සිනමාවේ කැරලිකරුවාගේ නික්ම යෑම | Page 4 | සිළුමිණ

සිනමාවේ කැරලිකරුවාගේ නික්ම යෑම

ප්‍රවීණ චිත්‍රපට විචාරක සිරිල් බී. පෙරේරා ප්‍රමුඛ සිනමා විචාරකයන් විසින්, මෙරට සිනමාවේ වම් ඉවුරේ සිනමාකරුවන් ලෙස හැඳින්විය හැකි සිනමාකරුවන් තිදෙනකු හඳුනාගෙන තිබිණි. ඔවුන් තිදෙනාගේ සිනමා භාවිතාව විචාරකයන් විසින් දැක තිබුණේ ඔවුන්ගේ නිර්මාණ තුළින් ප්‍රකට කළ දෘෂ්ටියෙහි වූ දේශපාලනමය ස්වරූපය මුල් කොටගෙන ය. වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ හා ධර්මසිරි බණ්ඩාරනායක යන සිනමාකරුවෝ ඉහත විරුදාවලියට හිමිකම් කීවෝ වෙති. සමකාලීන සමාජ ගැටලු තම නිර්මාණ සඳහා විෂයය කරගැනීමට රුචියක් දැක්වූ මොවුන්ගේ සිනමා කෘති මඟින් එතෙක් බොහෝ සිනමාකරුවන් විසින් විෂයය කරගැනීමට කල්පනා නොකල අනුභූතින්, තේමාවන් පුළුල් දේශපාලන සන්දර්භයක් තුළ සාකච්ඡා කිරීමට නිර්භීත වූහ. වම් ඉවුර කෙමෙන් කෙමෙන් පාළු වී යන්නේද කියා සිතෙන්නේ වම් ඉවුරේ දැවැන්තයන් දෙදෙනෙක්ම දැනටමත් දිවිසැරියෙන් සමුගෙන ගොස් ඇති බැවිනි.

පළමුවැන්නා වසන්ත ඔබේසේකර වූ අතර දෙවැන්නා ලෙස ආචාර්ය ධර්මසේන පතිරාජ සිනමාව ප්‍රමුඛ කලා ක්ෂේත්‍ර රැසක විසාල හිඩැසක් ඉතිරි කරමින් දැයෙන් සමු ගත්තේ පසුගිය ඉරිදා අලුයම් කාලයේ ය. තුන්වැන්නා ලෙස හැඳින්වෙන ධර්මසිරි බණඩාරනායක වම් ඉවුරෙහි තනි වී සිටී. ඔහුගේ සිනමා සම්ප්‍රදානයෙහි විශිෂ්ට ඵලයක් සේ සැලකෙන ‘තුන්වන යාමය’ චිත්‍රපටයේ සංරක්ෂිත පිටපත ඉන්දීය රසායනාගාරයකින් ලබාගැනීමට අවශ්‍ය විසාල මුදලක් සොයාගැනීමෙහි දැවැන්ත අරගලයකට මේ දිනවල මුහුණ පා සිටින බව දැනගන්නට ලැබේ. ඔහු විසින් ඔහු හැඳින්වූ විරුදාවලිය එනම් ‘වම් ඉවුරේ සිනමාකරුවා’ යන්න වම් ඉවුරෙහි ම තබා, සිනමාවෙන් සමු ගැනීමේ කල්පනාවක සිටින බව ද කියැවේ. හැත්තෑවසරක ඉතිහාසයක් සතු සිංහල සිනමාවේ පෙරළිකාර අධ්‍යක්ෂවරයකුගේ ඉරණම එතරම් ශෝකජනක ය. මේ පසුබිමෙහි ධර්මසේන පතිරාජ වැන්නකුගේ සමු ගැනීම මෙරට සිනමාවට එල්ල වූ දරුණු ප්‍රහාරයක් වැන්න.

