හස්ති ඝාතක වත | සිළුමිණ

හස්ති ඝාතක වත

පරිසරය අලංකෘත කරන්නාවූ සොබා දහමේ අපූර්ව නිමැවුමකි හස්තියා. ඈත යුගවල පවා මිනිස් මිතුරෙකුව හස්තියා සිටි බව කොසඹෑ සුවර ඝෝෂිතාරාමයේ අරගලයෙන් පාරිලෙය්‍ය වනයට ගිය බුදු හිමියන්ට ද උපස්ථාන කළ කථා පුවතෙන් පෙනෙයි. බුදුන් වනසා දමන්නට දෙව්දත් විසින් රා කළ සොළසක් පොවා මත් කොට එවූ නාලාගිරි හස්තියා බුදුන් හමුවේ සන්සුන්වූ අයුරු අපේ බුත්සරණ කෘතිය අපූර්වත්වයෙන් කියා පායි. බෝසත් කථා පුවත් අතෙරහි අපමණ පුණ්‍යවන්ත හස්තියෝ ද වෙති. හිංදු දහමෙහි නුළුනට අධිපති බවට පත් කරවන ගණ දෙවිඳුගේ හිස හස්තියෙකුගේ හිසකි. සිව්රඟ සෙනගෙහි හස්ති සෙනඟ හැම කල්හි ම යුද පෙරමුණේ ඉදිරියෙන් ම යන්නෝය. අපේ දුටුගැමුණු රජුට යුද පෙරමුණේ සිටියේ ක‍ෙඩාල් ඇතා ය.

අපේ පෙරහර අලංකාර කරන එකම සත්වයා හස්තියාය. දළදා වහන්සේ වැඩමවන්නේ හස්තියාගේ පිට මත තබාය. රාජා හස්තියා පුරා වස්තුවක් බවට පත්ව හමාරය. රටක් හැඩ කරන හස්ති පරපුර අභියෝගයට ලක්ව ඇති වර්තමානයේ දළ පූට්ටුවා ඝාතනයෙන් රට ඇලලී ගියේය. ම්ලේච්ඡ මිනිසුන් ශ්‍රේෂ්ඨ හස්තීන් දළ ලොබින් මරා දැමීමේ ඛේදවාචකයෙන් අපගේ සොබාදාහම පවා කම්පිතව අපට දඬුවම් දෙන සෙයක් පෙනෙයි.

ම්ලේච්ඡයන්ගේ ඝාතනයට හස්තීන් හසු වූයේ වර්තමානයේ පමණක් නොව ඈත සමාජයන්හි ද වූ වග සද්ධර්මරත්නාවලියෙහි එන කාසාව පරිදහන කථා වස්තුවෙන් කියවෙයි. මෙම කථා වස්තුවෙහි ප්‍රධාන කොටස් දෙකකි. එනම් වත්මන් පුවත හා අතීත කථාව ගොඩ නැගෙයි. අතීත කථාව හස්ති ඝාත කථා පුවතයි. වර්තමාන කථාව දානානිශංස කථාවයි. මෙහි පළමුව වර්තමාන කථාව කියවමු.

එක් සමයෙක සැරියුත් මුගලන් අගසව් දෙන ම පන්සීය බැගින් සඟ පිරිස ගෙන රජගහනුවරට වැඩම කරති. උන්වහන්සේලා දුටු පොහොසත් ජනයෝ දුප්පත් ජනයා ද සහභාගි කරවා ගනිමින් විශේෂ දාන මානාදිය සකසා පූජා කරති. එසේ දන් දෙන දායක පිරිස් වෙ ත සැරියුත් හිමියෝ දානානිශංස දෙසුමක් වදාරති. දන් දෙන්නන් සිව් දෙනෙකු සිටින බව උන්වහන්සේ පෙන්වා දෙති.

පළමුවැන්නා තමන් සන්තක දේ දන් දෙන අතර තවත් කිසිවෙකු ඒ සඳහා සහභාගි කරවා නොගනිති. අන්‍යයන්ට අනුමෝදන් ද නොකරවති. ඔහු මරණින් මත්තේ බොහෝ භෝග සම්පත් ලබන මුත් පිරිවර ජනයා කිසිවෙක් නොලැබෙති.

