පියතුමා සමඟ දහහතර වසරක සමීප ඇසුරක්... | සිළුමිණ

පියතුමා සමඟ දහහතර වසරක සමීප ඇසුරක්...

දශක හත හමාරක ද ගෙවී ගොස් පවතින මගේ ජීවිත කාලය තුළදී ඇසුරු කරන්නට ලැබුණු ශ්‍රේෂ්ඨ පුරුෂයන් කිහිප දෙනකු පිළිබඳ මතක සටහන් යළි සිහියට නඟා ගනිද්දි ඇති වන්නේ සුවිශේෂ සන්තෝෂයකි. මිනිසුන් හා මානව චරියාව මුදල් තත්වයෙන් ගණනය කර කුඩා මිනිසකුව සටින මට බුද්ධිමය හා මානුෂීය හැඟිම් දහරා වලින් පෝෂිත පුද්ගලයන් කිහිපදෙනකු හා සමඟ සමීපාශ්‍රය ලැබීමට හේතු වුවා යැයි සැලකිය හැකිය. එහෙයින් මම අද ඒ පිළිබඳ වූ ප්‍රබුද්ධ සතුටකින් යුතුව ආපසු හැරී බලමි.

අතිපූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහානායක හිමියන්ගේ සමීපාශ්‍රය ලැබීමට මූලික හේතු වාසනාව ඇති වූයේ මගේ දයාබර පියාණන්ගේ මඟ පෙන්වීම ය. ඉන්පසුව මගේ ගුරුවර හිතවත් වැඩිහිටි පිරිසකගේ අනුග්‍රහයෙන් විශිෂ්ට ලේඛක පත්තර කතුවර හේමපාල මුනිදාස සූරීන්, මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන්, මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්, හා අන්තිම කාලයේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේද ඇසුර ලැබීම මා සලකන්නේ මගේ ජීවිතයේ සිදුවූ අපූරුවක් හැටියටයි. මේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් අතුරින් කිහිපදෙනකු ගේ ඇසුර සුළු කාලෙකට සීමා වූ නමුදු ඔවුන් සමඟ කළ කතාබහේදී ලැබුණු ඔවදන් හා ගුණ දොස්වලින් දශක ගණනාවක් වූ මගේ ලේඛක ජීවිතය අර්ථවත් එකක් වූ බව කිව හැකිය.

ගරු මර්සලීන් ජයකොඩි පියතුමා සමඟ දශක එකහමාරකට ආසන්න කාලයක් ඇසුරු කරන්නට ලැබීම මගේ ජීවිතයේ විශාල භාග්‍යයක් සේ මම අද ද සලකමි. වර්ෂ 1984 න් පටන් ගෙන එතුමන් ස්වර්ගස්ථ වූ 1998 වසරේ ජනවාරිය තෙක් වසර දාහතරක කාලය තුළ දී මට වඩා දශක හතරකින් වැඩිමහලු වූ එතුමා හා මා අතර ඉතා සමීප ඇසුරක් ඇති වූයේය. උන් වහන්සේ හා මා ආගම් දෙකක වූ වද එය අපේ ඇසුරට කිසිසේත්ම බාධාවක් නොවූයේය. අප එකිනෙකා ඇසුරු කළේ සමාන අදහස් ඇති සමාන වයස් මට්ටම් වල පසු වූ අය මෙනි. මා සතුව බයිබලයක් තිබුණු බව මම දිනෙක පියතුමන්ට කීවෙමි. ඉඩක් ලැබෙන විදිහට එය පරිශීලනය කරන බව ද කීවෙමි. ඒ අසා එතුමාගේ දෙනෙතෙහි මතු වූ බැබළීම මට අද මෙන් මතකය. පියතුමා හා මා හමුවූ හැම විටෙක ම වැඩි කතාබහට ලක් වූ මාතෘකාව වූයේ සාහිත්‍යයයි. එසේත් නැත්නම් මා නොදන්නා බයිබලයේ යේසු ස්වාමී දරුවාණන්ගේ අප්‍රකට තොරතුරු ය. විටෙක ජයකොඩි පියතුමා හමුවේ මම බුද්ධ චරිතයේ විචිත්‍ර අවස්ථා කියා පෑවෙමි. ජයකොඩි පියතුමා මේ කතා අසා සිටියේ ද ඒ පිළිබඳ සාකච්ඡා කළේද බොහෝ නිහතමානීව ය.

