‘ෆොරිනර්ස් ඔන්ලි’ නම් ලයිසමත් කැන්සල්! | Page 3 | සිළුමිණ

‘ෆොරිනර්ස් ඔන්ලි’ නම් ලයිසමත් කැන්සල්!

මෙරට පවත්වාගෙන යන කිසිදු සංචාරක හෝටලයක් හෝ අවන්හලක් හෝ මින් ඉදිරියට ‘විදේශිකයන්ට පමණයි’ ලේබලය යටතේ පවත්වාගෙන යෑමට ඉඩ නොදීමට තීරණය කර තිබේ. මෙරට පවතින ඕනෑම සංචාරක සේවා සපයන ආයතනයක් අනිවාර්යෙන්ම මෙරට ජනතාව සඳහා විවෘතව තැබිය යුතු බැව් රජයේ තීරණය වී තිබේ.

ඒ යට‍තේ රාජ්‍ය නිලධාරීන් හා සංචාරක පොලීසිය එක්ව දකුණු වෙරළබඩ තීරයේ පිහිටි විදේශිකයන් සඳහා පමණක් වෙන් කරන ලද සංචාරක නිවාස, ලැගුම්හල් හා අවන්හල් වැටලීමට කටයුතු ‍යොදා තිබේ. ‘විදේශිකයන් සඳහා පමණයි’ යන‍ුවෙන් පුවරු එල්ලා තැබීමෙන් මේ ආයතන ශ්‍රී ලාංකිකයන් වෙනස් කොට සැලකීමට බඳුන් කර ඇතැයිද පැවසෙයි. සංචාරක ප්‍රවර්ධන නීතිය හා සංචාරක සේවා අලෙවි නීති-රීති අනුව මෙලෙස විදේශිකයන් සඳහා වෙන් කරන ලද සංචාරක සේවා ස්ථානවල අවසර පත්‍ර තහනමට ලක් කෙරේ.

සංචාරක ‍මණ්ඩලය හා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ මේ ආයතන රැසක් අධිකාරියෙහි ලියාපදිංචිය ලබාගෙන නොමැති වන අතර, ඒවා පළාත් පාලන අධිකාරියෙන් තාවකාලිකව ලබාගත් වෙළෙඳ බලපත්‍රයක් මත පමණක් වන බවයි.

මෙයද නීති විරෝධී වන බවද එවැනි ස්ථාන හඳුනාගත් කල ඒවාට එරෙහිව නීති මඟින් පියවර ගැනීමට කටයුතු කරනු ඇතැයිද සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් මල්රාජ් කිරිඇල්ල මහතා පවසයි. එවැනි ආයතනයකින් යම් අවස්ථාවක ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවක ලාංකිකයන්ට තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බවද ඔහු කියා සිටියි. 

Comments