
ටික දොහොකට පෙර පැමිණ සිටි නත්තල දැන් අවසන් වෙමින් පවතියි. ඊළඟට එන්ට ඇත්තේ, මුළු ලොවම පිළිගන්නට සූදානමින් සිටින ජනේරුව ය.
එතෙකුදු උඳුවප් සීතල තවමත් දැනෙයි. මේ උඳුවප, බොදුනුවන්ට පොහොයක් වතුදු, කිතුනුවන්ට නත්තලකි. නත්තල බොදුකමත් කිතුනුකමත් එකට ඈඳු උතුම් මිනිහා අන් කවරකුවත් නොව අපේ මර්සලීන් ජයකොඩි පියතුමා ය.
අන් සියලු කිතුනු උගතුන් - විද්වතුන් - කලාකරුවන් සහ ලේඛකයන් ඉක්මවා යෙමින් බොදු - කිතු සමඟිය ආධ්‍යාත්මික වුද සංස්කෘතික වුද සැබෑම සැබෑ සමගිය ඇති කරන්ට වෙර දැරුවාහු, උන්වහන්සේම වන්නාහ. මේ රටේ කිතුනු හැදියාවට බොදු ඌරුවක් හෙවත් ලකුණක් දෙන්ට උන්වහන්සේ ගත් වෑයම - කළ මෙහෙවර_- ශ්‍රී ලාංකික සාංස්කෘතික ඉතිහාසයේ ලියැවී ඇත්තේ, දියෙහි ඇඳි ඉරක් මෙන් නොව ගලෙහි කෙටු අකුරක් පරිද්දෙනි.
මර්සිලීන් ජයකොඩි පියතුමා ලියු නත්තල් කවි - ගීවල නිමක් නැත්තේය. නත්තල් ලිපි වලටද නිමක් ඇත්තේම නැත. ඒ තරමට කිතු උපත සිදු වු නත්තල උන්වහන්සේගේ නිර්මාණ කවි සිත පුබුදුවාලුයේය. මේ උන්වහන්සේ ලියූ හොඳම හොඳ නත්තල් ගී අතරිනුත් මිණි කැටයක් වන් නිර්මාණයකි.
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ...
මේ ගීතය මෙතැනට ඇද ගත්තේ මර්සලීන් ජයකොඩි පියතුමන්ගේ අපුර්ව කවීත්වයෙහි එක් විශේෂ පැතිකඩක් ගැන කතා කරනු රිසියෙනි.
තමන්ගේ බස - ඒ කියන්නේ, තමන්ගේ මවු බස කවීනට මෙහෙ කරන්නේ කවරකාරයෙන්දැයි දැන ගැනීමට අවශ්‍ය නම්. කිසියම් විද්‍යාර්ථියකු විසින් කළ යුත්තේ, ජයකොඩි පියතුමන් ගීතයෙහිදී වහරන උපයෝගී කොට ගත්තා වූ කවි බස මඳක් විමසා බැලීම ය. මේ කෙටි රචනයෙහි මුලික අභිප්‍රාය වනුයේ එක කරුණයි. ඒ කරුණ ම පමණයි.
බසක වචනවල ලක්ෂ්‍යාර්ථ හෙවත් වචනාර්ථත් භාවිතාර්ථ හෙවත් ධ්වනිතාර්ථත් ඇති වග අපි පැටි වියේදීම උගෙන සිටිමු. ගීත රචකයන්ද ඇතුළත් ව කවීනට වඩාත් මෙහෙ කරන්නේ වචනවල ධ්වනිතාර්ථ බැව්ද අපි ඉඳුරා ම වටහාගෙන සිටිමු.
කිසියම් වදනක්, ධ්වනිතාර්ථ නඟන්නේ, එවදන කවියාගේ හදෙහි ස්පර්ශ වීමේදී සිදුවන කම්පනය හෙවත් ප්‍රතික්‍රියාව අනුවය. එවිට එවදන නොයෙක් හැඩතල ගනිමින්, විවිධ ඉංගීතයන් නඟමින් ඇතැම්විට හීන් හඬින් දෝංකාර ද දෙමින් අභූතපුර්ව වූ වෙසක් ගෙන නිර්මාණය තුළ පණ ගැහෙන්ට පටන් ගනියි. මේ කරුණ ඉතා සියුම් ලෙස වටහාගත් සාහිත්‍ය නිර්මාතෘවරයකු හැටියට මර්සලීන් ජයකොඩි පියතුමන් අප ඉදිරියෙහි ප්‍රාදුර්භුත වනුයේ අප බස අමුතුවෙන්ම කැටයම් කරන අරුම පුදුම ශිල්පියකු සේය. නිදසුනකට “සීනු හඬින්” යන වදන්වලින් අරඹන ඉහත දැක්වුණු ගීය ම ගනිමු.
