
සිංහල ගේය කාව්‍ය රචනා නමාවලියේ ගරු මර්සලීන් ජයකොඩි පියනමට විශේෂ තැනක් හිමි වේ. එය එසේ වීමට බලපානු ලැබු හේතු කිහිපයකි. එනම් 1. කතෝලික පියනමක් වශයෙන් ගීත රචනා කළ ප්‍රථමයා වීම 2. අන්‍ය ආගමිකයකු වුවත් දේශීයත්වයට නැඹුරු ගේය කාව්‍ය රචකයකු වීම. 3. 1956 ඇති වූ ශ්‍රී ලාංකේය නවෝදයට නිර්මාණකරණයෙන් දායක වීම. 4. ගීතය සෞන්දර්ය රස ජනනයෙන් අනුන වූ නිර්මාණ කිරීම ආදී හේතු සාධක නිසා ය. කාව්‍ය රචනා කිරීමෙන් ඇරඹුණු එතුමන්ගේ නිර්මාණකරණය ගීත රචනා තුළින් මුහුකුරා ගියේය. කොළඹ යුගයේ දෙවනි පරපුරේ කවියකු වශයෙන් ද, සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති වශයෙන් ද කටයුතු කළ එතුමා වඩාත් ප්‍රකට වන්නේ ගේය කාව්‍ය රචකයකු වශයෙන් ය.
ශ්‍රී ලාංකේය ජන විඥානය පරිපෝෂණය වූයේ බුදු දහමේ ආභාසය ඇතිවය. පසු කාලීනව හින්දු ආගමික බලපෑම් ද ජනවිඥානයට මිශ්‍ර විය. සිංහල සංස්කෘතියෙහි ජීවත් වන මිනිසා සමාජය සහ යම් සමාජගත සිද්ධීන් පිළිබඳ ව හිතන්නට සහ විමසන්නට පෙලඹුණේ බුදු දහම අනුව ය. සිංහල චින්තනය ඒ අනුව සකස් විය. මේ රටේ සකල කලා අංග නිර්මාණය වන්නේ බුදු දහමෙහි උගන්වන ක්‍රියා පිළිවෙතට අනුගතව ය. ඉන් පරිබාහිර වූ නිර්මාණවලට දීර්ඝ කාලීන වශයෙන් ක්‍ෂේත්‍රය තුළ රැඳෙන්නට අවස්ථා ලැබෙන්නේ නැත. ගරු මර්සලින් ජයකොඩි පියනම සිංහල සංස්කෘතික නිර්මාණකරුවකු වශයෙන් සම්භාවනාවට පාත්‍ර වන්නේ එකී සිංහල සමාජ යථාර්ථය මැනවින් දැන හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදුණු නිසා ය. අන්‍ය ආගමිකයන් කතාබහෙන් ද, ඇවතුමෙන් පැවතුමෙන් ද, චින්තනයෙන් ද, වෙනස් වූ වෙනත් පිරිසක් වුවත් ගරු මර්සලින් ජයකොඩි පියනම එසේ නොවීය. ඇවතුමෙන් පැවතුමෙන් වත් කතාබහෙන් වත් නිර්මාණ චින්තනයෙන් වත් වෙනස් නොවීය. සිංහල සංස්කෘතියට මුල්බැසගෙන සිටියේය. එනිසාම පියනමගේ ගේයකාව්‍ය සිංහල ගීත රචනා කලාව තුළ මුල් බැස ගැනීමට හේතු විය.
නිර්මාණකරණය යනු ආගමික හෝ සංස්කෘතික කාරණයක් නොවේ. නමුත් ආගමික හා සංස්කෘතික කාරණා ද නිර්මාණකරණය තුළින් ඉදිරිපත් කළ හැකිය. සිංහල රටේ ශ්‍රාවකයන් නිර්මාණ දිහා බලන්නට හුරුපුරුදු වූයේද නිර්මාණකරුවන් නිර්මාණ ඉදිරිපත් කරනු ලැබුවේ ද, සංස්කෘතිය සහ ආගම දෙස බලාගෙන ය. ඒ නිසාම මේ රටේ සෑම කලා අංගයක්ම ආගමික මුහුණවර ගත් එකක් බවට පත් විය. ජයකොඩි පියනමගේ නිර්මාණකරණය තුළ මේ සමාජ යථාර්ථය ද දක්නට ලැබේ. එනිසාම ඔහුගේ නිර්මාණවල කලා වැව, තිසා වැව, පන්සල, වෙහෙර, දාගැබ ආදී වචන එකතුවී තිබිණ. ජයකොඩි පියනමගේ නිර්මාණ මේ බිමේ මුල් බැසගත් නිර්මාණ බවට පත්වීමෙහි ලා මූලික වශයෙන් බලපානු ලැබූ සාධක වූයේද එබඳු එ්වා ය. පිය නමගේ ගීත නිර්මාණ ආර විසින්, ඔහුගේ තතෝලික බව යටපත් වී සිංහල සංස්කෘතික බව මතුවන්නට විය. එය කතෝලික ක්‍රිස්තියානි දහමෙහි ප්‍රගමනයෙහි ද, ඇතැම්විට හේතුවන්නට ඇත. සිංහල බුදුදහමත් කතෝලික ක්‍රිස්තියානි දහමත් අතර පැවති දුර ළං වන්නට විය.