‘වම් ඉවුරේ’ යන්න කෙසේ වෙතත් ඔහු ‘සිනමාවේ කැරලිකරුවා’ ලෙස හැඳින්වීමට මම වඩාත් කැමැත්තෙමි. ආචාර්ය ධර්මසේන පතිරාජ යනු සිනමාකරුවෙක් පමණක් ද? අප දන්නා තරමට, ඔහු කලා ක්ෂේත්‍ර රැසක විශිෂ්ට භූමිකා නිරූපණය කළ බහුවිධ කුසලතා සතු වූ මෑතකාලීන කලා හා සංස්කෘතික ඉතිහාසයෙහි නව පරිච්ඡේදයක් විවර කළ කලාකරුවෙක් වන්නේ ය. සිනමාව ඔහුගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍යය වූව ද, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ භූමිකාව, නාට්‍ය රචක භූමිකාව සාහිත්‍යයෙහි පරිවර්තක භූමිකාව, ටෙලිනාට්‍ය කලාවෙහි අධ්‍යක්ෂ චරිතය ආදි භූමිකා නිරූපණයෙහි ලා පතිරාජ ප්‍රකට කළ ප්‍රතිභාව විශිෂ්ට ය. මේ සියලු භූමිකා අතර ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ට ගේය කාව්‍ය රචකයා ද, තවත් අවස්ථාවක පද්‍ය කාව්‍ය රචකයා ද කෙටිකතාකරුවා ද හමු වේ. නිර්මාණාත්මක කලාංශ රැසක විශිෂ්ටයකු වූ පතිරාජ, සිංහල සිනමාවේ දෙවන සුසමාදර්ශය (Paradigm) ලෙස ආචාර්ය සුනිල් සෙනෙවි විසින් හඳුන්වා දී ඇත.

ඔහුට අනුව පළමු සුසමාදර්ශය වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. ධර්මසේන පතිරාජ සිනමාවට අත්පොත් තබන්නේ ‘සතුරෝ’ නම් වූ කෙටි-චිත්‍රපටයෙනි. එහිදී ඔහු විසින් රැකියා වියුක්තිය මුල් කොටගත් මෙරට තරුණ පරපුරේ අසහනකාරි හැඟීම් මනාව ග්‍රහණය කොට ගනිමින්, කලාවෙහි ඔහුගේ දෘෂ්ටිය මේ යැ යි හඟවයි. පතිරාජගේ සිනමා නිර්මාණ 1970, 1980, 2000 යන දශක තුළ මෙන් ම 2010 දශකය දක්වා ම විහිදී-පැතිරී යන්නකි. මෙහිදී හැත්තෑව හා අසූව දශක විශේෂ වන්නේ එකී දශකද්වය තුළ ඔහුගේ විශිෂ්ට සිනමා කෘති මෙරට සිනමා වංශකතාවට එක් වන බැවිනි. මෙහිදී ‘අහස් ගව්ව’ (1974), ‘පොන්මනී’ (1977) ‘බඹරු ඇවිත්’ (1978) හැත්තෑව දශකය නියෝජනය කළ පතීගේ නිර්මාණ වූ අතර, ‘පාරදිගේ’ (1980) ‘සොල්දාදු උන්නැහේ’ (1981) යන චිත්‍රපට හා 2017 තිරගත වූ ‘ස්වරූප’ සිංහල සිනමාවේ ධර්මසේන පතිරාජ ලකුණ සටහන් කළ නිර්මාණ වේ. ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘මතුයම් දවස’, ‘ෂෙල්ටන් හා කාන්ති’, ‘සිර කඳවුර’ (විනාශ වූ), ‘වාසුළි’ (තිරගත නොවූ) හා ‘සක්කාරං’ පතිරාජගේ සෙසු සිනමා කෘති වූව ද,විනාශ වූ හා තිරගත නොවූ චිත්‍රපට හැර අනෙක් නිර්මාණ තුළ මුල් යුගයේ පතිරාජ විසින් විශද කළ සිනමාත්මක හෝ කලාත්මක ප්‍රතිභාව නොවූ බව යි, විචාරක මතය.

