සෑම මැතිවරණ කොට්ඨාසයකටම හරිත මිතුරු එයි! | Page 2 | සිළුමිණ

සෑම මැතිවරණ කොට්ඨාසයකටම හරිත මිතුරු එයි!

සාගරිකා දිසානායක

සෑම මැතිවරණ කොට්ඨාසයක ම අලුත් කර්මාන්ත ඇරැඹීමට සියලු ආකාරයෙන් ම සහාය දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

මෙලෙස අරඹන පරිසර හිතකාමී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගැන්වීම සඳහා ව්‍යවසායකයනට අවශ්‍ය නව දැනුම, තාක්ෂණය මෙන් ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළ හඳුන්වා දීමට ද අමාත්‍යාංශය මැදිහත්කරුවකු සේ කටයුතු කරනු ඇත. අලුත් කර්මාන්තවලට මෙන් ම දැනට පවත්නා කර්මාන්ත සංවර්ධනය සඳහා ද එම සහයෝගය ලබා දෙනු ඇත. ඒ අනුව කර්මාන්ත ඇරැඹීමට මෙන් ම වැඩි දියුණුව සඳහා මූල්‍යාධාර ලබා දීම, තාක්ෂණික දැනුම හා පුහුණුව ලබා දීමට ද කටයුතු කෙරේ.

මෙම වැඩසටහන යටතේ 2017 වසරේදී ආහාර නිෂ්පාදකයන් 50 දෙනෙකුට ලක්ෂ දෙක බැගින් රුපියල් කෝටියක (රු. මිලියන 10) මුදලක් ලබා දී තිබේ. සුළු පරිමාණ කර්මාන්තවල ඇසුරුම්කරණය සංවර්ධනය සඳහා එක් ව්‍යවසායකයකුට රු. 50,000 බැගින් වන පරිදි ව්‍යවසායකයන් 105 දෙනකුට මිලියන 5.25 ක් හෙවත් ලක්ෂ 52 මූල්‍යාධාර ලබාදී ඇත. බස්නාහිර පළාතේ ආහාර නිෂ්පාදන කර්මාන්තවල නිපැයුම් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන අරඹන ලද්දේ 2016 වසරේදීය. ඉදිරියේදී දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවද ඇමැතිවරයා කීය.

ආහාර නිෂ්පාදනය වත්මන් ලෝකයේ වැඩිපුරම අවධානයට ‍පාත්‍ර වී ඇති නිෂ්පාදන ක්ෂේත්‍රය වන අතර ආහාරවල ගුණාත්මක භාවය හා ඉහළ ප්‍රමිතිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇතැයි කී ඇමැතිවරයා නව නිපැයුම්කරුවන් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවද පැවැසීය. පරිසර හිතකාමී හරිත මිතුරු නිෂ්පාදන කර්මාන්තවලට ලොව පුරා මුල් තැනක් හිමිවන බවත් ශ්‍රී ලංකාවේ ද මින් ඉදිරියට බිහිවන කර්මාන්ත දැඩි පරිසර හිතකාමී හරිත මිතුරු කර්මාන්ත වීම ව්‍යවසායකයන්ට වඩාත් වාසි සහගත වනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Comments