ප්‍රායෝගික වශයෙන් ආගමික සහජීවනය ඇතිවීම කෙරෙහිද එකී තත්ත්වය බලපෑවේය. එනිසාම ජයකොඩි පියනමගේ ගීත හුදු ආගමික ප්‍රචාර තත්වයෙන් මිදී සෞන්දර්යාත්මක, සමාජ යථාර්ථවාදී වු අතර, මානවීය බවින් ද පිරිපුන්ව ගියේය. එතුමන්ගේ නිර්මාණ නිර්මාණාත්මක චින්තනයෙන් ප්‍රමුදිතව මානව දයාව සෙනෙහසින් වැලඳගෙන හෙට දවසට මිනිසා සුදානම් කරවූයේය. එය එසේ වන්නට ඇත්තේ නිර්මාණකරුවකු තුළ තිබිය යුතු ස්වයං ශික්ෂණය, සත්භාව සමාජ වගකීම, මැනවින් හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදුණු නිසාය. ආගමික පූජකවරයකුගේ නිර්මාණ පිළිබඳ ව සාකච්ඡා කරන විට නිර්මාණ කරණයට වඩා ඔහුගේ ආගමිකභාවය කෙනකුගේ සිත දැඩි වශයෙන් බැඳ ගනී. එයට හේතුව ආගමික නිර්මාණකරුවන්ගේ නිර්මාණ රීතිය ආගමික සන්නිවේදන අංශයෙන් දියුණු නිසා ය. කෙනෙකුගේ වැඩි අවධානය ඒ කෙරෙහි යොමුවන්නේ ඒ හින්දා ය. නමුත් මෙකී කාරණය ජයකොඩි පියනමගේ නිර්මාණ රීතිය අනුව බද්ධ වී නොයයි. ජයකොඩි පියනමගේ නිර්මාණ තුළින් ආගමික භාවයට වඩා මතුවී පෙනෙන්නේ ජාතිකත්වය, ජාතික අභිමානය සහ සමාජ යථාර්ථයයි. පියනමගේ ගීත නිර්මාණ මූලික වශයෙන් කොටස් දෙකකට අධ්‍යයනයේ පහසුව සඳහා බෙදා දැක්විය හැකිය. එනම් ,
1. ආගමික සංකල්ප සෘජුවම ගීතයට ඈඳාගත් නිර්මාණ
2. සිංහල සංස්කෘතිකභාවය සහ සෞන්දර්යාත්මක නිර්මාණ යනුවෙන් ය.
ජයකොඩි පියනම රචනා කළ ගේය කාව්‍ය රචනා අතුරින් වඩාත් වැඩි ලෙසින් ශ්‍රාවකයා අතර ජනප්‍රිය වූයේ එතුමන් රචනා කළ මෙහි දැක්වූ දෙවන වර්ගයේ ගීත නිර්මාණයන් ය. ගීත රචනය, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්‍ෂණය යන නිර්මාණාත්මක අංශ කිහිපයෙහිම පිය නම නිරත විය. එතුමන්ගේ නිර්මාණකරණය තුළ ඒවායේ ප්‍රභාව දක්නට ලැබිණ. අන්‍ය බොහෝ ගීත රචකයන්ට වඩා මෙතුමන්ගේ ගීත වල පවතින ස්වභාවය එයයි.
