මෙරට දිගම ගුවන් පාලම හෙට ජනතා අයිතියට | Page 2 | සිළුමිණ

මෙරට දිගම ගුවන් පාලම හෙට ජනතා අයිතියට

බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගමන් කිරීමේදී තිබූ අධික වාහන තදබදය මඟහැරීම පිණිස ඉදි කළ රාජගිරිය ගුවන් පාලම හෙට (08) ‍පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති-ඇමැතිවරු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වෙති.

ස්පාඤ්ඤ රජයේ ආධාර මත රුපියල් මිලියන 4,514.77ක් වැය කරමින් ඉදිකළ මේ පාලම මංතීරු 04කින් යුක්ත වන අතර, මීටර 180ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02ක්ද මේ ගුවන් පාලමට අන්තර්ගත කර ඇත. ගුවන් පාලමේ දිග මීටර 533ක් වන අතර, එය මෙරට මහා මාර්ගයක ඉදි කළ දිගම ගුවන් පාලම වෙයි.

2016 වසරේ අප්‍රේල් 19 දින ඉදි කිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලම මාස 32ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් එය කඩිනමින් මාස 20ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන්ම ඉදි කොට අවසන් කරන ලද්දේ මෙම මාර්ගයේ ඇති වාහන තදබදය දෙස අවධානය යොමු කර දිවා රෑ දෙකෙහිම සේවය කරමිනි.

මේ මාර්ගයේ වාහන ධාවන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 5ක් පමණ වූ අතර, ගුවන් පාලම ඉදිකිරීමත් සමඟ වාහන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 32 දක්වා ඉහළ යන බවද අමාත්‍යාංශය පවසයි. 

Comments