දෙවැන්නා අනුන්ගේ සහායෙන් දානමාන කරන අතර තමන්ගේ වස්තු කිසිවක් ඒ සඳහා වැය නොකරයි. ඔහු මරණින් මත්තෙහි පිරිවර ජනයා ලබති. තමන්ට රැකෙන තරමින් හෝ භෝග සම්පත් නොලබති.

තුන්වැන්නා තමනගේ වස්තුව දානමා දෙන්නට නොයොදනවා පමණක් නොව අනුන්ගේ දානයකට සහභාගි ද නොවෙති. මරණින් මත්තෙහි සිඟන වෙයි. භෝග සම්පත් ද නොලබා පිරිවර ජනයා ද නොලබා දුකසේ දිවි ගෙවති.

හතරවැන්නා තමා සන්තක වස්තුව නිර්ලෝභීව දාන විෂයෙහි යොදවමින් අන්‍යයන් ද ඒ සඳහා සමාදන් කරවා ගනිති. ඔහු මරණින් මතු උපන් හැම තැන්හිම භව භෝග සම්පත් හා පිරිවර සම්පත් නො අඩුව ලබයි.

මේ නිසා රජගහනුවර වැසියන් කරන මෙම උතුම් දානයේ ආනිශංසයෙන් බොහෝ භවගෝහ හා පිරිවර ලබන බව සැරියුත් හිමියෝ පැහැදූහ. මෙය අසා සිටි එක් නුවණැති පුරුෂයෙක් සිව්වෙනුව කියූ අනුසස් ලබන්නට සිතා අගසවු දෙනමට දෙවන දින දනට ආරාධනා කොට උන් වහන්සේලාගේ පිරිවර දහස් නමකට දානය සූදානම් කළේය. නගරයේ සියලු දෙනාට මේ දානය සඳහා ශක්ති පමණකින් දායක වන්නැයි ද ආරාධනා කළේය. ජනයා එයට දැක්වූ සහයෝගය කථාකරුවා දක්වන්නේ “අපි නමකට දෙනමකට කෙම්හ, අපි සතර පස් නමකට දෙම්හ. අපි සත් අට නමකට දෙම්හ. අපි දස විසි නමකට දෙම්හියි වට්ටෝරු කොට දුන්හ.” මේ අතරේ එක්තරා ධනවත් පුරුෂයෙක් මසු දහසක් වටිනා රන්වන් වස්ත්‍රයක් රැගෙන විත් “ඉදින් මේ දනට අඩුව තිබෙන දෙයක් ඇත්නම් තෙල පිළිය වියදම් කොට අඩුව සලසව, අඩු නැත්නම් අභිප්‍රාය තැනකට පිළිගන්වා පියව’ යි කිවූය.” ඒ අනුව දානයේ කටයුතු නිමවා මෙම අගනා වස්ත්‍රය කවරෙකුට පිළිගන්වන්නේදැයි වාදයක් ඇති විය. ඇතමෙකු සැරියුත් තෙරුන්ට ද, ඇතමෙකු මුගලන් තෙරුන්ට ද දිය යුතු බව දැන්වූ අතර ඇතමෙක් දෙව්දත් තෙරුන් වහන්සේට දිය යුතුයි කියා සිටියහ. බොහෝ දෙනෙකුගේ අදහස ‍එය වූයෙන් අවසන දෙව්දත් තෙරුන්ට මේ වටිනා වස්ත්‍රය පිදීය. එය සිව්රක් ලෙස සකසා පෙරවා සිටි අයුරු කථාකරුවා දක්වන්නේ “මිනිස්සුන් ඒ දැක මේ සිව්රු කටකරඬු මල්දමක් සේ ශරීරයත් රන්වන් කෙලෙස් මුසු නොවන හෙයින් සිතත් රන්වන් ධම්සෙනෙවි ස්වාමීන්ට නිසිය. කණුවෙක ලාපු පළඳනාවක් සේ මේ වහන්සේට නොනිසි වෙයි” යනුවෙනි. කවර තරම් උපහාසයක් මේ ඔස්සේ ඉස්මතු කෙරේ ද? මේ වටිනා සිවුර පෙරවා සිටින දෙව්දතුන් උපමා කරන්නේ කණුවක් වසා දැමූ වස්ත්‍රයක් පරිද්දෙනි.