සිංහල ගේය කාව්‍ය රචක නාමාවලියේ ඓතිහාසික අවස්ථාවක් හැටියට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කළ නූතන ගේයකාව්‍ය සංහිතා නමැති කෘතිය හැඳින්විය හැකිය. නූතන යැයි කියුවද ආදිතමයේ සිට අසූව දශකය දක්වා ගීත රචනා කළ ප්‍රශස්ත රචකයන්ගේ නාමාවලියක් සහ නිර්මාණ එකතුවක් එහි දක්නට ලැබෙයි. ඒ කෘතියෙහි ජයකොඩි පියනමගේ ගේයපද රචනා තුනක් ම ඇතුළත් කර තිබේ. සිංහල ගේය කාව්‍ය රචකයන් අතර ප්‍රශස්ත නමක් එතුමන්ට පැවති බව එතුළින් පෙනේ. එතුමන් රචනා කළ ගීත අතර චිත්‍රපට ගීත විශේෂ වෙයි. වර්ෂ එක්දහස් නවසිය පනස් හය වසරේ අගභාගයේ තිරගත වූ රේඛාව චිත්‍රපටයේ සියලු ගීත රචනා කරනු ලැබුවේ එතුමන් ය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කතා පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළ රේඛාව චිත්‍රපටය එතෙක් පැවති වට්ටෝරු චිත්‍රපටවලට වඩා වෙනස් විය. එ් චිත්‍රපටයේ ඇතුළත් ගීත හය ම එක වගේ ජනප්‍රිය වී ගියේය. එක්දහස් නවසිය පනස් හයේ සිංහල සංස්කෘතික නවෝදය පිළිබඳ කතා කරන විට ඒ සඳහා සිනමා නිර්මාණ දායකත්වයට නිදසුන ගන්නේ රේඛාව චිත්‍රපටයයි. චිත්‍රපටය මෙන්ම එහි ඇතුළත් ගීත නිර්මාණ ද ඒ සඳහා දායකත්වය දැරීය.
ජයකොඩි පියනමගේ ගීත රචනා තුළින් හෙළි කළ සිංහල දේශීයත්වය සහ සෞන්දර්ය පිරි ජයකොඩි ලකුණ හඳුනා ගැනීමට එ් ගීත විසින් ශ්‍රාවකයාට ඉඟි කරනු ලබයි. රේඛාව චිත්‍රපටයේ චිත්‍රපට කතාවට හා දර්ශන පෙළට අදාළ ව ගීත නිර්මාණය වුව ද චිත්‍රපටයෙන් පරිබාහිරවද රසවිඳිය හැකි නිර්මාණ ලෙස එ් ගීත නිර්මාණ පත් ව තිබේ. එයට මූලික ම හේතුව වුයේ එම නිර්මාණ තුළ පවතින දේශීය බව හා සෞන්දර්යත්මක ඕජෝ ගුණයයි. එකී නිර්මාණ පුරා ඒ තත්ත්වය වෑහෙන්නට වීමය. සමාන්‍යයෙන් ගීතයක් ජනප්‍රිය ගීතයක් බවට පත්වීමේදී පද රචනාව, සංගීත භාවිතය, තනු නිර්මාණය, ගායනය, පටිගත කිරීම ආදි අංශ සියල්ල බලපායි. ඒ සියල්ල නිසි ආකාරයෙන් ඉටු වුණ ද, ජනතාව අතරට නොයන ගීත ද ඕනෑ තරම් දක්නට ලැබේ. බී. එස්. පෙරේරාගේ සංගීත භාවිතයට ජයකොඩි පියනම ලියූ ගීත අයිවෝ ඩෙනිස්, ලතා ප්‍රනාන්දු, සිසිර සේනාරත්න, තිලකසිරි ප්‍රනාන්දු ඉන්ද්‍රානි විජේබණ්ඩාර යන ශිල්පීන් රේඛාවේ ගීත ගායනා කොට තිබේ.
එතුමන්ගේ ගීත අතර වඩාත් වැඩි ලෙසින් ජනාදරයට පාත්‍ර පද රචනාව හැටියට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගායනා කළ වෙසක් කැකුළු අතු අග ගීතය දැක්විය හැකිය. අගරදගුරු පදවි සන්නිවේදන කේන්ද්‍රය නිෂ්පාදනය කර බෙදා හළ පිය නම රචනා කළ ගීත ඇතුළත්, නෙළුම් පිපීලා සංයුක්ත තැටියෙහි එම ගී පද රචනාව ඇතුළත් කර නැත. රේඛාව චිත්‍රපටියේ ඒ ගීතය ඇතුළත් වන්නේ වෙසක් විනෝදයේදී ය. ආගමික සංස්කෘතිය, සහ සබැඳියාව නිර්මාණකරණය තුළින් සමාජගත කිරීමට මෙතුමන්ගේ ගීත බොහෝ සෙයින් දායක වී තිබේ. දේශීය හැඩරුව නිර්මාණකරණය තුළින් මතු කළ හා සිංහල පොළොවේ ඓතිහාසිකත්වය නිවැරදිව දැන හඳුනාගත් රචකයකු ලෙස නිර්මාණ කළේ ය. සිය ආගමික භාවය තමා තුළ රඳවා ගත්තා මිස නිර්මාණකරණය තුළින් හෝ මිනිසා ආගමට ඇද බඳවා තබා ගැනීමට නිර්මාණ නොකළේ ය.
