නිදහස ගෞරවයෙන් සමරමු | Page 2 | සිළුමිණ

නිදහස ගෞරවයෙන් සමරමු

දේශයේ නිදහස දිනාගැනීමට පුරෝගාමි වූ සියලු ජාතික නායක-නායිකාවන් මේ අවස්ථාවේ මහත් ගෞරවයෙන් සිහිපත් කරන බවත්, ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබඳ ඇති වන උදාරතර ‍චේතනාවෙන් යුක්තව ඒ සියලු දෙනා වෙත ප්‍රණාමය පුද කරන බවත් ජාතික නිදහස් දින උලෙළ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පවසයි. ඒ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි:

ශ්‍රී ලංකාව විවිධ යුගවල පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන්ට ලක් වූ අතර, අපට යටත්විජිත මානසිකත්වයකින් ගත කළ දීර්ඝ ඉතිහාසයක් තිබූ බව සියලුදෙනා දන්නා කාරණයකි.

එවන් යුගයක අප දේශයේ නිදහස සඳහා සහයෝගය දුන් ජාතික නායකයන් මේ අවස්ථාවේ සිහිපත් කරනුයේ මහත් ගෞරවයකින් හා ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබඳ ඇති වන උදාරතර චේතනාවකින් යුක්තවය.

ඒ මුළු ඉතිහාසයම ලේඛනගත වූවත් නිදහසට පෙර මේ රටට විදේශිකයන්ගෙන් ලැබුණු තාක්ෂණයත්, ආර්ථිකයත්, ඉදිරි ගමන්මගත් ගැන මතක සටහන් අප රටේ අදටත් විවිධ ස්මාරක ලෙස ජාතිය සතුව ඇත. එවන් ඇතැම් ස්මාරක අද ලෝක උරුමයන් ලෙස නම් වී ඇති අතර, එම ලෝක උරුමයන් නැරඹීමට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසකි. අපට ජාතියක් ලෙස ඉදිරියට යෑමට තවත් බාධාවක් වනුයේ, අතේ තිබෙන මුදලට සරිලන නගර නිර්මාණය කිරීමට කටයුතු කළ නිසාය. එබැවින් අප අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදය තුළ වාස්තු විද්‍යානුකූල ආර්ථිකයක් ඇති කරගෙන ලොවම අප රට බැලීමට එන නගර නිර්මාණය කර ඒ සඳහා මුදල් සපයාගැනීම අපේ මීළඟ අභියෝගය ලෙස දකිමි. ඒ සඳහා සියලුදෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස එකම ජාතියක් ලෙස අප ලොව ඉදිරියේ අභිමානවත් අයුරින් නැඟී සිටිය යුතුය.

ඒ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් නව ලොවක් බිහි කරගැනීමට හැකි වන බව අපගේ විශ්වාසයයි.

වැවයි - දාගැබයි - ගමයි - පන්සලයි සමඟ සමීපව බැඳි ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුව පවතී. එවන් අතීතයකට උරුමකම් ඇති ශ්‍රී ලාංකිකයන් වන අප 70 වන නිදහසට පා තබනුයේ නිදහස් නිවහල් ජාතියක් ලෙස අභිමානවත් අයුරිනි.

තවද, 70 වන නිදහස් උලෙළට සහභාගි වීමට බ්‍රිතාන්‍යයේ රජ පවුල නියෝජනය කරමින් පැමිණි එඩ්වඩ් කුමරු සහ ජපාන විශේෂ නියෝජිත හා චීන විශේෂ නියෝජිත ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් අප පිළිගන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස හද පිරි සතුටින් බව සඳහන් කරමි. 

Comments