත එහි කිසි මුහුණක් නම්
වීදුරු තලයක් පමණයි”
මෙයින් අදහස් වන්නේ තමාට තමා නොපෙනෙන බව ය. එහි තේරුම නම් තමා තමාගෙන්ම ඈත් වී ඇති බව ය.
ඈත් යනු තම ජීවිතය එපාවීම පිළිබඳ සංකේතාත්මක හැඟවුමකි. ජීවිතය පිළිබඳ ආශාව අත් හැරීමකි. ජයසිරිට තම ජීවිතය අත් හරින්නට සිදුවන්නේ ද ඇත්තෙන් ම ඔහු තමාගෙන්ම ඈත් වී ඇති නිසා ය. එසේ වීමට හේතුවන ඔහුගේ ජීවනෝපාය කරුණු එකින් එක සංකේතාත්මකව කතුවරයා මතු කරයි. ඒ නිසා ම ඔහුගේ දිවි නසා ගැනීම පාඨකයාට තේරුම්ගත හැකිය. සමහර විටක කතා නායකයා තමාට නව ලොවක් විවර වෙතැයි සිතුවත් එය එසේ නොවිණි. නිදහසක් නොලැබිණි. සියලු දේ මිරිඟුවක් ම පමණක් විය.
ඉන්පසු කතා නායකයාට හමුවන්නේ ගුරු වෘත්තියයි. එය තම ජීවිතය ගෙන යෑම සඳහා රැකියාවක් ලෙස වැජඹුණ ද එයිනුත් ඔහු කලකිරෙයි. ඔහුට හමුවන ප්‍රේමවන්තිය ද කිසිදු ප්‍රබල හේතුවක් නොමැතිව ඔහු හැර යයි. මේ සියලු තත්ත්වයන් මැද උකටලි වන ඔහු නිදහස සහ මරණය පිළිබඳ ව නව අරුතකින් බැලීමට යොමුවෙයි. අවසානයේ ඔහු තම ජීවිතය මහවැලි ගඟට පූජා කරන්නේ ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සේ ය. ඔහු තම අවසානය සටහන් කරන්නේ හයිකු මහා කවි බෂෝගේ පද්‍යයක් පෙරට ගනිමිනි.
ගමනක් මැද ලෙඩ වී
මුඩු වී ගිය කෙත් උඩින්
සිහින හඬක් පාවී යයි
දැන් ඉතින් ජීවිතයට නැවතීමේ ලකුණ
දැමීමට කාලය පැමිණ ඇත
වේදිකා තිරය පහත දමන්නට
නිදහසේ ජය කොඩිය ලෙළවන්නට
ලොවින් සමුගන්නට
ඔබගෙන් සමුගන්නට
මගෙන් සමුගන්නට
කාලය පැමිණ ඇත
රන්වන් වලාවක් මත
විමල් දිසානායකයන්ගේ අගනා මේ කාව්‍යය ජීවිතය පිළිබඳ ගැඹුරු අර්ථකථනයක් සපයන බව සඳහන් කළ යුතු ය.