
මිනිස් සමාජයේ සංහිඳියාව සහ කරුණාව වැනි ගුණාංග තහවුරු කෙරෙන සුබ උදාවක් වේවායි තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහි මෙසේ ද දැක්වේ.
ලෝකවාසී හින්දු ජනයා සොබාදහම වෙත සිය කෘතඥතාව පළ කරනු වස් සමරන තෛපොංගල් උලෙළ නිමිත්තෙන් සුබපැතුම් එක් කරන්නට ලැබීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි.
මිනිස් සංහතිය ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේ දී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ, ගැමි ප්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදීයමින් සිටින පසුබිමක වුව, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත් එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය, මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමඟිය හා සංහිඳියාව, බෙදාහදා ගැනීමට ඇති ලැදියාව මෙන් ම මිනිසා තුළ පවතින සත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මග සාදයි.
හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා, තෛපොංගල් සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත්, නව අවස්ථා උදාකරන වසරේ ශුභාරම්භය ලෙසත් සලසති. එවන් සුබ මොහොතක අප රටේ මෙන් ම විදෙස් රටවල ද තෛපොංගල් සමරන හින්දු ජනයාගේ ජීවිත අර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි ප්‍රාර්ථනා කරන අතර, කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන් යළි යළිත් අප වෙත සමීප කරමින් තෛපොංගල් උලෙළ සමරන බැතිමතුන් සමඟ එක්වෙමි.