“කස්තුරි මහත්මයා මා සමඟ කියන බුදු හාමුදුරුවන්ගේ සමහර කතා මම අහලා තියෙනවා. නමුත් මා ඒ කතා අසන විට දැනුමක් සහ එයින් සතුටක් ලැබෙන නිසා මම ඉතා ආසාවෙන් ඒවා අසා සිටිනවා. අපට මැරෙනකම්ම ඉගෙන ගන්න තියෙනවා. කොතරම් දැනුම් තේරුම් ඇති කෙනෙකු වුණත් යමෙකුගේ එක වචනයකින් දෙකකින් වුවත් පාඩමක් ඉගෙන ගන්න ලැබෙනවා. ” මගේ කතා අසමින් සිටි පියතුමා දිනෙක කියන්නට වූයේය.

මේ නිහතමානී බව, නිරහංකාර බව එතුමාගේ ජීවිතය පුරා ම පැවැති උතුම් ගුණයක් වූයේය.

මට ජයකොඩි පියතුමා මුලින්ම හමුවූ දිනය මට කවදාවත් අමතක නොවේ. ඒ අගනුවර තරුණ කවි සමාජය ආරම්භ කරන්න මුල් වූ කඩවැද්දුවේ පීටර් පෙරේරා කවියා‍ණන් සභාපතිත්වය දැරූ “කොළොන්නාව රස හවුල ” සාහිත්‍ය සංවිධානය මඟින් 1984 වසරේ මුල් භාගයේ දිනෙක ගරු මර්සලින් ජයකොඩි පියතුමාටත් , විමලේන්ද්‍ර වතුරේගම කවියාටත් ගෞරව සම්මාන පිරිනැමීමේ සාහිත්‍ය මහෝත්සවය කොළොන්නාව පුරහලේ පැවැත් වූයේය. එදින එහි ප්‍රධානත්වය දැරුවේ පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේය. එදින එම උත්සවය සඳහා ප්‍රකට කවියෝ, සාහිත්‍යධරයෝ පැමිණ සිටියහ. උත්සවයට සහභාගි වීමට පැමිණ සිටි මර්සලින් ජයකොඩි පියතුමා මා ළඟින්ම දුටුවේ එදිනය. උත්සවය අවසන් වූ වහාම වේදිකාවට ගොඩ වූ මා ජයකොඩි පියතුමා වෙතට ගොස් උන් වහන්සේගේ ඡායාරූපය අලවන ලද කාඩ්පතක් පෙන්වා එයට අත්සනක් යොදන ලෙස ඉල්ලා සිටියේ. කරුණික සිනහවෙන් මුව සරසාගත් ජයකොඩි පියතුමා සිය අත්සන දිනය යොදා කාඩ් පත මා අත පත් කළේය...මේ සිද්ධියෙන් දින දෙකකට පසු මම ජයකොඩි පියතුමා හමුවීමට ගිය ඒ මුල් ගමන අප දෙදෙනාගේම හිතවත්කමේ සන්ධිස්ථානයක් බවට පත් වූයේය. ආපසු එන විට දණ ගසා වැඳ නමස්කාර කළෙමි. "දෙවිපිහිටයි" ඉන් දින දෙකකට පසුව ද උදය වරුවේ මා එහි ගොස් සුපුරුදු ලෙස දණ ගසා වැඳ නමස්කාර කළ විට ද "දෙවි පිහිටයි" ආශිර්වාදය ලැබිණි. එවිට මා කළේ දණගසා ගෙන සිටිමින් ම

"පියතුමා, අපේ හාමුදුරුනමකට මෙහෙම වැන්දම තෙරුවන් සරණයි කියලා කියනවා. යනුවෙන් කීවෙමි. "ආ ඒක මටත් කියන්න පුළුවන් නේ. මගේ අම්මගෙන් මටත් ඒ උරුමයම ලැබිලා තියෙනවා නොවැ" යි එතුමන් එවෙලේ කියා සිටියේ තම මුහුණට ප්‍රසන්න සිනා රැල්ලක් ද නඟා ගනිමිනි. ඒ පිළිබඳව මගේ සිතේ ඇතිවුණේ බලවත් සතුටකි.

පියතුමාගේ අම්මා ගැන කියැවුණ නිසා ඒ පිළිබඳ ව වූ තොරතුරු ද පසුව මා පිළිබඳ ව පෞද්ගලික තොරතුරු ද අප අතර පැයක පමණ කාලයක් අතරතුර හුවමාරු විය.

