ගොගොල්ට දිවැස් තිබුණා වත්ද? | Page 5 | සිළුමිණ

ගොගොල්ට දිවැස් තිබුණා වත්ද?

ඔහු‍ගේ නිකට කොතරම් ඉදිරියට නෙරා විත් තිබුණේද කියතොත් කෙළ ගසන හැම විට ම නිකට ලේන්සුවකින් වසා ගැනීමට සිදු විය. එහෙත් ඔහු ගේ කුඩා තියුණු නෙත්, දෙබැම යටින් පෙනුණේ, මී ගුල් දෙකකින් එළියට එන්නට පෙර එළියේ පෙනෙන තෙක් මානයේ බළලෙකු හෝ දඟකාර කොල්ලෙකු හෝ සිටින්නේ දැයි සෝදිසියෙන් ඉව අල්ලා බලන මීයන් දෙදෙනකු මෙනි.

“ඔහු ඇඳ සිටි ඇඳුම තමයි හැම පුදුමයකට ම වඩා ලොකු ම පුදුම ය. ඒ ඇඳුම මසන ලද්දේ කෙසේ ද? කුමන දෙයකින් ද? ඉඳුරා කිව නො හැකි ය. ඇඳුමේ කර වටේ හා අත් කෙළවර කොතරම් දැලි කුණු බැඳී තිබුණේ ද කියතොත් ඒ තැන්වලට සපත්තු සම් තබා මසන ලද්දේ ය යි සිතෙයි. ඔහු කර වටේ පැළඳ සිටියේ අසවල් දෙයක් ය යි කීම අපහසු ය. එය මේස් කකුලක් ද? හම් පටියක් ද? එහෙත් එය කරපටියක් නම් නො වේ. කොටින් කියතොත් අපේ වීරයාට මෙවන් ඇඳුමකින් සැරසුණු පුලස්කින් මහ මඟ දී හෝ පල්ලියක් ඉදිරිපිට දී හෝ හමු වූයේ නම් හිඟන්නෙකැයි වරදවා සිතා හිඟමන් දෙනු ඒකාන්ත ය. අපේ වීරයා හිඟන්නෙකුට තඹයක් දීමට තරම් උණු වන ළයක් ඇත්තෙකු බව ඔහු ගේ වෙසෙස් ගුණයක් වශයෙන් මෙහි ලා සඳහන් කළ යුතු ය.

එනමුත් දැන් ඔහුට මූණලා සිටින්නේ හිඟන්නෙකු නොව ධනවත් ඉඩම් හිමියෙකි. මේ ඉඩම් හිමියා සතු දාසයෝ දහස් ගණනකි. මොහු තරම් පාන්, තිරිඟු, වී, පිටි, රෙදි පිළි, සම්, කරවල, එළවුළු ඈ නොයෙක් බඩු බාහිරාදිය රැස් කර ගත් ධනවතෙක් ද නැත. මෙසේ රැස් කරන ලද, එහෙත් කිසි කලක පාවිච්චියට නො ගන්නා ලද බඩුබාහිරාදියෙන් පිරුණු ඔහු ගේ අටුකොටු හා ගබඩා ගෙවල් දෙස හොරෙන් එබී බලන්නෙකුට තමා මොස්කව් නුවර මහ වෙළෙඳ සැලක් තුළ සිටින්නේ ය යි සිතෙන්නට පිළිවන. එහෙත් පුලස්කින් මෙතරම් ධනය රැස් කරගනෙ සිටින්නේ මන්දැයි කිසවෙකු අසන්නට පිළිවන. පුලස්කින් සතු ඉඩකඩම්හා දැසි දසුන් දෙගුණයකින් වැඩි වුව ද, ඔවුන්ට මුළු ජීවිත කාලය තුළ මේ බඩුබාහිරාදිය අවසන් කළ නොහැකි ය. කොතරම් ධනධාන්‍ය තිබුණත් කිසිකලක ඔහු ගේ මනදොළ නො පිරෙනු ඇත.

