රුව වඩන කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් | Page 2 | සිළුමිණ

රුව වඩන කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක්

 ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙරට රූපලාවණ්‍ය කර්මාන්තය ක්‍රමවත් කිරීම සඳහා නව ප්‍රතිපත්ති සැලැස්මක් හඳුන්වා දීමට සැරැසේ. රූපලාවණ්‍ය ව්‍යාපාරවල ව්‍යාප්තිය සංවර්ධනය හා නිල නොලත් ව්‍යාප්තිය වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණැතිව නව ප්‍රතිපත්ති සැලැස්ම හඳුන්වා දෙනු ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාං‍ශයේ කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය එක්ව මෙම සැලැස්ම සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්නායක සකස් කිරීම සඳහා සමීක්ෂණයක නියැළෙති. මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය මෙරට උගත් තරුණ තරුණියන් අතර ජනප්‍රිය රැකියා උත්පාදන ක්ෂේත්‍රයක් වන බව ය.‍ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව රට පුරා තරුණ කොටස් මෙම ක්ෂේත්‍රයෙහි නියැළී සිටින බව ද එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

දිවයින පුරා විසුරුණු මොවුන් අතරින් අහඹු ලෙස තෝරාගත් ශිල්පීන් පිරිසක් මෙම සමීක්ෂණයට සහභාගි කරගෙන ඇති අතර ඔවුන් සිය රැකියාව හා ව්‍යාපාර කරගෙන යාමේදී මුහුණපාන ගැටලු සංවර්ධනය හා වැඩි දියුණු කර ගැනීම සඳහා ඇතිවන බාධා අඩුපාඩු මෙන් ම රජයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳව උක්ත ආයතනවල නියෝජිතයන් සමඟ අදහස් පළකර තිබේ. ඔවුන්ගේ අදහස් හා යෝජනා නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී යොදා ගනු ලබනු ඇත. මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙහි නියැළි ආයතන පිළිබඳ දත්ත හා සංඛ්‍යාලේඛන අමාත්‍යාංශය විසින් දැනටමත් සකස් කරමින් සිටින අතර ඒවායේ නියැළුණු පිරිසක් සඳහා පුහුණු හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. 

 

Comments