සිනමා මාධ්‍යය පිළිබඳ පතිරාජගේ මනා අවබෝධය පෙනුණු අතර, විෂයයාත්මක හා තේමාත්මක වශයෙන් එහි වූ කාලීන අගය පතීගේ අනාගත සිනමා කාර්යසාධනයේ පැහැබර දිශානතිය සටහන් කළ සිනමා කාර්යය වී ය. අහස් ගව්වෙහි සාකච්ඡා කෙරුණු රැකියා විරහිත තරුණ පරපුරෙහි අර්බුදය සතුරෝ කෙටි-චිත්‍රපටයෙන් සාකච්ඡා කළ විෂයයෙහිම දිගුවක් ලෙස පෙනේ. නාගරික මධ්‍යම පාන්තික තරුණ පරපුරෙහි අසහනයට මුල් වූ රැකියා විරහිත තරුණ පරපුරේ මනෝභාව, අපෙක්ෂා භංගත්වය හමුවේ ඔවුන් මුහුණ දෙන අභියෝග, අවසන ඔවුන්ගේ ඉරණම තීරණය වන ආකාරය පතී සිනමාවට නඟන්නේ දේශපාලනික මුහුණුවර මෙන්ම එවකට නිතර ඇසුණු සමාජවාදි යථාර්ථ සංකල්පය ද අඩු-වැඩි වශයෙන් මුසු කරගනිමින් කරන ලද නිර්මාණ කාර්යයක් වී ය. 1977 දීම පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ භාෂිත චිත්‍රපටය වූ ‘පොන්මනී’ එවකට යාපනයේ පැවති ගතානුගතික අර්ධ වැඩවසම් සමාජයෙහි ස්ත්‍රියකට මුහුණ පෑමට සිදු වන කුලපීඩනය, විවාහයේ දී දෑවැද්ද ජීවිත කෙරෙහි කරනු ලබන බලපෑම, පන්තිය, ආගම වැනි සංස්ථා ජනජීවිතය අවුල් කරන ස්වභාවය පැවසීම පතිරාජගේ අරමුණ වූවත් දෙමළ ප්‍රේක්ෂකයන් විසින් එය ග්‍රහණය කොටගත් බවක් නොපෙන්වී ය.

‘බඹරු ඇවිත්’ පතිරාජගේ සිනමා නිර්මාණාවලියෙහි විශිෂ්ටතම ඵලය වේ යැ යි විශ්වාස කරමි. සිනමාකරුවකු ලෙස ඔහුගේ පෙර චිත්‍රපටවලින් නොපෙන්වූ පරිණත බවක්, පැසුණු ස්වභාවයක් පෙන්වීමට සමත් වන්නේ විශිෂ්ට නළුවරණයක මහිමයෙනි. ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග තිදෙනාගේ විශිෂ්ට රංගන ප්‍රතිභාව සමග මනාව සුසංයෝගි වූ ප්‍රෙමසිරි කේමදාසගේ තේමා සංගීතය හා ගීතය ගිනියම් වූ මුහුදුබඩ ගම්මානයක ගිනියම් වූ මිනිස් සිරුරු හැසිරෙන අන්දම, නාගරික නව ප්‍රාග්ධන හිමි පන්තිය නියෝජනය කරනු ලබන තරුණ ආගමනය හා ඉන් පසු ධීවර ගම්මානය කැලඹෙන හා එහි ජීවිත මුහුණපාන ඛේදවාචකය අපූරු සිනමා බසකින් කලාත්මකව කීමේ ගෞරවය පතිරාජ හිමි කරගනී. සමාජ දේශපාලන යථාර්ථය මතු කිරීමේදී ස්ත්‍රී-පුරුෂ සබඳතා, බිඳවැටෙන පෙම් සබඳතා, මිනිස් ඝාතන මනා සංයමයකින් යුතුව රූප බසින් කීමෙහි ලා පතිරාජ දක්වා ඇති ප්‍රශස්තභාවය කැපීපෙනේ. අසූව දශකයේදී පතිරාජ විසින් නිර්මිත ‘පාරදිගේ’ හා ‘සොල්දාදු උන්නැහෙ’ චිත්‍රපට ද්වය ද පතිරාජ අනන්‍ය ලකුණ මනාව සටහන් කළ නිර්මාණ වේ. සම්මත මුල-මැද-අග කතාන්තර ආකෘතියකින් තොරව, චන්දරේ හා ස්වර්ණා ගේ පෙම් සබඳතාවේ අනියම් පලයක් ලෙස ස්වර්ණා ගැබ් ගත් පසු ගැබ විනාශ කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමෙහි අරගලයෙන් පරාජය වූ කල්හි චන්දරේ ස්වර්ණා විවාහ කරගැනීමේ තීරණයට එළැඹේ. සාහිත්‍යමය තිර නාටකයකට වඩා සිනමා මාධ්‍යයේ මූලික ව්‍යාකරණ කෙරෙහි අවධානය යොමු කළ තිර නාටකයක් ‘පාර දිගේ’ හි වන බවයි පැවසෙන්නේ. පතීගේ මුල් චිත්‍රපට තුළ දිස් වූ දේශපාලනීය දෘෂ්ටිය පාරදිගේ චිත්‍රපටයෙහි නොවී යැ යි ද ඇතැම් විචාරකයෙක් පවසා තිබිණි. ‘පාර දිගේ’ හි චරිත සැබෑ මිනිසුන් හා ගැහැනුන් ලෙස මේ මනුසත් උයනේ සිතින් නො ව, කයින් ජීවත් වන්නන් ලෙස නිරූපණයෙහි ලා පතිරාජ තම අධ්‍යක්ෂණ භූමිකාව ඔස්සේ අණසක පතුරුවයි.