 එහෙයින් දිනපතා උදේ ඔහු ගමේ පාරක් ගානේ යමින්, මඟ දමා ඇති ලෑලි යට ද බෝක්කු ඇතුළේ ද එබී බලමින්, ගෙවී ගිය සපත්තු අඩියක් හෝ, ඇණයක් හා්, ගැහැනියක ගේ වස්ත්‍රයක් හෝ, වළං කැබෙල්ලක් හෝ, කොටින් කියතොත් අතට අසු වූ කුමන දෙයක් වුව ද එකතු කර ගෙන විත් ගෙයි මුල්ලේ තිබෙන ඉහත සඳහන් කළ කුණු ගොඩට දමයි. “අන්න අර මළ පෙරේතයා අදත් දඩයමේ යනවා” යි ඔහු දෙස බලා වත්තේ දාසයෝ කියති. ඇත්ත වශයෙන්, ඔහු ගිය මඟ අතු ගා පිරිසුදු කිරීමට අවශ්‍ය නැත. ඒ පළාත හරහා අසු පිටින් ගිය නිලධරයකුගේ සන්කටුවක් නැති වුවහොත් නිසැක ව ම එය පුලස්කින්ගේ ගෙයි මුල්ලේ කුණ ගොඩෙන් සොයා ගත හැකි ය. දියට ගිය ගැමි ගැහැනියක නොසැලකිල්ලෙන් බාල්දිය ළිඳ ළඟ තබා ගියොත් පුලස්කින් වහා එය ගෙදර ගෙන ගොස් සඟවා තබයි. යම් විදියකින් ගැහැනිය බාල්දිය දුටුවොත් ඔහු කිසි ම කතාබහක් නැති ව එය ආපසු දෙයි. එහෙත් ඔහුට බාල්දිය ගෙදර ගෙන යාමට ඉඩ ලැබුණොත් කිසි කලක එය ආපසු නොලැබෙයි. එය අසවල් දින අසවල් තැන දී ගත් බව කියා ඔහු දිවුරනු ඒකාන්ත ය. නැති නම් එය මුත්තණුවන් ගෙන් ලැබුණු බව කියනු නියත ය. බිම වැටී තිබෙන ඉතා කුඩා කොළ කෑල්ලක්, පිහාටු පෑනක්, හෝ ලාකිරි කෑල්ලකු වුව ද අහුලා මේසය උඩ හෝ ජනේල කණ්ඩිය උඩ හෝ තැබීම ඔහු ගේ සිරිත ය.

මුහුදින් වට වු‍ණු ශ්‍රී ලංකාව නමැති කොදෙව්වේ හෙවත් දිවයිනේ, අප ජීවත් වන විසි එක්වැනි සියවසේ දෙවැනි දශකයේ අගභාගයේ දෙදහස් අහඅට වැනි වසරේ පෙබරවාරි මාසයේ එළැඹ ඇති මේ විශේෂ මොහොත නිකොලායි ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ නවකතාවේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ වචනවලින් කියනවා නම්, ‘මළ පෙරේත ආත්ම’ නමැති නව ප්‍රබන්ධයේ එක පිටුවක් පෙරළාගත් මොහොතක් වැනි යැයි මට නිකමට සිතෙයි. හොරකමට - අපේ බුදු හාමුදුරුවන් අප‍ට පැනවූ දෙවැනි සිකපදය අනුව යනවා නම් - අදත්තාදානයට - ආණ්ඩුවක් සමඟ එකතු වී හෝ ආණ්ඩුවක ඇස්වලට වැලි ගසා හෝ කරන සටකපට ආනාදි හොරකමකට මොන තරම් දිර්ඝ ඉතිහාසයක් ඇත්තේ නොවේදැයි පාඨකයාට සිතෙන්නේ නැද්ද? රාජ්‍ය පාලනයට අරක්ගත්, ශිෂ්්ට යැයි සම්මත සකලවිධ මිස්ට ක්ලීන්ලා තරමටම, දුෂ්ට ඩර්ටිලා ද සමෝසම ව එක් කරගෙන ආණ්ඩුවක භාණ්ඩාගාර සුද්ද කරන කලාව නොහොත් සූත්තරය මේ චෞරයෝ මනාව ප්‍රගුණ කර සිටිති. මේ හොර තක්කඩි කාලකණ්ණි රංචුවේ එක එකාගේ බෙල්ලට තොණ්ඩු දමා පාර අයිනේ ඇති ලයිට් කනුවල එල්ලා තැබීමේ අමන්දානන්දය, උඳුවප් දුරුදු මාසවල පාන්දර ජාමයේ දකින නපුරු සිහිනවලදී පමණක් අත් විඳින සාමාන්‍ය ජනතාවට කියන්ට ඇත්තේ ‘මිහිතලයේ සකලවිධ චෞරයිනි එක්වව් නුඹලාට දිනාගන්නට ලෝකයක් ඇත්තේය. නුඹලාට නැතිවන්නට ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරවලට දක්කාගෙන යන තෙක් නුඹලාගේ දෑත්වලට දමන මාංචු පමණකි” කියා ය. “ඉහෙන් බහින රෝගයකින් තොරව නුඹලාගේ ලෝකය සදාකල්හිම අතුරු ආන්තරාවක් නැතිව දිනේවා” කියා ය.

අදට අවුරුදු එකසිය පනහකට පමණ ඉහතදී නිකොලායි ගොගොල් ලියු මේ “යක්ෂ පොත” පැත්තකින් තියන්ට හිත් දෙන්නේ ම නැත.

පෙරකදෝරුවෝ සහ ගොඩ පෙරකදෝරුවෝ පමණක් ම නොවෙති, සාර් යුගයේ සිටි නඩුකාරයන් පවා හොරකම රකින්ට - හොරකමට උල් පන්දම් දෙන්ට ඉදිරිපත්ව සිටි වග අපට යළිත් මතක් කරදෙන්නේ ගොගොල් ය.

