‍මර්සලීන් ජයකොඩි සුරමුරලිය | සිළුමිණ

‍මර්සලීන් ජයකොඩි සුරමුරලිය

දශක ගණනාවකට ඉහත දී කැලණි විහාරයට නුදුරු පිලපිටිය ගමේ කතෝලික දේවස්ථානයේ පිටුපස මනාලෙස පිළියෙල කොට තිබුණු පිරිසුදු, චාම් කුටියකදී මර්සලීන් ජයකොඩි පියතුමා මට හමු වූ මනරම් මොහොත මේ දැන් සිදුවූවාක් මෙන් ආවර්ජනය කළ හැකිය. පැරණි පුස්කොළ අක්ෂර ශෛලියට ලියු කවි කීපයක් එතුමා මා අත පත් කළේය. ඒ කවියක් දෙකක් මෙසේ වෙයි.

කොයි පාරෙන් දෝ දෙවියන් යන්නේ
අහස උඩින් දෝ පියඹන්නේ
කොතැනද ඔබ දෙවියන් හමුවන්නේ
දෙවිදා කවියෙන් කතා කරන්නේ

එතැනද දෙවියන් ගීයක් කිව්වොත්
එතැනද දෙවියන් මැණිකක් මැව්වොත්
එතැනද දෙවියන් තරුමැද ‍ සෙව්වොත්
එතැනද දෙවියන් කවියක් ලිව්වොත්

ඔබෙනුයි කවිකම් මා විමසන්නේ
කෙලෙසද මා දෙවියන් හමුවන්නේ
ඔබේ රන් පන්හිඳ මතදැයි ඉන්නේ
‍ෙකායි විලසද කවියක් ලියැවෙන්නේ...

පබසර කිවිකම් සතු කවියකුගේ හැදියාව ඔහු කවියට නැගූ අවස්ථාවකි ඒ. හෙළ කවියා නම් සිරිතෙන් විරිතෙන් බසින් නිමැයුම් වතින් සිතින් පොහොසත් රුසියෙකි. ඔහු දකිත් හා හැම ඔහුද එවැනිම වූ මහ කවි හපනෙකි. දරු දැරියන් හෙළ කුමර කුමරියන් හැටියට සලකා කවි ගී කතන්දර ලියූ මහ කවියා සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිකමට ඒකමතිකව තෝරාපත් කැර ගන්නා ලද්දේය. එවකට එම කවි සමුළුවේ ලේකම් ලෙස වැඩ කටයුතු මෙහෙයවූයේ පී. මලල්ගොඩ කවියාය. මේ කවියාත් බොහෝ දෙනා පිරිසුදු සුදු පැහැදිළි ජාතික ඇඳුම් අැඟලූ උදවියයි. මර්සලීන් ජය‍කොඩි පියතුමා පුජකවරයට ඔබින සුදු ‍ලෝගුවෙන් සැරසී කළු පටියක් බැඳ සිටිනු දක්නා ලදි. එතුමා මැග්සෙසේ සම්මාන දිනූ වකවානුවයි ඒ. එසමය අපේ පාසල් කාලයයි.

අපගේ පියාණන් වූ විමල් අභයසුන්දර කවියාණන් සමස්ත ලංකා කවි සම්මේලනය, අගනුවර තරුණ කවි සමාජය, ආදියේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ බැවින් එකල විසු කවීන්ගේ මහරු කවිකම් හිටිවන කවි අපි අසා රස වින්දෙමු. සොබා සොඳුරු වැනුම් දෙස බස රැස අබිමන් සිංහල පද කැටි අතරින් මුසු කිරීමේ පිළිබා සවිය නිසග කවිතා ගුණය මර්සලීන් ජයකොඩි නිපුණ පරිණත කවියාගේ නිමැවුම් පෙළහරින් පළට වන්නේ කියවන්නා අරුමැසි සුළවත් බවට නංවමිනි.

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක නැති ෙවන දාය
මගෙ නත්තල පව පල්ලියෙ යන දාය

ඔහු පොදු ජනතා මෙහෙවරෙහි යෙදුණු කවියකු වන්නේ මෙසේය. අධ්‍යතනයෙහි අන්‍යාගම්කරණ, ආගමික මුලධර්මවාදය, ජාතිවාදය, වර්ගවාදය, ගෝත්‍ර කුල වංශ භේදය මුලිනුපුටා දමා සහජීවනය, සමාජ සංස්කෘතික සංහිඳියාව පතුරුවා ලීම ගැන අපි සාකච්ඡා පවත්වමින් සිටිමු. මර්සලීන් ජයකොඩි පියතුමාගේ කව්, ගී, කතන්දර රසවිඳින කල්හි ඉන් පළ වන ශාන්තිදායක සහජීවනය නුතන ලාංකික පුරවැසියාට මහත් සැනසීමක් වන්නේය. එතුමා කිසියම් වසරක (1974 විය හැකිය) දෙසැම්බර් 31 දාවක සමස්ත ලංකා කවි සමුළු ඇමතුවේය. මේ කවි සමුළුව පවත්වන්නේ දෙසැම්බර් 31 දාය. රසබර අරුත් සරුපිරි කතාවක්, කවියත්, දේශයත්, මනුෂ්‍යත්වයත් , දිව්‍යමය ස්වභාවයත් විළිහිරියෙන් මිදුණු යහපත් සිතුවිල්ලත්, ක්‍රියාවත් වචනත් ඉන් ගම්‍යමාන වුයේය. එය දිව්‍ය ලෝකයෙන් ගලා එන නිවුණු තරු එළියක් වැනි සෞම්‍ය ශාන්ත ගුණයෙන් පිරිපුන්ය.

පොදු මහජනතාව පවෙන් අයහපතෙන් ගලවා දිව්‍යත්වය වෙත උදාර මනුෂ්‍යත්වය ඔස්සේ ගෙන යෑම ඔහුගේ ව්‍යායාමය වුයේය. එහිදී ඔහු ගී පබැඳු රේඛාව චිත්‍රපටයේ ගීත හෝ ගුවන් විදුලිය ගීත හෝ කිතුනු බැති ගීතාවලිය දේශියත්වයෙන් පිරිපුන් වෙයි. මට නැවත වතාවක හැව්ලොක් පුරවරයේ හයිලෙවල් පාරේ ඩික්මන්ස් හන්දියට නුදුරින් පිහිටි බැල්මොරල් වෘද්ධ පූජක වරුන්ගේ විශ්‍රාම නිකේතනයේදී එතුමෝ මුණ ගැසුණාහ. අවසාන වතාවට අප හමුවුයේ අරීසෙන් අහුබුදු කිවියන්ගේ නිවෙස පිහිටි ගල්කිස්ස කලාපුරයේ එක්තරා නිවසක දීය. එතුමා ඉතා සරල අව්‍යාජ නිරහංකාර දිවි පෙවෙතක් ගත කළේය. අාධ්‍යාත්මික ස්වරූපයෙන් උපරිම සුව සහනයක් ලැබුවේය. සරු අදහස්, සමාජ හර දහම්, ප්‍රතිමාන මිනිස්කමට නිගා නොවන කතාබහ කිරීම, ලොවට බරක් නොවන ලෙස ලෝකයට යුතුකම් ඉටුකිරීම එතුමාගේ ජීවිතයෙන් මෙන්ම කවිතාවෙන් ද අපට ලබාගත හැකි ආලෝචනා රාශියකි.

Comments