යාප­නයේ වැසි­යන්ට රසය ගෙනෙන පාන | Page 9 | සිළුමිණ

යාප­නයේ වැසි­යන්ට රසය ගෙනෙන පාන

ලෝකයේ නව ප්‍රවණතාව වනුයේ කෘත්‍රිම පැණි බීම වෙනුවට ස්වාභාවික නැවුම් පානයන් සඳහා යොමු වීමය.මන්ද ස්වාභාවික පානයන් ශරීරයට හිතකරය. රසවත්ය. පෝෂ්‍යදායකය.දේශීය ආහාර සංස්කෘතිය තුළින්ද මෙවැනි ස්වාභාවික පාන වර්ග රැසක් හමු වේ. මේ යාපනය ප්‍රදේශයේ
ප්‍රචලිත පාන
වර්ග කිහිපයකි.

ලුනු දෙහි පානය

ලුණු දෙහි ගෙඩියක් ,සිහින්ව ලියා ගත් රතු ලූනු හා අමු මිරිස් කරල් කිහිපයක් ගෙන ඒවා හොඳින් අනා ගනියි..ජලය මිලිලීටර 500ක් පමණ එක් කර හොඳින් හැඳි ගා සීත කර පානයට ගත හැකිය.
සියඹලා පානය
ඉදුණු සියඹලා උණු වතුරේ පොඟවා එය අතින් මිරිකා ජලය හා හොඳින් මිශ්‍ර කල යුතුය.
පසුව පෙනේරයකින් පෙරා සියඹලා යුෂ පසෙකින් තබයි . තල් හකුරු ඉතා සියුම් කුඩු බවට පත් කර එය මද ගින්නේ ජලයේ දමා රත් කර පෙරා ගැනේ.තල් හකුරු පෙරනය හා සියඹලා යුෂ එකට එකතු කර හොදින් මිශ්‍ර කිරීමෙන් පසුව ශීත කර පිළිගන්වනු ලැබේ.

අඹ මීකිරි පානය

නැවුම් ඉදුණු කර්තකොලම්බන් අඹ පොතු හැර එහි මදය කැබලිවලට කපයි.එයට රස අනුව මී කිරි හා සීනි එකතු කර හොදින් බ්ලෙන්ඩර් කිරීමෙන් අනතුරුව අයිස් කැට එක් කර පිළිගැන් වේ.

වද මල් පානය
රත් පැහැ වද මල් විසි පහක් පමණ භාජනයකට දමා එයට ජලය කෝප්පයක් එක් කෙරේ. පසුව මද ගින්නේ රත් කරමින් එයට රස අනුව සීනි එක් කර ගනියි.
ගින්දර අඩු කර මුල් මිශ්‍රණයෙන් අඩක් වන තුරු සිඳවා ගත් මිශ්‍රණය මිනිත්තු තිහක් පමණ නිවෙන්නට හැර පෙරා ගැනේ .මෙය සීත හෝ උණුසුම් පානයක් ලෙස පිළිගැන්විය හැකිය. අවශ්‍ය නම් මී කිරි ,ඉඟුරු හා මින්ට් රසයද එක් කරගත හැකිය.
මින්ට් පානය

මෙම පානය යටත් විජිත සමයට පෙර සිටම ප්‍රචලිතව පැවතුණ පානයකි. මින්චි කොල මිටක් දැමූ තේ පෝච්චියකට උණුසුම් ජලය දමා මිනිත්තු තිහක් පමණ වසා තැබිය යුතුය. ඉන්පසු මින්චි කොළ ඉවත් කර රස අනුව පැණි එකතු කර සීත හෝ උණුසුම් පානයක් ලෙස පිළිගැන්විය හැකිය.
(විශේෂ ස්තූතිය - යාපනයේ පදිංචි අභීරා සත්ගුණනාදන් ඇතුළු පවුලේ සැමට )

උමංගා පූජනී ගුණසේකර

Comments