ඉන් පසුව මා ආපසු යන්න‍ට සැරසී පියතුමා හමුවේ යළිත් දණගසා වැඳ නමස්කාර කර සිටී අවස්ථාවේදී

"තෙරුවන් සරණයි-දෙවි පිහිටයි" යනුවෙන් ප්‍රථම වරට මට එතුමාගේ ආශිර්වාදය ලැබිණි. මා අදත් එම ආශිර්වාදය සිහිකරන්නේ මට අපේ මහානායක හිමිනමකගෙන් ලැබුණු ආශිර්වාදයක් ලෙසට ය. මගේ පැත්තෙන් එතුමන් හමුවේ තිබෙන ආගමික සබදතාවන් රැසක් ම යොමුකරවන්ට මට එදා එසේ ලැබුණු ආශිර්වාදය අත්වැලක් වූයේය.

එයින් පසුව දින තුනකට වරක් බැගින්වත් ගරු පියතුමාගේ සමාගම පැතීම මගේ කාර්යාවලියේ එක් එක් අංගයක් පවට පත්විය. මේ සාහිත්‍යවේදී ප්‍රියමනාප ඇවැතුම් පැවැතුම් ඇති කතෝලික පුජකතුමාණන් අපගේ සිතුවිලි හා සමව කටයුතු කරන විට මගේ ජීවිතයේ දී ලද මහත් වූ භාග්‍යයක් ලෙස සැලකිමි. මේ අතර අපේ කථෝපකථනයේ දී සිදු වූ තවත් දෙයක් නම් ගරු පියතුමා විසින් ලියන ලද කවි, ගී නිබන්ධන හා එතුමා මුල් වූ ක්‍රියාදාමයෙන් පිළිබඳව තොරතුරු හාරා අවුස්සා බැලීම පිළිබඳව එතුමන් බලවත් සතුටකට පසු වූ බව දක්නට ලැබීමය. එයින් බලවත් සන්තුෂ්ටියට පත් වූ එතුමෝ එම සමහර රචනාවල හා සංසිද්ධිවලට හේතු වූ සමහර මා සමග කීවේ බලවත් අභිරුචියෙන් යුතුවය. පල්ලියට මෙන්ම පන්සලට ද එක්කර ගෙන ගොස් බුදුන් වහන්සේගේ ජීවන චර්යාව හා බණ දහම් ගාථා පිළිබඳවත් අම්මාගෙන් කියැවුණු දේවලින් මේ උත්තරීත්තර ආගම් දෙක පිළිබඳව ද තම කරුණු මනාව සිතට අවධාරණය කර ගැනිණි.

අම්මා එසේ කියා දුන් ජාතික කතා, ජනකතා හා ලංකාවේ පෙර සිටි රජවරුන්, වීරවරයන් පිළිබඳ කතා පුවත් ද පසු කාලෙක ජයකොඩි පියතුමාගේ දේශන, ලේඛන කවි හා ගීතවලටද මූලාශ්‍රය විය.මේ අතර එක් දිනක එකල කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සභාපති වූ සාමවිනිසුරු ජේ. එම් කරුණාරත්න මහතා එක්කරගෙන ගොස් පියතුමා හඳුන්වා දුනිමි.

" පියතුමා මමත් ඔබතුමාගේ අම්මාගේ ගමේ සඳලංකාවේ වෙල්පල්ලේ උපන් කෙනෙක්.

මා ඉදිරි දිනකදී ඔබතුමා සඳලංකාවට එක්කරගෙන යන්නට කටයුතු යොදනවා" යි කියූ විට එතුමන් මහත් සතුටට පත් වූහ. නිකම්ම එහි යනවට වඩා ප්‍රධාන පාසලකට ගොස් ගැහැනු දරුවකුට "ජයකොඩි මාතාව නමින් ශිෂ්‍යත්වයක් පිරිනැමීමට හැකිනම් අගෙයි" යනුවෙන් මම නිකමට මෙන් කීවෙමි.

"එහෙම හොඳයි. එහෙම ශිෂ්‍යත්වයක් දෙන්න කොයිතරම් මුදලක් වැය වෙයි ද ?" යි පියතුමන් විමසූහ.

"අඩුම වශයෙන් රුපියල් දහදාහක්වත් කොහොමහරි හොයලා දෙන්නම්. එහෙනම් කස්තුරි මහත්මයම සඳලංකාවට ගිහිල්ලා හරි එහේ විද්‍යාලයෙන් අඩු ආදායම් සහිත පවුලක සිංහල බෞද්ධ දැරියක් තෝරාගන්න කටයුතු කරන්න" යි එතුමෝ කීහ.

