ඉන්දු ලංකා 70 වසරේ සංස්කෘතික දැක්මෙන් | Page 2 | සිළුමිණ

ඉන්දු ලංකා 70 වසරේ සංස්කෘතික දැක්මෙන්

 

අපේ රටටත් අසල්වැසි ඉන්දියාවටත් පූර්ණ නිදහස උරුම වූයේ මීට වසර 70කට පෙරදීය‍. දෙරට අතර මිත්‍ර සබඳතා පැවැත්වූයේ ඊටත් වසර දහස් ගණකට පෙර සිටය. විශේෂයෙන්ම දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා මහ රහත් තුමියගේ ආගම‍නයෙන් පසු මෙරට සංස්කෘතික කලාවේ විශේෂත්වයක් සිදු විය.

එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇත්තේ සංස්කෘතික මෙන්ම වෙළෙඳ හා ආගමික ඇතුළු සියලු අංශයන්ගේ ද්වි පාර්ශ්වික සබඳතාවන්ය. මේ සබඳතා තවත් තහවුරු කරණු පිණිස දෙරටේ 70 වස‍රක නිදහස සමරනු පිණිස ඉන්දීය සංස්කෘතිකාංගවලින් සමන්විත වූ සංස්කෘතික සංදර්ශනයක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද්දේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙනි.

මේ සංස්කෘතික සංදර්ශනයට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා කතානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමැතිවරු රැසක්ම සහභාගි වූහ.මේ සංස්කෘතික උත්සවයේ බොලිවුඩ් හා ඉන්ඩියන් එක්ස්ප්‍රස් සංස්කෘතික උත්සවය යනුවෙන් පවත්වන ලද මේ සංදර්ශනයට ඉන්දියානු වයලීනය පිළිබඳ විශාරද ආචාර්ය එල්. එල්. සුබ්‍රමනියම් හා කීර්තිමත් ඉන්දියානු ගායිකා කවිතා ක්‍රිෂ්ණමූර්ති සහභාගි වන ලදී.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිරී ඉතිරෙමින් සංගීතඥයින් ඇතුළු 1500 කට වැඩි පිරිසක් මේ සඳහා පැමිණ සිටි අතර මේ ප්‍රසංගය නොමිලයේ පවත්වන ලදි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගයන් මේ ප්‍රදර්ශනය හරහා පෙන්නුම් කළ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී රබන් වැයීමක් සිදු කිරීම කාගේත් සිත් ගත් අංගයක් විය. දෙරටේ සංගීත භාණ්ඩවල විශේෂ ප්‍රදර්ශනයක්ද මෙහිදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා පැවසුවේ දෙරටේ ස්වාධීනත්වය අත්පත් කර ගැනීම සහ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වූ අභියෝගාත්මක මාවතේ සිට සිදු කළ සාර්ථකත්වය අගය කළ යුතු බවයි.

එමෙන්ම දෙරට අතර පවත්නා කිට්ටු සබඳතා ගැන විශේෂයෙන් සිහිපත් කළ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව වෙත ඉන්දියාවෙන් සපයනු ලබන සංවර්ධන ආධාර ඉදිරියේදී තවත් වැඩි කරන බව අවධාරණය කළේය.

 

 

Comments