“නත්තල දොර ළඟ හිනැහෙනවා”
“ගව හලකට තරුවක් යනවා”
“තටු ගෙන සුදුහිම ඉගිෙළනවා”
“හැම තැන රිදී වගෙයි”
නත්තල අපේ ගෙදර දොර ළඟබව ඇවිත් හිනැහෙන්නේ දඟකාර දැරියක - නැතිනම් ෙයෟවනියක ලෙසින්ද ? ඒත් නැතිනම් ඉතා සුහද ළබැඳියකු ලෙසින්ද ? නැතිනම් නෑ සියකු ලෙසින්ද?
එවන් චිත්තරූප අප සිතෙහි ඇඳෙන්නේ, හදෙහි මැවෙන්නේ කවියා බස යොදන අපුරු අනුභුතියත්, විලාසයත් නිසාය.
තටු ගෙන සුදු හිම ඉගිළෙතැයි කිවහැක්කේ කවියකුටම පමණි. හදිස්සියේම හිම කැටිතිවලට තටු ඇවිත් සුදු පරෙවියන් සේ ඉගිළ යන්නේද? නැතිනම් කොක් රෑනක් සේ ඉගිළ යන්නේද ? එවන් සිත් -රූ පෙළක්ම අප අබියස මැවෙන්නේ කවියා සිය අනුභුතිය කවියට නඟන නව විලාසය නිසා නොවේද?
“හිරු කැන් සුදු ඊතල වෙතැයි කිව හැක්කේ ද අපමණ කවි සිතක් ඇති රචකයකුට පමණි. හිරු කැන් සුදු ඊතල බවට පෙරළෙන විට, ඒ කාන්ති දහරාවන්හි තියුණු බව, සියුම් බව, නොදැනේද?
නත්තල එන්නේ, දිය සීරා, කඳු පීරා වන්නම් ගමනකිනි. නත්තල දිය සීරාවන්ද, කඳුද පීරා බැසගෙන එතැයි කියන්නට මහ කවිත්වයක් ඇවැසිය. ගම්වැසි වදනරුත් කියන්නවුන් ගේ සිත්හි එවන් කවි රූප බිහිවන්නේ නැත.
මේ නත්තල එසේ එන්නේ වන්නම් ගමනින්දැයි කියන්නට හැකි මර්සලින් ජයකොඩි පියතුමන්ට පමණි. මන්ද යත් එතුමන් අපේ සිංහල සංස්කෘතියේ අනුරාවය, කිතුනු හැදියාව හා ගළපන හැටි හොඳහැටි දන්නා නිසාය.
නත්තල ලොකුවට - මහ ජයට - සමරන යුරෝපීය වැසියෝ “නත්තල් කත් බැඳගෙන” යන්නාහු නොවෙති. නත්තල් කත් බැඳිය හැක්කේ මේ සිරිලක් දීපයේම අපට පමණි. මන්ද යත්, ඒ අපේ හැඳියාවේ කොටසක් වන හෙයිනි. ජයකොඩි පියතුමන් අද කිතු දහම, කිතු සසුන, කිතුනු හැදියාව, සිංහල කමත් බොදුනුකමත් ඒ දෙකෙන්ම මුහු කරන ලද අපගේ සංස්කෘතියත් හා කලතා පොදු සුසංයෝගයක් නිමවන අපුරුව සැබැවින්ම අපුර්වයක් මැයි.
මර්සලීන් ජයකොඩි හිමියන්ගේ කවි සිතෙහි වන අපුර්වය විමසන්ට නිදසුනක් කොට ගත හැකි නිර්මාණ අතරින් උන්වහන්සේ රේඛාව චිත්‍රපටය උදෙසා ලියූ “වෙසක් කැකුළු “ ගීතයත් (ගායනය - ඉන්ද්‍රානි විජේබණ්ඩාරය) නාලිනි රණසිංහට ගයන්නට ලියා දුන් “කහවන් ගොයමට” ගීතයත් විශේෂතම නිර්මාණයෝ වෙති.
වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ
ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ
පියලි සලා - ලා රේණු හලා - ලා
සුවඳ උරා සිසිල් සුළං හමන්නේ
ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ ...
තමාගේම විසිතුරු නිර්මාණ ලෝකයක තනි වන මර්සලීන් ජයකොඩි පියතුමන්, වෙසක් කැකුළු කියා කියන්ෙන, වෙසක් කාලයට අපේ පරිසරයේ පිපෙන කවරම මල් වගක වුවත් ඇති කැකුළුවලට ය. කවියාගේ පරිකල්පනය එසේය. ජයකොඩි පියතුමන්ට වෙසක් කැකුළු යැයි කියන්ට බැරි නම් “වෙසක් මිහිර” ලියන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහට, කවුදෝ ඇවිත් මල් පෙතිවල අකුරු ලියුහයි, “මොනවද අම්මේ අකුරු ජාතියක්, මල් පෙතිවල කවුදෝ ලියලා” කියන්ටත් බැරිය.
ජයකොඩි පියතුමන් කියන්නේ, මේ වෙසක් කැකුළු අතු අග හිඳ, නටන බවකි.
ජයකොඩි පියතුමන් හිතන්නේම, කවියෙනි. ඒ විදිහට, අප වැනි අල්ප මිනිසුන්ට හිතෙන්නේ නැත. මේ කැකුළු මල් නටන්නේ, “ඉරෙත් හඳෙත් සිරි විඳ විඳය.” වෙලාවකට ඉරත්, තව වෙලාවකට හඳත්, මල් කැකුළු හා හාද වී සිටින අයුරු, කවියා කියන අපුරුව ගැන මඳක් සිතන්න.
ගීපද නිර්මාණය උදෙසා ඉතා සීරුවෙන් පද තෝරාගෙන, ඉතාම මසුරුකමින් ඒ පද ඇවැසි පමණට පමණක් යොදාගෙන, මර්සලීන් ජයකොඩි පියතුමන් සිය කවි සිත්තම නිමා කරන්නේ, අමුතුම ආරක සංගීත පබැඳුමකටත් අතිශයින්ම සජීවී සිනමා දසුනකටත් ඉඩ සලසමිනි.
ලොවම අවදි කරවන, පරිසරයේ ඒ සජීවී මොහොත, කවියා සිය ගීපද තුළින් ඉස්මතු කොට දක්වන්නේ, අමුතු ආරක කවි රූප මගිනි. ඔහුගේ රූපකාර්ථවත් යෙදුම් දෙස බැලුව මැනවි.
“ගම වට කර කුරුලු ගීත” “කදා වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ”, කොලු කෙලි පොදි.”
කවියා, අරුත් ධ්වනිය පමණක් නොව, ශබ්ද ධ්වනිය ගැනද ඉතාම සංවේදී බව, මෙම නිර්මාණයේදී දැක්ක හැකිය. මේ ගී හඬට සවන් යොමු කරන්න.
“පියලි සලා - ලා රේණු හලා - ලා”
“ටිං ටිං සද්දේ - ඒ මැද ඇද්දේ”
“ටිකිරි ටිකිරි වළලු හඬයි ළපැටි ළඳුන්නේ”
මර්සලීන් ජයකොඩි පියතුමන්ගේ “වෙසක් කැකුළු” ගීතය මෙතුවක් ලියන ලද ගීපද මාලාවන්ගේ පසුබිමෙහි තබා බලන කල්හි, නව ආරක සරල සුගම සුමිහිරි ගීපද කලාවක් බිහි වන අයුරු වටහාගැනීම අසීරු නොවෙයි. (ඇතැම්විට, පුජකවරයකු සිංහල චිත්‍රපටයක් උදෙසා ගීයක් රචනා කළ මුල්ම අවස්ථාවද, ඒ විය හැක. චිත්‍රපට ගීත නිර්මාණය සම්බන්ධයෙන් සලකන කලද, මේ වනාහි ඉතා වැදගත් කඩයිමකි). එදවස ඉන්ද්‍රාණී විජේබණ්ඩාරගේ සුරතල් කටහඬින් ගැයුණු “වෙසක් කැකුළු” ගීතය, මෙකල්හි වුව, සහෘද ජන විඥානයෙහි දෝංකාර දෙන අපුර්ව නිර්මාණයක් බවට සැක නැත්තේය.