ඒ අනුව එවකට කුලියාපිටිය නගරයේ නීතිඥයකු ලෙස කටයුතු කළ ප්‍රකට ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ අබේසිංහ මහතා හමු වූ මම එතුමාට මුදල් බාරදී එය එහි ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ තැන්පත් කරන්නැයි කියා සඳලංකාවේ ශ්‍රී රතනපාල විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඇම් ජෝසප් මහතා හමු වී මේ කාරණාව නියම ලෙස පැහැදිලි කර ආදායම් අඩු පවුලක සිංහල බෞද්ධ දැරියක් ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ මෑණියන් වූ ජොසපින් සේනාරත්න ශිෂ්‍යත්වය උදෙසා තෝරාගෙන දන්වන්නැයි කියා සිටියෙමි.

සති දෙකකට පසු ජෝසප් විදුහල්පතිතුමාගෙන් පියතුමා වෙත ලිපියක් ලැබුණේ නියමිත ලෙස අඩු ආදායම්ලාභී සිංහල බෞද්ධ දැරියක් ශිෂ්‍යත්වයට සුදුසු යැයි තෝරාගෙන තිබෙන බවය.

තවත් සති දෙකකට පසු දිනෙක ජේ. එම් කරුණාරත්න මහතාත් අපත් විශිෂ්ට ලේඛකයකු වූ ආ. දෝ චන්ද්‍රසේකර මහතාත් ඇතුළු පිරිස නියමිත දින එම විද්‍යාලය කරා ගිය විට අපට දක්නට ලැබුණේ රජෙකු පිළිගන්නා ලෙසට සැරසිලි කර තිබෙන බවය. අසල විහාරස්ථානයේ නායක හිමියන් මූලාසන හෙබ වූ අතර දේශන කිහිපයක්ම පැවැත්විණි.

දැරිය වෙත පියතුමා අතින් ත්‍යාගයක් ද සමඟ ශිෂ්‍යත්වය පිරිනැමීමෙන් අනතුරුව එතුමන් කියා සිටියේ "මේ දැරිය දැකීමෙන් මගේ අම්මා යළි ඉපදිලා තිබෙනවා දැක්කා වගෙයි" මෙන් සතුටක් ඇති වූවා යැයි කියා ය. එය ගරු පියතුමාගේ ජීවිතයේ අතිශයින් ම සතුටුදායක දිනයක් ද විය.

ඒ වසරේ අපේ තුන්වැනි 'බෞද්ධ නත්තල' වෙනුවෙන් කුඹුරුගමුවේ වජිර, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත, පූජ්‍ය කිණිහිරියේ විජිත නාහිමිපාණන් තුන්නමට විශේෂයෙන් ආරාධනා කළෙමු.

නත්තල් දා උදයේම කරුණාරත්න මහතා සිය බිරිය හා දරුවන් සමඟ කිරිබත් උයාගෙන පැමිණ සිටියේය. ලේඛකයන්, කවියන්, කලාකරුවන් පනහක් පමණ පැමිණ සිටියහ. නායක හිමිපාණන් තුන්නම පියතුමාට තෑගි බෝග ද රැගෙන වැඩියහ. මේ හැව්ලොක් ටවුමේ පියතුමන්ගේ 'තවුස් අරමට' නව එළියක් ඇති වූවා වැනිය. කේ.බී. සුගතදාස, අ. දො. චන්ද්‍රසේකර, ආරියවංශ පතිරාජ, වැල්ලම්පිටියේ ටියුඩර් ප්‍රේමචන්ද්‍ර, ආරියවංශ වීරක්කොඩි, ටියුඩර් වීරරත්න යන කලාවේදීන් සමඟ සිබිල් වෙත්තසිංහ, විජායි ලක්ෂ්මි දම්මුල්ල ආදී මහත්මීහු ද පැමිණ සිටියහ.

ඒ අතර වරෙක වජිර හිමියන් මා සමඟ කීවේ 'පියතුමාට සෙත් පිරිතක් කීවොත් හොඳයි' කියා ය.

'ඒ කොච්චර අගේ ඇති දෙයක් දැයි' මම කීවෙමි.

