
හරි වහරෙහි ලා බෙහෙවින් විමැසෙනුයේ ලියන බස් වහරෙහි යෙදුම් ය. ඒ ලියන සිංහලය නිවැරැදි ව යෙදීමේ අරමුණිනි. එ වුව ද, කියන - කථා කරන සිංහලයෙහි දු විමැසිය යුතු තැන් බෙහෙවින් ඇත්තේ ය. අද ‘හරි වහරෙහි’ දී එ බඳු තැනක් දෙකකුදු විමසමු.
1. ජාම - කට වහරෙහි ඇසෙන ‘ජාම’ යනු ‘යාම’ යන්නෙහි ම ‘ය’ වෙනුවට ‘ජ’ ආදේශ වීමෙන්, නැතහොත් සුඛ උච්චාරණය පිණිස ‘ය’ ම ‘ජ’ වීමෙන් නිපන් අයුරු පැහැදිලි ව පෙනේ. මෙහි යාම යනු ගමන් අරුතෙහි යෙදෙන වදන (භාව කෘදන්තය) නො ව කාල ප්‍රභේදයක් - දවසින් කොටසක් හැඳින්වීමට යෙදෙන වදනයි.
2. ජූල් - වෙසෙසින් රජරට පළාත්හි කට වහරෙහි ඇසෙන වදනෙකි. දිවුල් යන පලතුරු වෙසෙස හඳුන්වනු පිණිස යෙදේ. මෙ ද උච්චාරණ සුඛය නිසා ම නිපන් වදනක් සේ සැලැකිය හැකි ය.
3. ජූලි - ‘ජූලි’ යන්නෙහි ඉතා ප්‍රකට අර්ථය නම් ඉංගිරිසි දින දසුනෙහි සත් වන මසයි. ඇතැම්හු ‘ජුලයි’ යනුවෙනුදු එය වහරති. සිංහල කට වහරෙහි ජූලි යනු තව අරුතෙකින් යෙදෙන බව ජූලි හතයි, මළ ජූලිය යි වැනි යෙදම්වලින් පෙනේ. විමැසිය යුතු වැ ඇත්තේ මෙහි අරුතයි.
ඇතැම්හු සත් වන මස සත් වනදා යන්න ජූලි හත යන්නෙන් කියැවෙතියි ගනිති. එ වුව ද වඩාත් ගැළැපෙන සේ යෙදෙනුයේ මෙහි ‘ජූලි’ යනු ජූරි යන්නේ ‘ර’ වෙනුවට ‘ල’ ආදේශයෙන් නොහොත් වහරෙහිදී ‘ර’ ම ‘ල’ බවට පත් වීමෙන් නිපන් සේ සැලැකීම යි. ජූරි සභා’ යනු කවුරුත් දනිති. ජූරි සභා පත් කැරෙනුයේ විනිශ්චයයෙහි - විශේෂයෙන් අපරාධ විනිශ්චයයෙහි දී ඒ කාර්යයට සහාය වනු පිණිස යි. නව වහරෙහි දී ‘ජූරි තියන්නට වෙනවා’ යැයි කියනුයේ බලවත් අපරාධයක් සිදු වැ ඇති බව හඟවන්නට යි. ජූරි හතක් කියන්නට වනුයේ අතිශය බලවත් අපරාධයක් සිදුවූ විටයි. ජූලි හතයි යන්නෙනුදු කියැවෙනුයේ එ අරුතම යි.
4. ජෛන - පුරාතන භාරතයේ පැවැති ශ්‍රේෂ්ඨ ධර්මයක් හඳුන්වන පිණිස යෙදේ. එය පිළිපදින්නෝ ජෛනයෝ නමින් ගැනෙති. සංස්කෘතියෙහි ‘ජින’ ශබ්දයට ‘අ’ ප්‍රත්‍යයය එක් වීමේදී එහි මුල ම ඇති ‘ඉ’ ස්වරය වෘද්ධි වී ‘ඓ’ බවට පත් වීමෙන් ‘ජෛන’ යනු නිපැදේ. මෙහි (දන්තජ) ‘න’ යෙදෙන බව සැලැකිය යුතු ය.