‘සොල්දාදු උන්නැහෙ’ පතිරාජගේ අනෙකුත් සියලු චිත්‍රපට අබිබවමින් විෂයය කොටගත් අනුභූතියෙන් විශද වන දේශපාලනික හා සමාජ යථාර්ථය සිනමානුරූපීව කීමට සමත් වූ ප්‍රයත්නයකි. පරමාධිපත්‍යය, නිදහස පිළිබඳ ප්‍රශ්න කිරීමට පතිරාජ, සොල්දාදුවාත්, පේමක්කාත්, විලී මහත්තයාත්, සයිමන් අය්යාත් යන චරිත උපයෝගි කරගනී. ධනේශ්වර ක්‍රමය විසින් ජනනය කෙරුණු නොපිට හැරවූ සම්බන්ධතා මාලාවක් සොල්දාදු උන්නැහෙට වස්තු වූ බව මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා තිබිණි.

ධර්මසේන පතිරාජගේ අවසන් චිත්‍රපටය ලෙස 2017 වර්ෂයේදී තිරගත වූ ‘ස්වරූප’ ඔහුගේ සිනමා නිර්මාණ කාර්යාවලියෙහි විශිෂ්ටතම කෘතියක් ලෙස ඇතැම් විචාරකයකුගේ මතය වූව ද ඒ සඳහා නිසි ප්‍රේක්ෂක විචාරක අවධානය නොලැබුණු බව පැවසේ. එහෙත් ‘ස්වරූප’ පිළිබඳ කතිකාව පැවැත්වෙමින් පවතින බව දනිමි. සිනමාව හැරුණු කල ධර්මසේන පතිරාජ සිංහල ටෙලිනාට්‍ය කලාවෙහි විශිෂ්ටයකු බවට පත් වී ඇත්තේ තිලක් ජයරත්න, මහාචාර්ය නිමල් සේනානායක වැන්නන්ගේ තිර නාටක ඇසුරෙන් නිෂ්පාදනය කළ ‘කඩුල්ල’, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘මායා මන්දිර’ හා තවත් ටෙලි නිර්මාණ කිහිපයක්ම එකී කලා කේෂ්ත්‍රයට එක් කරමිනි.