ඉන්පසුව නාහිමිපාණන් වහන්සේලා තුන්නම වෙතින් පියතුමා හමුවේ සෙත් පිරිතක් දේශනා කෙරෙද්දී එතුමෝ දෙඅත් එක් කරගෙන අසා සිටියහ. මම මේ සියල්ල කැමරා කාචයට සටහන් කර ගත්තෙමි.

පසුවදා පියතුමා බැහැ දකින්නට ගිය මට එතුමා මෙසේ පැවසීය.

'ඔය නායක හාමුදුරුවරු තුන්නමටම බෞද්ධයන් අතර ඉහළ ම තත්ත්වයක් තියෙනවනේ. ඒ වුණාට මගේ ළඟට ම ඇවිත් මට දිගාසිරි පැතුවනෙ. මටත් වෙලාවක එහේ ගිහින් එන්න තියෙනවා නම් හොඳයි'.

ඒ අනුව මම එවෙලේම ගොස් තුන්මුල්ලේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමිට කාරණය කීවෙමි. උන්වහන්සේ බලවත් සේ සතුටු වූහ.

'එහෙනම් කස්තුරි, අපි ඉරිදා දවසක විද්‍යාලංකාරෙට පියතුමා වඩම්මමු දානෙටත් එක්ක' යැයි උන්වහන්සේ පැවසූහ.

අනතුරුව පියතුමා විද්‍යාලංකාර දහම් පාසලට වැඩම කරවා දානය පිරිනැමූහ.

පිටකෝට්ටේ නාග විහාරයට ගොස් මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන් බැහැ දුටු පියතුමා පෝය දිනක විහාරයට ගිය විට බෞද්ධ උපාසක උපාසිකාවෝ පියතුමාට වැඳ ආචාර කළහ.

එදින ධර්මදේශනාව පිණිස වැඩම කර සිටි පූජ්‍ය කෝදාගොඩ ධම්මාවාස නාහිමියන් ද සමඟ සතුටු සාමීචියේ යෙදී සිටි පියතුමෝ උන්වහන්සේගේ ධර්ම දේශනය ද අසා සිටියහ. ඉන්පසුව ධර්ම ශාලාවේ ධර්මාසනය වෙත ගරු පියතුමන් කැඳවාගෙන ගිය සෝභිත හිමියෝ පළමුවෙන් පියතුමන් පිළිබඳ ව පිරිසට හැඳින්වීමක් ද කළේය. ඉන්පසුව ගරු පියතුමෝ දේශනාවක් කළහ.

ගරු පියතුමන්ගේ දර්ශනය ද දේශනය ද උපාසක උපාසිකාවන්ගේ සිත් කෙතරම් ඇද බැඳ ගත්තේ ද යත් දේශනයෙන් පසුව පියතුමා පහළට බසිද්දී එතුමන්ට වඳින්නට පොර කෑ දර්ශනය ප්‍රිය ජනක වූවක් විය.

ඉන් තුන්මාසයකට පසුව එළැඹුණු මහනුවර දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීම පිණිස ගරු පියතුමන් කැඳවාගෙන යන්නට පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් හා ඇමෙරිකාවේ සංඝනායක පූජ්‍ය හරෝපොල ගුණරත්න හිමියන් ද, අ. දො. චන්ද්‍රසේකර, ජේ.එම්. කරුණාරත්න යන මහත්වරු ද කටයුතු කළහ.

වන්දනාවෙන් පසු පහත මාලයට සැපත් ජයකොඩි පියතුමා ඇතුළු පිරිසට දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.

බෞද්ධයන් අතර 'පන්සලේ පියතුමා' ලෙස ද කතෝලිකයන් අතර' පල්ලි‍යේ හාමුදුරුවෝ' ලෙස ද ගෞරවාදරයට පත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමා වසර 96 ක් ආයු වැලඳීමෙන් පසුව 1998 ජනවාරි 15 වැනිදා කොළඹ නවලෝක රෝහලේදී ස්වර්ගස්ථ වූහ.

ජයකොඩි පියතුමන්ගේ අවසන් දේව පූජාව පැවැත්වූ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ හිඳ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එතුමාට ගෞරව දැක්වූහ. එදා සිට අද දක්වාම බෞද්ධ, කිතුනු භේදයකින් තොරව ගරු මර්සිලීනු ජයකොඩි පියතුමන්ට ලක්වාසී සැවොම ගරු බුහුමන් දක්වති.

සෝමසිරි කස්තුරිආරච්චි

සියලු ඡායාරූප පිටපත් කළේ

තිලක් පෙරේරා 

 

Comments