28 වැනිදා ඇරඹෙන කැලණිය දුරුතු මහා පෙරහර | Page 4 | සිළුමිණ

28 වැනිදා ඇරඹෙන කැලණිය දුරුතු මහා පෙරහර

ලක්වැසි අපට ආවේණික වූ බොදු හැඳියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්ව වූත් අනන්‍යවූත් ලක්ෂණවලින්ම පොහොසත් වෙයි. තථාගත බුදුපියාණන් ප්‍රමුඛ තෙරුවන මමත්වයෙන් ගරු කොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර මෙන් ම බෞද්ධ සම්ප්‍රදායයන් හා සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කිරීම තම දිවියේ එක් කොටසක් ලෙස සලකන ලක්වැසියෝ ගැඹුරු අවබෝධයකින් ද සුවිශේෂී කැපවීමකින් ද ඊට දායක වෙති.

සෑම වසරකම දුරුතු මස උදාවීමත් සමඟ බුදුපියාණන්ගේ තෙවන ලංකාගමනය ඉමහත් ගෞරවයෙන් අනුස්මරණය කරමින් ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයෙහි පැවැත්වෙන දුරුතු පුණ්‍යෝත්සව මාලාවට කැලණි ප්‍රදේශයේ බොදු ජනතාව සමඟ සමස්ත ලක්වැසි බොදු ජනතාව ඉත සිතින් කැපවී දායක වනුයේ ද ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි.

සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත්වූ ඓතිහාසික කැලණිය පුදබිම සම්භාවනීය මෙන් ම සුවිශේෂී බවින් ද අනූනව ලෝකවාසී බෞද්ධ ජනයාගේ පුද පූජා සත්කාරයන්ටත් අභිවාදනයටත් විෂය වූයේ දුරාතීතයේ සිට ය. ජීවිත කාලයෙන් එක් වරක් වුව සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් කළ සියලු පව් දුරලන මහෝත්තම පින්කමක් ලෙස ලක්දිව බොදු ජනයා ඉතිහාසය පුරා පිළිගනු ලැබුයේ එම සුවිශේෂත්වය නිසාම විය යුතු ය.

විවිධ අර්ථයන්ගෙන් ලංකාවේ ජන සමාජය නැවුම් මුහුණුවරක් ගෙන ඇති පසුබිමක මෙවර ද කැලණි විහාරයේ දුරුතු පුණ්‍යමහෝත්සවය ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන උභය විහාරාධීශ්වර අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිතාභිධාන නාහිමියන්ගේ මඟපෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් තෙමසක පමණ කාලයක් පුරා මහත් ශ්‍රද්ධාවෙන් ද සුවිශේෂ සම්භාවනීය හා පූජණීය බවකින් ද යුක්තව පවත්වනු ලැබීම ලංකාවාසී සියලු බෞද්ධ ජනයාගේ ප්‍රසාදානන්දයට හේතු වී ඇත. එළඹෙන දුරුතු මස 28, 29 හා 30 දිනවල පූර්ණ ඓතිහාසික පෙරහර පුණ්‍යමහෝත්සවය පැවැත්වේ.

නොවැම්බර් මස පුන්පොහෝ දින සිට පුරා තුන් මසකට අධික කාලයක් දිනපතා චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනා මාලාවකින් කැලණි දුරුතු පුණ්‍යමහෝත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියක් සමඟ ලක්වැසි සැමට සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහා පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වෙයි. පිරිත් දේශනාවට ආවේණික පෞරාණික මෙන් ම සාම්ප්‍රදායික අභිවාර හා චාරිත්‍ර විධි සියල්ල නොපිරිහෙළා සපුරමින් මෙම දුර්ලභ පින්කම පැවැත්වේ. ඊට ලක්දිව සිවු දිගින් වැඩමවන දක්ෂ හා ව්‍යක්ත පරිත්‍රාණ ධර්ම දේශකයන් වහන්සේලාගේ සහභාගිත්වය හා දායකත්වය හිමිවීම බොදු ජනයාගේ භාග්‍යයකි. දොරකඩ අස්න හා අනුශාසනා දේශනාවෙන් පරිසමාප්තියට පත්වන පරිත්‍රාණ ධර්මදේශනා මහ පින්කම දුරුතු මසින් උදා වන නව වසරේ ලක්වැසි සැමට ඉමහත් ආශිර්වාදයක් ලෙස සලකනු ලැබේ.

