ක්‍රීඩාවට දේශපාලනය ගේන්න මම කැමැති නෑ | Page 2 | සිළුමිණ

ක්‍රීඩාවට දේශපාලනය ගේන්න මම කැමැති නෑ

 ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර ගණනාවකට පසුවය. එය පවත්වාවිද, නැතිද යන සැකය හේතුවෙන් එකී නිලවරණය පිළිබඳ සංවාදය වඩාත් උණුසුම් තලයකට පැමිණ තිබේ. මේ මස 23 වැනිදා ඔලිම්පික් නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත. සිළුමිණ ක්‍රීඩාවේ මුල් පිටුව වෙනුවෙන් එහි සභාපති ධූර අපේක්ෂකයන් සංවාදයකට එළැඹියේ ඔවුන්ගේ වැඩපිළිවෙල සංවාදයට බඳුන් කරමිනි.

නිලවරණය ගැන තියෙන විශ්වාසය ගැන කතාකරමු?

ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි.

කොහොමද ඒක බය නැතිව කියන්නෙ?

මම සටන් කරන්නේ ප්‍රතිපත්ති එක්ක. මට සහය දෙන අය ඒ ගැන හොඳට දන්නවා.

ඇයි ඔබ ඔලිම්පික් සභාපති ධූරයට තරග කරන්නෙ?

මට ආරාධනාවක් ලැබුණා. මම කල්පනා කළා. අන්තිමට මෙතැන මම ඉන්නවා.

ආරාධනා කළ පමණින් ඔබ ඒක බාරගත්තේ ඔලිම්පික් කමිටු පසුබිම බලලද?

ඔව්. මම හොඳට ඒ ගැන අධීක්ෂණය කළා. ඊට පස්සේ තමයි මේ වගකීම බාරගන්න තීරණය කළේ.

ඔබ ඉත්තෙක් වෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

කාගෙද?

වර්තමානයේ ඉන්න ඔලිම්පික් කමිටුවෙ ප්‍රධාන නිලධාරීන්ගෙ?

නෑ. මම කාගෙවත් ඉත්තෙක් නෙවෙයි. අදීනව කටයුතු කරන්න මම දන්නවා. මම එහෙම අපක්ෂපාතීව වැඩකරපු කෙනෙක්. දැනටත් එහෙම වැඩකරන කෙනෙක්. මගෙත් එක්ක නීතිවිරෝධී දේවල් බෑ කියලා කවුරුත් දන්නවා.

දැන් ඔබේ ප්‍රතිවාදිය ඉස්සර වත්මන් ඔලිම්පික් ලොක්කන්ගෙ අපේක්ෂකයා. දැන් ඔහු ප්‍රතිවාදී කණ්ඩායම පොදු අපේක්ෂකයා කරගෙන. දැන් ඔබයි ඔලිම්පික් ලොක්කන්ගෙ අපේක්ෂකයා. ඒ ගැන මොකද කියන්නෙ?

මම එහෙම වුණේ ඇයි කියලා ඇහුවා. ඒක තමයි මගේ පළමුවැනි ප්‍රශ්නය. ඒකට හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. ඒක සාධාරණ උත්තරයක් නිසා මම අභියෝගය බාරගත්තා.

ජයග්‍රහණය කරන්න සල්ලි විසි කරනවා කියලා ආරංචියි?

අනේ නෑ. මම සල්ලි විසිකරලා ඡන්දයකට යන්නෙ නෑ. මම යන්නේ ප්‍රතිපත්ති, වැඩපිළිවෙලක් එක්ක.

මොනවද ඔබේ ප්‍රතිපත්ති?

නූතන ලෝකයට ගැළපෙන ඔලිම්පික් කමිටුවක් නිර්මාණය කිරීම.

කියන්න පුළුවන්. කරන්නේ කොහොමද?

මම මෑත උදාහරණයක් දෙන්නම්. බලන්න මගේ මව් සංගමය ටෙනිස් සංගමය. දැන් ඒ ආයතනය ඩිජිටල්කරණය කරලා තියෙනවා. ආසියාවේ දෙවැනියට ඒ කියන්නේ ජපානයට පසුව ඩිජිටල් කරණය කළ එකම ටෙනිස් සංගමය අපි. මම ඒ ක්‍රීඩාව වෙනුවෙන් කරලා තියෙන දේවල් බලන්න. එතකොට ඔබට තේරුම් යාවි මම මේ තනතුරට සුදුසුද නුසුදුසුද කියලා.

ඔව්. ඔබ ටෙනිස්වලට ලොකු දෙයක් කරලා තියෙනවා. දැන් ඔය ඩිජිටල්කරණය ගැන කතාකරද්දී එතැන වර්තමාන ආණ්ඩුවේ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය වගේ දේවල්වල විෂයට සමානත්වයක් පෙන්වනවා. ඒ කියන්නේ ඔබේ තිබෙන දේශපාන සවිය ගැනද කතා කරන්නෙ?

අනේ නෑ. මම ක්‍රීඩාව දේශපාලනයෙන් තොරවිය යුතුය කියන අදහස දරණ කෙනෙක්. මගේ දේශපාලනය මෙතැනට මම ගේන්නෙ නෑ. හුඟාක් දේශපාලනඥයෝ මගේ හිතවත්තු. ඒක මේකට අදාළ නෑ. හැබැයි ඕනෑ කෙනකුගෙන් අහන්න ඒ අය මම හොඳ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් කියයි. ඒක මට සල්ලිවලට ගන්න බෑ.

ටෙනිස් සංගමයට තට්ටු ගණනක ගොඩනැඟිල්ලක් නිර්මාණය කරදීම ඔබේ පොරොන්දුවක්?

