විලවුන් ආලේපන නීති රීති තද වෙයි | Page 3 | සිළුමිණ

විලවුන් ආලේපන නීති රීති තද වෙයි

 සුවඳ විලවුන් සහ ආලේපන නිෂ්පාදනය අලෙවිකිරීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවති නීති බලාත්මක කරමින් එකී රෙගුලාසි අකුරට ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බැව් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඒ අනුව නීති විරෝධී ආකාරයෙන් වෙළෙඳපළේ පවතින විලවුන්, ආලේපන සහ එවැනි නිෂ්පාදන වටලා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව විලවුන් උපකරණ ආලේපන හා ශක්ති වර්ධක ආහාර ආනයනය කිරීම, ප්‍රචාරය කිරීම හා අලෙවිය සපුරා තහනම් කෙරෙනු ඇත. පසුගිය දෙවසරක කාලයක පටන් ඖෂධ අධිකාරිය සතුව තිබූ විලවුන් උපකරණ හා ඖෂධ ආනයනය නියාමනය කිරී‍ෙම් බලය අධිකාරියෙන් ඉවත් කර තිබූ අතර 2017 ඔක්තෝබර මාසයේ පටන් යළිත් බලගන්වා තිබේ.

දැනට වෙළෙඳ පොළේ සංසරණය වෙමින් පවතින විලවුන් ආලේපන හා එවැනි රසායනික ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර සංඝටක අඩංගු බවට පැමිණිලි ලැබී ඇති අතර ජාතික ඖෂධ අධිකාරියෙහි සහ පාරිභෝගික අධිකාරියෙහි නිලධාරින් විසින් ඒ භාණ්ඩ සොයා වැටලීම් සිදු කරන බවත් එලෙස හඳුනා ගන්නා භාණ්ඩවල අහිතකර සංඝටක ඇතොත් ඒවා වහාම තහනම් කෙරෙන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසයි.

1980 අංක 27 දරන විලවුන් උපකරණ සම්බන්ධ නියාමන පනත 2015 බල රහිත කරනු ලැබූයෙන් ගතවූ දෙවසර තුළ ප්‍රමිතියෙන් තොර බාල විලවුන් ආලේපන හා අමතර පෝෂක රැසක් මෙරට වෙළෙඳපොළ වෙත අවතීර්ණ විය.

එකී බාල භාණ්ඩ භාවිතයෙන් ජනතාව මුහුණ දුන් විවිධ සෞඛ්‍ය ගැටලු සලකා බලමින් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් යළිත් එම පනත බලන්වන ලද බවද වෛද්‍ය ජයසිංහ පැවැසීය.

මින් ඉදිරියේදී ඉහත ඝණයේ භාණ්ඩ ආනයනයේදී ඒවා රේගුවෙන් නිදහස් කිරීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැති සහතිකය ලබා ගත යුතුය. භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමෙන් අනතුරුව තම පරිශ්‍ර තුළ ආරක්ෂිතව ගබඩා කිරීමට අවසර දෙන නමුත් අධිකාරියෙහි අනුමැතියෙන් තොරව ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලබා නොදෙන බවද ඔහු කියයි.

කුමන රටකින් ආනයනිත කවර තරම් උසස් නිෂ්පාදනයක් වුවද ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අධිකාරියෙහි අවසර ලබා ගත යුතුය. 

 

Comments