විශ්වවිද්‍යාල ආචාර්ය භූමිකාව පතිරාජගේ වෘත්තීය ජීවිතය යි. කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය මණ්ඩපය, රුහුණු විශ්වවිද්‍යාලය, හොරණ ශ්‍රීපාලි මණ්ඩපය හා කොළඹ විශ්වවිද්‍යාලය, ඔහු තම දැනුම බෙදාදුන් විද්‍යස්ථාන යි. වේදිකා නාට්‍යයේදී වරෙක ඔහු හොඳ ම පරිවර්තිත නාට්‍ය පිටපත් රචකයා ය. 1971 සිංහල නාට්‍ය උලෙළේ දී ඔහු විසින් පරිවර්තනය කොට නිෂ්පාදනය කළ අයෙනෙස්කෝගේ ද චෙයාර්ස් පරිවර්තනය සඳහා හොඳ ම පරිවර්තනයට හිමි සම්මානය පතිරාජ හිමිකර ගන්නේ ය. සිංහල නාට්‍ය ඉතිහාසයෙහි තවත් විශිෂ්ට නිර්මානයක් සේ සැලකෙන ධම්ම ජාගොඩ නාට්‍ය නිෂ්පාදනය, ‘කොරා සහ අන්ධයා’ රචනය ද පතිරාජගේ ය. සාහිත්‍යය ඔහු පාසල් සමයේ සිට පෙම් බැඳි කලාංශය යි. මහනුවර ධර්මරාජයේ දීප්තිමත් සිසුවකු ව සිටිය දී ම ඔහු කෙටිකතාකරණයට පිවිසේ. පේරාදෙණිය සරසවියේ දී ඔහු මහාචාර්ය සරච්චන්ද්‍ර සෙවණෙහි සිංහල ගෞරව උපාධිය දිනාගනී.

ශිෂ්‍ය මාණවකයකුව සිටිය දී ම ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ තිරනාටකය රචනා කිරීමට එක් වී එහි සහාය අධ්‍යක්ෂවරයෙක් ද වන්නේ ය. සාහිත්‍යකරුවකු ලෙස පතී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය උලෙළේ හොඳම පරිවර්තිත නවකතාව සඳහා ඔහු විසින් පරිවර්තනය කරන ලද මෙක්සිකන් නවකතාකරු, ජුවාන් රුල්ෆෝ (Juan Rulfo) ගේ පෙඩ්‍රෝ ‘පරාමෝ’ නවකතාවේ පරිවර්තනය උදෙසා ය. මේ සටහන නිමා කරන්නට පෙර පතිරාජගේ නිර්මාණ ප්‍රතිභාව දිදුලන තවත් එක් නිර්මාණයක් පිළිබඳ සටහන් කළ යුතු ම වේ. එනම්: ගේය කාව්‍ය රචකයකු ලෙස ඔහු විසින් ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ චිත්‍රපටය සඳහා රචනා කරන ලද ‘හෙමින් සැරේ පියා විදා’ ගීතයයි. ප්‍රේමසිරි කේමදාස, ටී එම් ජයරත්න හා සුනිලා අබේසේකර සුසංයෝගයේ මිහිරිතම ඵලය ලෙස මේ ගීතය සිංහල චිත්‍රපට ගීතාවලියේ විශිෂ්ටතම ගීත අතර එක් ගීයක් ලෙස දශක ගණනාවක් මෙරට සිනමා ප්‍රේක්ෂක හා ශ්‍රාවක හදවත්හි රැඳී තිබෙණු නිසැක ය. අද දවසේ ආචාර්ය ධර්මසේන පතිරාජ අප අතර නැති වූව ද, ඔහු විසින් මෙරට සිනමාව ප්‍රමුඛ කලා කේෂ්ත්‍ර තුළ ඉතිරි කොට තබා ගොස් ඇති නිර්මාණාවලියේ සුවඳ සදාකල්හි මෙරට ප්‍රබුද්ධ රසික ජනයාගේ හදවත් වටා දැවැටෙමින් පවතිනු නිසැක ය. අහස් ගව්වෙහි තනි නොවී සිටිනා පතී වෙනුවෙන් ලියැවුණු මේ කෙටි සටහන ඔහුගේ ම චිත්‍රපට ගීතයක කොටසකින් නිමා කරන්නට සිතමි.

 

කඳුළක් සුසුමක් හදින් නැඟෙන තෙක්

එකමුතු වී අපි ඉමු මිතුරෝ

එන්න මගේ පිය මිතුරෝ

Comments