සාමාන්‍යයෙන් ආගමක් මිනිසකුට උරුම වන්නේ උත්පත්තියෙන් ය. නමුත් උපන් මිනිසා මානවීය භාවය මැනවින් අඳුනාගෙන ජීවත්විය යුතුය. නිර්මාණකරණය පවතින්නේ ද, එකී දහමට යටත් ව බව ජයකොඩි පියනමගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් එතුමන් ද ඒ බව මැනවින් දැන සිටි ආකාරය පෙනේ. ජයකොඩි පියනමගේ ගීත නිර්මාණ ක්ෂේත්‍ර අනුව කොටස් තුනකට වර්ග කළ හැකිය. එනම්,
1. ආගමික සන්නිවේදනය සඳහා රචනා කළ ගී නිර්මාණ
2. ගුවන්විදුලි සරල ගීත සඳහා කළ නිර්මාණ
3. චිත්‍රපට සඳහා කළ නිර්මාණ ආදී වශයෙනි. සීනු හඬින් යන වචනයෙන් ඇරඹෙන ගීතය ක්‍රිස්තු දේවස්ථාන තුළ ආගමික භාවය මතු කරන බැති ගීයකි. එක්දහස් නමසිය හතළිස් පහේ රචනා වූ මෙහි තනු නිර්මාණය ද ජයකොඩි පියනමගේ ය. පියනම ආගමික සන්නිවේදනය සඳහා රචනා කළ ගී නිර්මාණ සඳහා මේ පද රචනාව නිදසුනක් හැටියට ගත හැකිය.
සීනු හඬින් ලොව පිබිදෙනවා - නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා - අහසට පොළොව ගැටේ
තරු එළියේ කඳුවැටියේ - බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල්වැසි වසිනු පෙනේ
තටුගෙන සුදු හිම ඉගිළෙනවා - අතුමත මුතු මෙන් බබළනවා
හිරුකැන් සුදු ඊතල වෙනවා - සැම තැන රිදී වගෙයි
දිය සීරා කඳු පීරා - වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවනවා
දින දින වැහිකළු බරවෙනවා - මහවැලි ගඟ දිය බොරවෙනවා
නත්තල් කත් බැඳගෙන එනවා - වැහිබර උඳුවපයේ
අරලිය මල් වතුසුදු මල් - පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ
ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇරඹීමෙන් පසුව ගීත රචකයන් වැඩි වශයෙන් බිහි වූයේ ගුවන් විදුලිය තුළ සේවය කළ සේවක සේවිකාවන් අතුරින් ය. ඊට පරිබාහිරව කිසියම් පිරිසක් ගීත රචනා කලාවට එකතු වූවා නම් ඒ ඉතාමත් අල්ප පිරිසකි. මුල් යුගයේ ගීත රචකයන්ගේ තත්ත්වය එබඳු ය. ජයකොඩි පියනම පසුව ගුවන් විදුලියට ගීත රචනා කළේය. එක්දහස් නවසිය හැට හතරේ ගුවන් විදුලියට රචනා කරන ලද කහවන් ගොයමට නැමැති ගීත රචනයට පී. ඩන්ස්ටන් ද සිල්වා තනු නිර්මාණය කළේය. ගායනය නාලනී රණසිංහ ය. මේ පද රචනාවද දේශීයත්වයට නැඹුරු වූ එකකි.