රජගහනුවර සිට සැවැත් නුවරට පැමිණි කෙනෙකු දෙව්දතුන්ගේ මේ ක්‍රියාව දැක්වූ විට බුදුහු “මූ තමාට නොනිසි රන්වන් පිළි පෙරෙවියේ දැන් මතු නොවෙයි. යටගිය දවසත් පෙරෙවියේ ය යි” ඒ අතීත පුවත ගෙනහැර වදාළහ. එම කථා පුවත හස්තිඝාතක කතන්දරයයි.

එම කතාව අරඹන්නේ මෙසේය. “යටගිය දවස

බරණැස් නුවර එකෙක් වලට ගොසින් ඇතුන් මරාගෙන දළත් ඇත් නියත් කපා ගෙන විත් එකට ජීවත් වෙයි.” යනුවෙනි. මේ අතර එක් වාහන්තරයක දහස් ගණන් හස්තීන් පිරිසක් රිසි සේ කොල අතු කා යන ගමනෙහි පිඬු සිඟා යන පසේ බුදුවරුන් වහන්සේලා පිරිසක් දැක මේ ඇත්තු දණ නමා වැඳ නමස්කාර කෙරෙති. මේ දුටු හස්ති ඝාතකයා “මම මුන් මරා ජීවත් වෙමි” යි සිතා හස්තීන් පසේබුදුරවරුන්ට වඳින්නේ කුමක් නිසාදැයි බලා කසාවත නිසා බව දැන මෙම හස්තීන්ගෙන් මාත් වැදුම් ලබන්නට සිතා පසේබුදුවරයන් වහන්සේ කෙනෙකු දිය නාන තැනකට ගොස් සිවුරක් සොරකම් කොට පෙරවා පසේ බුදුන් නියාව අගවා වැඳුම් ලබා අවසනට යන හස්තියා අඩයටියෙන් ඇණ මරා දළ කපා මස් කපා ඉතිරි කොටස් වළ දමා යන්නට පුරුදු වීය.

මේ අතරෙහි අප මහ බෝසතුන් මෙම හස්ති පරපුරේ හස්තියෙකුව ඉපිද තම පිරිස දිනෙන් දින අඩු වන්නේ කවර හේතුවක් නිසාදැයි විමසන්නේ එක්තරා උපද්‍රවයක් ඇතැයි දැන සියලු ඇතුන් මුලින් පිටත්කොට යවා තමන් අවසනට යන්නට තීන්දු කළේය. ඒ අනුව පළමුව යන ඇතුන්ගෙන් වැඳුම් ලද හස්ති ඝාතකයා අවසනට සෙමෙන් එන බෝසත් හස්තියා දැක සිව්ර පසෙකට දමා අඩයටියෙන් දමා ගැසීය. මෙතෙක් කලක් තම සේනාව නැසූ ඝාතකයා මොහු බව දැන හස්තියා ඌ ලුහුබැඳ යන්නට විය. ඝාතකයා දුව ගොස් විශාල ගසකට මුවා විය. කතාකරුවා එය දක්වන්නේ “ගසින් මුවා වුවත් පවින් නුමුවා වූ ඔහු ගස හා එක් කොට සොඬින් බදා අල්වා ගෙන බිම ගසා මරමී සිතා” හස්තියා ලුහුබැඳි බවය.

බෝසත් බවම ප්‍රකට කළ හස්තියා මූ අල්වා නොමරා, අවවාද කළේය. බුදු පසේ බුදුන් පෙරවූ මේ සිව්රත් දරා මේ තරම් අපරාධයක් කළ කෙනෙකුට ලොව නොකළ හැකි අපරාධයක් නොමැති බව පෙන්වා මේ සිවුරේ ආනුභාවය තා දැනගනුවයි ද පෙන්වා දුන්නේය.

බුදුරදුන් දෙව්දත් පෙරදිත් මේ සිවුර අවභාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් රාගාදී කෙලෙස් පිරි අයට මේ උතුම් වස්ත්‍රය පෙරවීමට නුසුදුසු බව ම වදාළහ. මේ අනුව කසාවත් ආනුභාවය භාවිත කොට හස්තීන් මරා දළ කපා ජීවත් වූ අපරාධකරුවන් පෙරත් දැනුත් එකසේ ම අපට දැකිය හැකි වීම මොන තරම් දෛව සරදමක් නොවන්නේ ද?

Comments