ඒක මම ටික දවසකට පෙර කරපු යෝජනාවක්. ඒ වැඩේට අනුග්‍රාහකයකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ටෙනිස් සංගමයෙන් ශත පහක්වත් වැය නොවී කරන වැඩක්.

දැන් ඔබ කියනවා ඔලිම්පික් කමිටු කාර්යාලයේ ක්‍රීඩා සංගම්වලට කාර්යාල පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙනවා කියලා?

ඔව්. මම කියන්නේ ඔලිම්පික් කමිටු ගොඩනැඟිල්ල රජයේ අනුදැනුම සහිතව විශාල කිරීම් සිදුකළ යුතුයි. එවිට අපිට පුළුවන් සංගම්වලට තැනක් දෙන්න. සියලු ඔලිම්පික් අනුබද්ධ සංගම් එක තැන තියෙන එක හරි පහසුවක්. ක්‍රීඩාව සංවර්ධනයට, සංගම් අතර සම්බන්ධතාවට ඒක අවශ්‍ය වෙනවා.

ඔබ ව්‍යාපාරිකයෙක්. වැඩිපුර ඉන්නෙ විදේශගතව. ඔලිම්පික් කමිටු වගකීම් දොඩම් ගොඩ බදාගත්ත වගේ වෙයිද?

මේවා දක්ෂ කළමනාකරුවකුට සුළු දේවල්. ඔබ දන්නවා අර ටෙනිස් සංගමයේ ඩිජිටල්කරණය. දැන් මට මගේ දුරකථනයෙන් ටෙනිස් සම්මේලනයේම වැඩසටහන තියෙනවා. පරිපාලනය සිද්ධ වෙන දේවල්, වෙන්න තියෙන හැමදෙයක්ම මම දකිනවා. ඉතින් මම ලෝකයේ කොහේ හිටියත් ඒකෙ වෙනසක් නෑ. අවශ්‍ය වන්නෙ කෙටි කාලයකින් වගකීම් ටික ඉවර කරන එක. ඉතින් ඔලිම්පික් සම්බන්ධයෙනුත් ඩිජිටල්කරණය ප්‍රයෝජනයට ගන්නවා. මගේ වැඩකිරීමේ හැකියාවට මේවා බාධාවක් නොවෙයි.

මුදල් සොයාදීම සම්බන්ධයෙන් ඔබ කතාකරන්නෙ හරියට අර විගණකාධිපතිවරයා කිව්වා වගේ වයිමා ලෙසනේ?

ඉතින් සල්ලි සොයන්න හරිම ලේසියි. ඒක කරන්න අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් හදන එක. මම ඒක කරන්න දන්නවා.

ඔබ එහෙම කරලා තියෙනවද? නැත්නම් කටින් බතල කොළ හිටවනවද?

දැන් ඔබ අහන්නෙ පුදුම ප්‍රශ්නනෙ. මම ටෙනිස් සංගමයට ගොඩනැගිල්ලක් හදන හැටි බලන්න. මම තව එක දෙයක් කියන්නම් ඉන්දියාවේ මහේෂ් භූපති අද පවත්වන ආසියානු ටෙනිස් සම්මේලනයට මුදල් හිමිවන තරගාවලියේ නිර්මාණය මගේ. මම සංකල්පයක් දීලා කරන විධිහ පෙන්නුවා. සල්ලි ගලන තරගාවලියක්.

ශ්‍රී ලංකාව ඇතුළේ ඔබ මොනවද වෙන කරලා තියෙන්නෙ?

යුද්ධයට ගිය අපේ වීරෝධාර රණවිරුවෝ වෙනුවෙන් රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව නැවත නිර්මාණය කළේ මගේ වැඩක් විධිහට. ඒක පටන් ගත්තෙ 2001 වසරේදියි. අරමුණක් නැතිව හිටපු අපේ රණවිරුවන්ගේ ජීවිතවලට යළි අරමුණක් ගේන්න මම කටයුතු කළා. ඒ එක දෙයක් විතරයි. මම කතාකරනවාට වඩා මා ගැන සොයා දැනගන්න දේවල් ගැන කතාකරන්න මම කැමතියි.

ඔබ ආසියානු ටෙනිස් සම්මේලනයේ මහ ලේකම්වරයා?

ඔව්. 2006 වසරේ ඉඳලා නිතරගයෙන් පත්වෙනවා.

දැන් ඔබ ඔලිම්පික් සභාපතිවුණොත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

ක්‍රීඩා සංගම්වලට සහය දැඩිකරලා පොදු රාජ්‍ය මණ්ඩලයීය, ආසියානු පදක්කම් ජයග්‍රහණය ඉහළ නංවා ගැනීම, 2020 ඔලිම්පික් තරගාවලියට කුසලතා මත ක්‍රීඩා සංගම් කීපයක් තෝරාගෙන ඒ සම්මේලනවලට වැඩි සහයෝගයක් දැක්වීම. විදේශීය පුහුණුව හැකිතාක් ලබාදීම, දේශීය පුහුණුකරුවන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට කටයුතු කිරීමට අදාළ සංගම්වලට උපකාර කිරීම. ක්‍රීඩාවේ ප්‍රගතිය සඳහා වගවීම හා විනිවිද භාවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීම කෙටියෙන් කියන්න හැකියි.

ඔබ රට අඳුරේ තබා මුදල් උපයන ජාවාරම්කාරයෙක් කියලා චෝදනා කරනවා?

රට අඳුරේ තබනවා කියන චෝදනාවට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඇත්තම කියනවා නම් මම රටම එළියේ තියන්න උත්සාහ කරන මිනිසෙක්. වසර දහයකින් මෙපිට මම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරලා නැහැ. ඒක තමයි ඇත්ත.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments