චුන්ද පාපී වත | Page 4 | සිළුමිණ

චුන්ද පාපී වත

“තවද කුසලින් දුරු වන්නවුන්ට අකුසල්හි ආදීනව දක්වනු සඳහා චුන්ද නම් ඌරු වැද්දාගේ වස්තුව දක්වමු.” මේ චුන්ද සූකර වස්තුවෙහි පෙරවදනයි. ධර්මසේන යතිවරයන් වහන්සේ කෘතිය ආරම්භයෙහි ද කීවේ “යම් කෙනෙක් නුවණ මදවන් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම්හි හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් වූ ග්‍රන්ථයක් කෙරෙමි.” යන්නයි. කතුවරයාගේ මූලික අභිප්‍රාය වනුයේ කුසල් අකුසල් හඳුන්වා දීමයි. ඒ සඳහා උන්වහන්සේ ත්‍රිපිටකයෙහි එන සූත්‍ර දේශනා ඉදිරිපත් කරන්නට ගියේ නැත. කුසල් මග අකුසල් මග කවරේද යන්න පැහැදිලි කෙරෙන ධර්ම කථාවන් ප්‍රබන්ධ කළහ. ඒවා පසිඳුරන්ට දැනෙන සේ ඉදිරිපත් කළහ. කථා රසය අඩු නොකොට ධර්මය සියුම් ලෙස ග්‍රහණය කරවූහ.

දඹදෙණි අවධිය සාහසික යුගයක් අවසන ගොඩ නැ‍ඟෙන නව යුගයකි. මාස විසින් වැනසුයේ බෞද්ධ වෙහෙර විහාර දාගැබ් පමණක් නොව මනුෂ්‍ය ධර්ම ද වනසන ලදී. ඒවා පුනරුත්ථාපනය කිරීම සරල කාර්යක් වූයේ නැත. එහේත ජනයාට පැවති එකම මාධ්‍ය ධර්ම සාහිත්‍ය මාධ්‍යයයි. එය කෙතරම් ප්‍රබල වීද යන්න ප්‍රකට කෙරෙන්නේ සද්ධර්මරත්නාවලියෙනි. මිනිසුන් තුළින් හිරි ඔතප් බැහැර වීම නිසා ඕනෑම පාපයක් කිරීම කෙරෙහි චකිතයක් නොවුණු වටපිටාවකට පාපයෙහි බිය ගෙන හැර දැක්වීම සඳහා මෙවැනි ප්‍රබන්ධයක් කරන්නට ඇත.

චුන්ද නමින් යුත් වැද්දෙක් දෙව්රම් වෙහෙර අසළම ජීවත් වෙයි. ජීවිකාව ඌරන් මරා විකිණීමයි. වසර පනස් පහක් පුරා ම ඔහු මෙම ජීවිකාව කළේය. ඔහු ගම්වලට ගොස් ගම්වැසියනට වී සහල් ආදිය දී ඒ වෙනුවෙන් ඌරු පැටවුන් රැගෙන විත් පෝෂණය කොට වැඩුණු විට මරා මස් විකුණා ජීවත් වීමට ඔහු පුරුදු වී සිටී. එසේ ම චුන්ද වැද්දාට මස් අනුභව කරන්නට අවශ්‍ය වූ විට ඌරකු මරා ගනී. එම අවස්ථාව ධර්මසේන හිමියන් ඉදිරිපත් කරන්නේ එම අවස්ථාව හොඳින් දැක පුරුදු අව‍බෝධයකින් ද යුතුව බව වැටහෙයි.

“ඒ හූරා තර කණුවෙක නොසැලෙනා ලෙස බැඳ සිටුවාලා මස් බොල් වනු නිසාත් පව් බොල් වනු නිසාත් සිව්රැස් මුගුරකින් තලා මස් බොල් වූ නියාව මුත් පව් බොල් වූ නියාව නොදැන තමාගේ චිත්ත ශුද්ධියක් නැතත් ඌගේ ශරීරශුද්ධිය නිසාත් ඌගේ පුරාකෘත අකුසල කර්මයෙන් භාගයක් වුවත් සෝධන්ට අවීචියේදී තමාගේ කටත් දල්වන ලෙසට ඌගේ කටත් දල්වා කට නොපියෙන ලෙසට දඬුකඩක් ගන්වාලා ලෝ සාළුවෙන් තමා කට ලෝ දිය වත් කරන ලෙසට ඌගේ කටත් යසැන්දකින් තරව කකියා ගිය හුණු පැන් වත් කෙරෙයි” (118 පිට)

ඌරු වැද්දාගේ බිහිසුණු සත්ව ඝාතක උපක්‍රමය කියවන්නාට අසන්නාට ඇති කරන්නේ මහත් ම වූ පිළිකුලකි. අනෙක් පසින් බියකි. එමෙන් ම අහිංසා සිතුවිල්ලකි. මස් බොල් වන්නට වැද්දා ඌරාට පහර දෙන්නේ තමන්ගේ ම පව් බොල් කර ගන්නාක් මෙනි. තමාගේ සිත පිරිසුදු කර නොගන්නා පව්කාරයා ඌරා පිරිසුදු කරයි. ඒ ඌගේ ශරීරය අභ්‍යන්තරයට ලෝ දිය වැක් කිරීමෙනි. ඒ සඳහා ඌරාගේ කට ඇර වසන්නට නොහැකි වන සේ දඬු කඩක් ගසන බව ද කියයි. එය පව්කාරයට අවීචියේදි වත් කෙරෙන ලෝදියට ම සමාන කෙරෙයි.

එසේ වන් කල ලෝකිය ඌරාගේ කුස තුළ වේදනා ඇති කරමින් අධෝ මුඛයෙන් පිටව යෙයි. ඌරාගේ කුස අසූචි එසේ බැහැර කර ගන්නා චුන්ද පාපියා අනතුරුව හූරාගේ පිට වත් කරයි. එවිට සම දැවී ගැලවී යයි. අනතුරුව හිස ගසා බොටුවෙන් වැගිරෙන ලේ බදුණකට පුරවා ඒ මත සිටිමින් අඹුදරුවන් ද සමඟ කෙළියි. මස්, කා ඉතිරිය විකුණා දමයි. අවුරුදු පනස් පහක් පුරා චුන්ද පාපියාගේ දිවිය ගෙවී ගියේ මෙසේය.

කතාකරුවා චුන්ද සූකරගේ පාපී ක්‍රියාව ඉදිරිපත් කළේ ඌරු කොටුවක අදත් සිදු වන බිහිසුණු ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයෙනි. යතිවරයා එම අවබෝධය ලබන්නේ සමාජයෙනි. ගැමි ජන දිවියෙනි. රාජසභා කවියෙකු නොවී ධර්මසේන හිමියෝ හැම විටම මං තොට සරමින් ජන දිවිය නිරීක්ෂණ කළ එකල විසූ සමාජ ගවේෂකයෙකි. මිනිසුනගේ මෙවන් පාපී ක්‍රියා අපමණ උන්වහන්සේගේ නිරීක්ෂණයට හසු වීය. මිනිසුන් පව් පුරවා ගන්නා ආකාරය දත් යතිවරයා එය නොකරන්නැයි ඍජුව නොකියා, උපදේශාත්මකව එහි ආදීනව කියා පෑමෙන් ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයකු බවට පත්වෙයි.