“කහවන් ගොයමට” ගීතය නිර්මාණයෙහි මතු නොව බසෙහිද විසාරදයකුගේ නිමැවමකි.
කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරෙන් ඉතිරෙනවා
ගස්වල සෙවණැලි වැඩියෙන් කළු වී
බිම මත වැතිරෙනවා
ගායිකාවගේ කටහඬ තුළින් නැඟී ආවේ අව්‍යාජ වු ගැමි රිද්මයයි. යුග ගණනාවක් පුරා අපගේ කුඹුරු මතින්, කමත් මතින් නැඟී ආ සීපද රාවය - සතුටද දුකද වේදනාවද ශ්‍රාන්තියද මුසුව නැඟී ආ ඒ සීපද රාවය - අමුතු පණක් ලබා, නාලිනීගේ හඬ තුළින් මතුව ආයේය. ඒ ගීපද එසේ “මුමුනන්නට” ගායිකාවට හැකි වුයේ, “මුතු අමුණන්නාක්” මෙන් ඒ ගීපද පෙළගස්වන්ට ජයකොඩි පියතුමන් සමත් වූ නිසාය. ගීතය පත්ලෙහිම වු ආශ්චර්යය නම්, ගායකයාද, පද රචකයාද අවියෝජනීයව එකට බඳිමින් නිර්මාණය වු තනුවත් සංගීතයත්ය. භාරතීය සංගීතයෙන් සපුරාම ස්වාධීන වු ඒ ගී තනුව, සැබෑම ගාන්ධර්වයකු වූ පී. ඩන්ස්ටන් සිල්වා සුරීන්ගේය.
ජයකොඩි පියතුමන් ගුවන්විදුලිය වැඩසටහනක් උදෙසා නාලිනී රණසිංහට ලියා දුන් “ කහවන් ගොයමට” නමැති ගීතයද, රේඛාව චිත්‍රපටයේ “වෙසක් කැකුළු” තරමටම සහෘදය ප්‍රසාදයට පාත්‍ර විය.
මහසෙන් රජු කළ මින්නේරිය වැවෙන් දියවර ලබන කෙත් යායේ ගොයම් පැසී ඇති අවස්ථාවක්, මෙම ගීතයට මුලික නිමිත්ත වෙයි. “ කහවන් ගොයමට රන්දිය වැහැලා නියරෙන් ඉතිරෙතැයි”කවියා කියන්නේ, ඒ නිසාය. මේ නම්, ගොයම් කරල් රන් පැහැ ගැන්වෙන කාලයයි. ඒ නම්, පීදී කිරි වැදී පැහී ඇති ගොයම කපන්ට ළංව ඇති කාලයයි. පැසුණු ගොයම රන් පැහැ ගෙන ඇත්තේය. රන් දියක් වැනි ඒ රන් පැහැය, නියරෙන්ද උතුරා යයි.
දැන්, හැන්දෑ කාලයයි. ගස්වල හෙවණැලි කළු වී බිම මත වැතිරෙන්නේ, ඒ නිසයා. ගුවනෙහි විහඟුන් පියඹා යන්නේ, හරියට වලාවක් මෙනි. ඒ තරමටම, මහ විසාල විහඟ රෑනකි. මේ නම්, කවියක්, ගීතයක් බවට පෙරළා ගැයිය යුතු මොහොතක් බැව් කවියා අඟවා සිටියි. ඉපනැල්ලේ රැව් නැගුණේත්, එබැව් කියන්නටය.
රචනයේ මෙම ඉසව්වට එන විට, හෙළි වන තවත් කාරණයක් ඇත්තේය. එනම්, මේ කෙත් යායේ කොටසක අස්වනු නෙළා ඇති බවය. ඉපනැල්ල, එබැවිනි. අනෙක් කොටසේ අස්වැන්න නෙළන්ට ඇත්තේය. රචනය අවසන් කරමින්, හෙට කයියක් ඇති බැව් කවියා පවසයි. ඒ, ඉතිරි ගොයමේ අස්වනු හෙට දිනයේ නෙළාගන්නා බවය.
