සංස්කාරක සටහන | සිළුමිණ

සංස්කාරක සටහන

ලියන්නට පෙර අප බොහෝ දෙනකු මනස වෙහෙසන්නේ ලියන්නට පටන් ගන්නේ කොතනින් ද කියා ය. ලිවීමේ රටාව එක් එක් ලේඛකයන්ට ආවේණික වූවකි. මෙතෙක් සාහිත්‍ය උගැන්වීමට උත්සාහ කරන ගුරුවරයකුට කෙසේ කොහොම ඒ පාඩම කියා දෙන්නේ ද කියා සිතී ඇතිවාට සැක නැත. අපි සියල්ලෝ ම අපට ම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේ විවිධ ලෙස ලේඛනය ආරම්භ කරන්නෝ වෙමු.

ගරු මර්සිලීන් ජයකොඩි පියතුමන් හට කුඩා කාලයේදීම කිසියම් ලේඛනයක් පටන් ගන්නේ කෙසේද යන්නට කදිම සදූපදේශයක් ලැබෙයි. එතුමාණෝ ඒ උපදේශය ලේඛනයේ දුහුනන් වන අප වෙනුවෙන් සිය “මවු ගුණය” නම් කෘතියේ මෙසේ සඳහන් කරති.

“කලකට පෙර මා ලේඛන කලාව ගැන පාඩම් මාලාවක් ගන්නා අවස්ථාවේ මගේ ගුරුතුමාගෙන් මා ඇසුවා, යම්කිසි පොතක් හෝ ලියැවිල්ලක් ලියන විට එය පටන් ගත යුත්තේ කෙසේද කියා. මගේ ප්‍රශ්නය ඉවර වෙන්නටත් පෙර මට ආ පිළිතුර මෙයයි. ‘බල්ලෙක් කටුවක් කන කොට කොතනින්ද පටන් ගත යුත්තේ කියා කටුව ඒ මේ අත පෙරළා ඌ ඌගෙන්ම ප්‍රශ්න කර ගන්නේ නෑ. කටුව අසුවුණ තැනින් අල්ලා ගත්තා, හැපුවා, කෑවා. කොතනින් පටන් ගත්තත් කැවෙනවා.

මට පාසලේදී රචනය උගැන්වූ ගුරුවරයා මෙය කීවේ වෙනත් පිළිවෙළකට ය. ‘යමක් කියන්න හිතේ තියා ගන්න, ඒ දේ කියන්න‘ කියා ය.”

ලිවීම පිළිබඳ ගුරුහරුකම් දෙන්නන්ට සහ ගුරුහරුකම් බලාපොරොත්තු වන්නන්ට මේ කුඩා දෙබස දේව වාක්‍යයක් වනු නිසැකය. ගරු මර්සලීනු ජයකොඩි පියතුමන්ගේ ලේඛන ප්‍රභාව ආලෝකවත් වන්නේ එවැනි සදූපදේශයන්ගෙන් පෝෂණය ලබමිනි. ඒ ලැබූ පෝෂණය වඩාත් උත්කෘෂ්ට වන්නේ මේ වැකිය නිසාය.

අම්මයි මායි ඉපදුණේ එක දවසේය

එතුමාණන්ගේ ලේඛනය ගැන කියන්නට වැඩි වචන වුවමනා නොවන්නේ මේ ලේඛන ප්‍රභාව නිසා ය; බහු අරුත් දනවන වැකි නිසා ය.

කිතු බැති ගී වලින් ඇරඹෙන එතුමන්ගේ ගේය කාව්‍ය ප්‍රතිභාව බොදු බැති ගී, චිත්‍රපට ගී, ළමා ගී, ගැමි සංකල්පනා ගී, සොබාදම් ගී හා දේශානුරාගී ගී ලෙසින් වර්ග කළ හැක්කේය. මේ සියලු ගී ආරෙහි සුමට ව, සුගම ව සැරූ එතුමන්ගේ බස හෙළ හවුලෙන් ලද ශික්ෂණය හා මඟ පෙන්වීම ඔස්සේ වඩාත් ඔපවත් විය. කිතුනු, බෞද්ධ ඈ නන්විධ බෙදීම් එතුමාණෝ අබියස වදන් පමණක් බවට පත් විණි.

මැග්සයිසේ සම්මානයෙන් ද පිදුම් ලබන එතුමාණන්, පන්ති, පක්ෂ, ආගම් බේද අබිබවා කුලුණුබර හදකින් හා අසමාන කාව්‍ය චින්තනයෙන් යුක්ත ව රස බස් හඳුනන්නන්ගේ මනෝභාව සියුම් ව පිරිමැද්දේ ය.

මෙවර සිළුමිණ සත්මඬල විශේෂ විමර්ශන අතිරේකය වෙන්වන්නේ එකී නන්විධ විෂයය ස්පර්ශ කළ කුලුණු හදවතින් සහෘදය සිත් පිරිමැදි ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් වෙනුවෙනි. මේ, සත්මඬල විශේෂ අතිරේක පෙළෙහි දහඅට වැන්නයි. ශාස්ත්‍රාභිලාෂී ඔබ වෙනුවෙන් සත්මඬල අපි නිරන්තරයෙන් දැනුම ඒකරාශී කරන්නෙමු. මේ ඊට එක්වූ වෙනස්, වෙසෙස් අතිරේකයකි.

අතිරේකය සම්පාදනය කිරීමේ ලා ගරු මර්සලීනු ජයකොඩි පියතුමන් හා සමීප ව ඇසුරු කළ අපේ සෝමසිරි කස්තුරිආරච්චි ෙජ්‍ය්ෂ්ඨ මාධ්‍යවේදියා තොරතුරු හා දුර්ලභ සේයාරූ ලබා දෙමින් දැක්වූ දායකත්වය ගෞරව පූර්වක ව සිහිපත් කරන්නෙමු. ඊට අමතරව වටිනා සේයාරූ හා පොත්පත් අප වෙත ලබා දුන් පුලස්ති අභයසුන්දර මැතිතුමන් ද ස්තුති පූර්වකව සිහිපත් කරන්නෙමු.

මල්පැලේ උපන් පන්සලේ පියතුමන් ලෙස විරුදාවලි ලද මර්සලීනු ජයකොඩි පියතුමන් වෙනුවෙන් විශේෂ විමර්ශන අතිරේකයක් නිකුත් කිරීමට ලැබීම අප ලද භාග්‍යයකි. මේ සඳහා ශාස්ත්‍රීය ලිපි සම්පාදනයෙන් දායක වූ විද්වතුන් සැමට අපි ගෞරවය පුද කරන්නෙමු.

Comments