කහවන් ගොයමට රන්දිය වැහැලා - නියරෙන් ඉතිරෙනවා
ගස්වල සෙවණැලි වැඩියෙන් කළුවී - බිම මත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙළා - දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුණ කලක් සේ - ඉපනැලි නළියනවා
මින්නේරිය වැව දැන් නිල්කැටයකි - තැන තැන රතුවෙනවා
තැන තැන දිගු රැළි සුළඟට කැඩි කැඩි - සුදු ඉරි මතුවෙනවා
මුතු අමුණා ගී මුමුණා දුර - වෙරළට රැළි ඇද්දෙනවා
මින්නේරිය වැව පටසළු ඇඳගෙන - උන්සිලි පැද්දෙනවා
මහසෙන් රජු වැඳ නින්දට යන්නට - දැන් ඇය සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට - හිනැහී සැතපෙනවා
යලත් බලා මහත් බලා ගොයමට - දිය රැළි නංවනවා
මින්නේරිය වැව හෙට ගී කයියේ - උදයට ළං වෙනවා
මේ ගීතයෙහි සඳහන් වන මින්නේරිය වැව, මහසෙන් රජු, සරු කෙත්, අවුරුදු දහසක් යන වචන තුළ ඇත්තේ සිංහල බෞද්ධ ඓතිහාසික උරුමයේ වීරත්වයයි. එක්දහස් නවසිය හැත්තෑ හතේ වර්ෂයේ කවිය සඟරාවේ පෙබරවාරි කලාපයට ලියූ තිසාවැව ළඟ නැමැති කවි පන්තිය තුළ දකින්නට ලැබෙන්නේ සිංහල සංස්කෘතික දායාද නිර්මාණ කරණය සඳහා භාවිත කරගනු ලැබූ බවයි. ඒ පද්‍ය පන්තිය පුරාම භාවිත කර ඇති වචන මෙපරිදි ය. දේවානම් පියතිස්ස, ගැමුණු, මිරිසවැටි දාගැබ, සාලිය මාලා, පෝය සඳ, ඉසුරුමුනිය, ගීත සාහිත්‍යය තුළින් අතීත සිංහල සංස්තෘතික උරුමය මතු කිරීමට ගනු ලැබූ උත්සාහය පෙනේ.
පියතුමන් රචනා කළ චිත්‍රපට ගීත අතර සුදු සඳ එළියේ, ඕළු නෙලුම් නෙරිය රඟාලා, සීගිරි ළඳකගෙ මල්වට්ටියේ ලා, වෙසක් කැකුළු වැනි ගීත රචනා දැක්විය හැකිය. ඒ චිත්‍රපට ගීත අතර සුනිල් ශාන්තයේ ස්වාධීන තනු නිර්මාණයට බී.ඇස්. පෙරේරා සංගීත අධ්‍යක්‍ෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පිණි ඉන්ද්‍රානි විජයබණ්ඩාර ගැයූ වෙසක් කැකුළු ගීතය කොයි කාගේත් සිත් සතන්වල පවතී. දැනට අවුරුදු හැටකට වඩා පැරණි වුවද අලුත් ගීතයක් ලෙස අසන ගීතයකි.
ගරු මර්සලීන් ජයකොඩි පියනමගේ ගීත රචනා අධ්‍යයනය කර බලන විට එතුමන් ගීතය නැමති නිර්මාණ කරණය තුළ රැදෙමින් මානව මානවීය භාවය හා සෞන්දර්ය රසාස්වාදය පිළිබඳව දැක්වූ පරිචය අඳුනා ගත හැකිය. ආගමික පූජකවරයකු වුවද එකී සංකල්පය ද පිළිකෙව් නොකොට ජීවත් වන රට සහ අතීත උරුමය තුළින් මිනිස් ජවය මිහිමත ජනිත කරවීම පරමාර්ථය කොට ගෙන රචනා ඉදිරිපත් කරනු ලැබ ඇති බව පෙනේ. ගුණදාස ලියනගේ නැමති ප්‍රවීණයා විසින් හොරණ විද්‍යාරත්න පිරිවනේ පැවති උත්සවයකදී නිකමට මෙන් කියූ කතාවෙන් පියනම සම්බන්ධ අදහස් ප්‍රකට වී ගියේය. එදා ප්‍රවීණ ලේඛක ගුණදාස ලියනගේ උත්සවය අමතමින් කීවේ අද මේ උත්සවයට පල්ලියේ හාමුදුරුවොත් පන්සලේ පියතුමාත් පැමිණ සිටින්නේ ය කියා ය. පල්ලියේ හාමුදුරුවන් යයි කීවේ කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේට ය. පන්සලේ පියතුමා යැයි කීවේ මර්සලීන් ජයකොඩි පියනමට ය. එයට එතුමන්ගේ සිංහලකමත් එකතුකොට මල් පැලේ උපන් පන්සලේ පියතුමා යන නම සකස් කළේ ශ්‍රී ලංකා ශ්‍යාමෝපාලී මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක අතිගරු ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ ය.