මරණාසන්න මොහොතේ මොහුගේ ගති නිමිත්ත වූයේ අවීචියෙහි නැංවෙන මනා ගිනිදැල්ය. එවිට පිහිට වන්නට කිසිවෙක් නැත. තමා කළ ක්‍රියාව තමාම රැගෙන යා යුතුය. අවසන දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් චුන්ද පාපියා විඳි වේදනාව කතුවරයා පැහැදිලි කරන්නේ කවර කාලයක කවර පාපියකුට වුව අදාළ වන පරිද්දෙනි. “හූරු හඩ හඬමින් ඉදිරියේ දොරටත් පෑළ දොරටත් බැරෑඹු ගා ගෙන දිවෙයි. ගෙයි මිනිස්සු මූ තරයේ අල්වා ගෙන මොරගාලන්ට දැල්වූ කට පියති. හූරන් කට දඬු ගැන්වූ හෙයින් කට නොපියහි හඬා ම ඇවිද්දී. මූගේ ගෙට දෙකෙලවර ගෙවල් සතුන් සතක් නියායෙන් ගෙවල් තුදුසෙක මිනිස්සු රෑ එක නින්දක් නොලැබෙති. වියරු බල්ලෙකු මෙන් ඈත මෑත දිවය හෙයින් ගෙයි දොරවල් හයා බැදලා පිටත රැකගෙන සිටිති.”

මේ ඉදිරිපත් කිරීම බිහිසුණු විපාකයයි. එය පාපීන් වෙනුවෙන් බිහිසුණු පාපියෙකුට එම දිවියේදී ම අත්දකින අත්දැකීම කතුවරයා ඉදිරිපත් කළේ එදා යුගයේ පාපී මිනිසුන් වෙනුවෙනි. මේ පිළිබඳ නූතන කදිම නිදසුනක් මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් ලියූ “දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ නම් කෘතියෙහි එයි. මෙවන් පාප ධර්ම කළ මිනිසුන් රැසකගේ මරණ අවස්ථාව නිරීක්ෂණය කළ එතුමා චුන්ද පාපියා විඳි වේදනාකාරී විපාකය ම විඳි අයුරු පෙන්වා දී තිබෙයි. අවසන චුන්ද සූකරයා පනස් පස් වසව අන්තංකල්පයක් ආයු ඇති අවීචියෙහි ඉපදිණි.

පිඬු සිඟා වඩින භික්ෂූන් චුන්ද සූකරගේ විලාපය දින සතක් පුරා එක දිගට ඇසීමෙන් බුදුරදුන් වෙත කළ ප්‍රකාශය ඔස්සේ ඉස් මතු කෙරෙන්නේ ප්‍රබල හාස්‍යයකි. “ස්වාමිනී චූන්ද සූකරිකයා දොරවල් පියාගෙන හූරන් මුර ගාව ගාවා මරන්නේ අදට සතියය. උගේ මගුලත් ඇතැයි සිතම්හ” යනුවෙන් එය දැක්වේ. චුන්ද සූකර මංගල්‍යයක් වෙනුවෙන් මස් ගන්නට ඌරන් මරන හඬ ඇසෙන බවයි එයින් කියවුණේ, එනම් චුන්ද සූකරයාගේ කෑ ගැසීම කවරාකාර ද යන්න ප්‍රකට කෙරෙන අවස්ථාවයි. එනම් එය පනස් පස් වසක් ඌරන් මරද්දී ඌරන් විසින් නැඟූ මර විලාපයයි. එවිට බුදු රදුන් වදාළේ මේ ඌරන්ගේ මරහඬ නොව ඌ විසින් ම නගන්නා වූ මරහඬ බවයි.

මේ අනුව චුන්දසුර පාපියාගේ කතා පුවත කවර කාලයට වුව පාපියන්ට කරන ලද ප්‍රබල උපදේශයකි. පාපයට අර්ථකථන සෙවීම පහසු නොවේ. එහෙත් තමාටත් අන්‍යයන්ටත් හානියක් අයහපතක් වන ලෙස සිතන සිතිවිලි මාත්‍රයක් වුව පාපයකි. එය ප්‍රබලතම කෙලෙස් ධර්මයකි. එහි විපාකයෙන් මිදිය හැකි තැනක් අහසෙහි ද නැත පොළොවෙහි ද නැත. වෙනත් කවර අවකාශයක ද නැත. එබැවින් පාපයෙන් මිදී ජීවත් වීම ම උතුම් බව චුන්ද පාපී වත උගන්වන උපදේශයයි.

Comments