අනතුරුව උදා ‍වන්නේ සුවිශේෂී පෙරහර උත්සව සමයයි. පිරිත් දේශනාවට පූර්වයෙන් ද අලංකාර පරිවාර පෙරහර කිහිපයක් පැවැත්වේ. කැලණිය පොලිසිය, පිලපිටිය මහා විද්‍යාලය හා ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය සංවිධානය කරන එම පෙරහර මෙවර විවිධ අලංකාර නවාංගයන්ගෙන් ශෝභමානව අත්‍යාලංකාරයෙන් පැවැතියේ ඊට දායක, මූලික හා කාරක වූ සියල්ලන්ගේ මහත් ශ්‍රද්ධාව හා කැපවීමම හේතුවෙනි.

කැලණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංගය මෙවර අත්‍යාලංකාරයෙන් හා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහර මහෝත්සවයයි. පිළිවෙළින් ජනවාරි 28 වැනි දින උඩමළුවේ පෙරහර ද ජනවාරි 29 වැනි දින ධාතු පෙරහර ද හා 30 වැනි දින අවසන් රන්දෝලි මහා පෙරහර ද පැවැත්වේ. ඊට පරිවාර පෙරහර වශයෙන් විෂ්ණු, කතරගම හා විභීෂණ දේවාල පෙරහර එක්වේ. අඩ සියයකට ආසන්න අලංකාර ලෙස සරසනු ලැබූ අලි ඇතුන් සමූහයකින්ද, උඩරට, පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායන්ට අයත් සිය ගණනක් ශිල්පීන්ගේ වාදන හා නර්තනාංගයන්ගෙන් ද අත්‍යාලංකාර වන මෙවර පෙරහර දෙස් විදෙස් ජනයාගේ ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියට හේතුවනු ඇත. එසේම එය එළඹුණු නව වසරේ අගනුවර ආසන්නයේ මුළු දෙන මහා සංස්කෘතික මංගල්‍යය ද වනු ඇත.

ජනවාරි 31 වන දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පුන් පොහෝ දින දවස පුරා පැවැත්වෙන දාන ශීල භාවනා පින්කම් මාලාවෙන් මෙම මාහැඟි ආශිර්වාදාත්මක පුණ්‍යමහෝත්සවය නිමාවට පත්වේ.

දිවයිනේ නන් දෙසින් මෙම උත්සව හා පින්කම් මාලාවට සහභාගිවීම සඳහා පැමිණෙන දේශීය සුපින්වතුන්ගේ මෙන් ම මෙම දුර්ලභ අවස්ථාවන් සියැසින් දැක විඳ ගැනීමට පැමිණෙන විදේශික සැමට අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රදේශයේ රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධානවල සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් කටයුතු පිළියෙල කෙරේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය, පෝෂණය හා සංරක්ෂණය කිරීමේ අපගේ ‍ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ උත්කෘෂ්ටාභිප්‍රායට ආශිර්වාදය දායකත්වය අනුග්‍රාහකත්වය හා සහභාගිත්වය දක්වන පිරිස අතිවිශාල ය. කැලණිය දායක සභාවේ සභාපති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, උප සභාපති ගරු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමන්, ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා, විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ලලිත් හපන්ගම, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජයරාජ චන්ද්‍රසේකර හා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් සමන්ත පෙරේරා, දායක සභා, විහාරස්ථ සංවර්ධන සභාව, විශේෂ දායකත්වයන් සපයන පින්වතුන් සහ ආයතන ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය හා මාධ්‍ය ආයතන විශේෂ පු‍ණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතු ය.

මෙවර කැලණි රාජමහා විහාර ආලෝක පූජාවේ දායකත්වය දරනු ලබන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනයේ සභාපති සුනිල් තිලකවර්ධන මැතිතුමා ය.

 

ධම්මික ආටිගල
ප්‍රධාන බස්නායක නිලමේ,
කැලණිය රජමහා විහාරය

Comments