මෙම අවස්ථාව පාදාගෙන, කවියා වැඩියත්ම සිය අවධානය යොමු කරන්නේ, ගොයම පැහුණු කෙත් යායට නොව, ඒ කෙතට දිය පොවා සරු කරන මින්නේරිය වැවටය.
මින්නේරිය වැව, දැන් එකම නිල් කැටයකි. එහි තැන තැන රතු වන්නේ, විළිකුන් සුරත් පලයක් වැනිව බැස යන හිරුගේ රත් පැහැය, දිය කඳෙහි තැන තැන වැටීමෙනි.
වැව දෙස ස්නේහයෙන් බලන කවියාට, දැන් එය පෙනෙන්නේ, රුසිරුමත් ලලනාවක සේය. මුතු අමුණන, ගී මුමුණන මේ වැව් ළඳ, පට සළු හැඳෙගෙන ඔංචිලි පදින්නීය. ඕතොමෝ ඔංචිලි පදින විට, සැලෙන සේලයේ රැළි මෙනි, වෙරළට දිය රැල්ල ගලා එන්නේ.
දැන් රෑ බෝ වෙලාය. තව තවත් ඔංචිලි පදින්ට වෙලාවක් නොවේ. වැව් ලලනා, දැන් නින්දට යා යුතුය. ඇය නින්දට යන්ට සැරසෙන්නී, මින්නේරිය දෙවියන් වන මහසෙන් රජුට ද වැඳලාය.
අවුරුදු දහසක් වියළි බිම් තෙත් කොට, ඒ තෙත් බිම් සරු කොට, යලත් බලාගෙන, මහත් බලාගෙන ගොයමට දියවර දුන්නී, ඕතොමෝය. හෙටද කයියකි. ඒ. ඉතිරි කුඹුරුවල ගොයම් නෙළන්ටය. දැන් දැන් එළි වීගෙන එන්නේය. කපන ගොයමට දියක් දිය යුතු නැත. කළ යුතුව ඇත්තේ, ගොයම් නෙළන මේ කයිය බලාගෙන සිටීම පමණි. එහෙත් මින්නේරිය වැව් ලලනටද කාරියක් ඇත්තේය. ඒ, ගොයම කැපෙන තුරා, රැළි නඟමින් ගීතයක් මුමුණන්ටය.
වැවත් කෙත් යායත් නිමිත්තට ගෙන කවියා අඳින්නේ ඉතා මනස්කාන්ත සිත්තමකි. ඒ කවි සිත්තම අසිරිමත් වන්නේ, සැඳෑ කල දිය රැළි නඟමින් සිටින මේ වැව, පටසළු ඇඳගෙන ඔංචිලි පදින කතක සේ නිරූපණය කෙරෙන විටය.
කවියා, වැව කෙරේ කරන ඒ පුද්ගලාරෝපණය හේතුවෙන්, සහෘදයා තුළ වැව කෙරෙහි ස්නේහයක් දැනවෙයි. එමොහොත සිට මින්නේරිය වැව සහෘදයා ඉදිරියෙහි දර්ශනය වන්නේ සජීවමානාකාරයෙනි. වැව් ළඳ සැන්දෑකරයේ පටසළු අඳගෙන ඔංචිලි පදින බව, රෑ කල එළඹි විට නිදාගන්නා බව, උදය පහන් වන විට අවදි වන බව, අවදිව ගොවියන්ගේ කයියට ගී මුමුණන්ට සූදානමින් සිටින බව, යන මේ සියලු කරුණින්, ඇය රුසිරුමත් ලලනාවක සේ දකින සහෘදයා - රසිකයා - තුළ ඇති වන චමත්කාරය අපුර්වයක්මැයි.
කවියා මින්නේරිය වැව ළඟට අප කැඳවාගෙන ගොස් පෙන්වන දර්ශනයේ අසිරිය, පදයෙන් පදය ගෙන, බිඳෙන් බිඳ අඳින අපුරුව, මේ බැලුව මැනවි.
“විහඟ වලා - ගුවන වෙළා - දුර අහසේ නොපෙනී යනවා”
“තැන තැන දිගු රැළි සුළඟට කැඩි කැඩි සුදු ඉරි මතු වෙනවා.”
පදයෙන් පදය කවි සිතින් පිරිමැද, බසකින් එවන් අසිරියක් පෑ හැක්කේ, මර්සලීන් ජයකොඩි පියතුමන් වැනි මහම කවියකුට පමණි.