චිචිකෝෆ් විවිධ පුද්ගලයන් සමඟ විශේෂයෙන් ම සොබාකිවිච් සමඟ කළ මළදාස ගනුදෙනුව අවසන් විය යුත්තේ එයට ඔප්පු තිරප්පු ලිවීමේන අනතුරුවය. ඒ සඳහා ඒ කාලයේ හැටියට අධිකරණයේ අධිපතිතුමා වෙත යා යුතුව තිබුණි.

මේ වන විට අධිකරණයේ අධිපතිතුමා ඇතුළු මුළු පළාතේ ම රාජ්‍යාධිකරණ පාලන කරණ ගැන්සියම, චිචිකෝග්ගේ මිත්‍රයන් බවට පත්ව සිටිති. ඔහු අධිකරණ අධිපතියා වෙත යන්නේ තමාට මළ දාසයන් විකුණු සොබාකිවිච් ද කැටුවය. චිචිකෝෆ් පුලස්කින් නමැති ඉල්ලීස අදින්න පුබ්බකයා සමඟ ද මළදාස ගනුදෙනුවක් කර ඇත්තේය. එහෙත් මේ ලෝබ මසුරා ඔප්පු අත්සන් කරන්ට පැමිණෙන්නේ නැත. තමා ගනුදෙනුව කළ බවට ඔහු ලියුම් කඩදාසියක් ලියා එය තමාගේ කස්ටමර් හෙවත් ගනුදෙනුකාර චිචිකෝෆ් අතේ එවා ඇත.

එදා සාර්ගේ රුසියාවේ ගනුදෙනු ද මෙදා අපේ වගේ ම ය. අද මෙන්ම ඒ දවස්වලත් බළල්ලු දී කිරට සාක්කි කීහ.

“තමුන්නාස්සෙට දෙන්ඩ ලියුමක් තියෙනවා” යැයි පවසමින් චිචිකෝෆ් පුලස්කින්ගේ ලියුම අධිකරණ අධිපතියා අත තබයි.

එන්. නගරයේ මුළු මහත් පාලන ගැන්සියම එකතු වී චිචිකෝෆ්ව ඔප්පු අත්සන් කර දුන් ආකාරය ගොගොල් විස්තර කොට කියන්නේ එදා සාර් රුසියාවේ පාලන තන්ත්‍රය සම්පුර්ණයෙන්ම නිර්වස්ත්‍ර කරමිනි.

“කාගෙන්ද ? යි අසමින් ලියුම අතට ගත් අධිකරණයේ අධිපතිතුමා ලියුම දිගහැර කියවා බලා “හා පුලස්කින්ගෙන් නොවැ! දැන් කොහොම ද මිනිහගෙ සැප සනීප? තවමත් කාලකණ්ණියා වගේ ඉන්නවා ද? කරුමෙක මහත ! ඉස්සර මිනිහා ලොකු පොහොසතෙක්. උගතෙක්, නමුත් දැන්..........?”

“...........වල් බල්ලෙක්! පල් හොරෙක්! කන්න නොදී දාසයන් මරන අපරාධකාරයෙක් ! යයි කියමින් සොබාකිවිව් ඉතිරි කොටස සම්පුර්ණ කරමින් කී ය.

“සහතික ඇත්ත ! යැයි කියමින් විනිශ්චය දුන් අධිකරණයේ අධිපතිතුමා “හොඳයි එහෙනම් මම මිනිහා වෙනුවෙන් පෙනී සිටින්නම්. මහත්මයා ඔප්පු අස්සන් කරන්න කැමති කවදා ද? අද අස්සන් කරනවා ද? නැති නම් වෙන දවසකට කල් දමනවා ද?” යි චිචිකෝච්ගෙන් විමසුවේ ය.

“තමුන්නාන්සේට කරදරයක් නැති නම් අද ම අත්සන් කරන්න කැමතියි. හෙට මම මේ පළාත අත්හැර යන්නයි බලාපොරෙ‍ාත්තු වෙන්නෙ. අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලියකියවිලි සේරම පිළියෙල කරල තියෙනවා” අපේ වීරයා පිළිතුරු දෙමින් කී ය.

“ඔප්පු අස්සන් කරන එක එතරම් ලොකු වැඩක් නොවෙයි. අද ම අස්සන් කරන්න පුළුවනි. නමුත් මෙතරම් ‍ඉක්මනට මහත්මයාට මේ පළාත අත හැරලා යන්න දෙන්න බැහැ. මම අද ම ඔප්පුවල වැඩ අවසන් කරලා දෙන්නම්. නමුත් මහත්මයා තව ටික දවසක් මෙහෙ නවතින්න ඕනෑ,” යි පැවසු අධිකරණයේ අධිපතිතුමා කාමරයේ දොර ඇර කන්තෝරුව දෙස බලා “ඉවාන් ඇන්තෝනිවිව් ඉන්නව ද?” යි ඇසුවේ ය. කන්තෝරුව තුළ නිලධාරීන් වහා ක්‍රියාත්මක වුයේ ගල් පාරක් වැදුණු මීවදයක මීමැස්සන් කලබල වන්නාක් මෙනි.

ලබන සතියට

Comments